Nisadas / Writer / Dila 🖤🥀

Writer Profile

    Circle Image
    Dila 🖤🥀
    Nisadas: 59

...
...

Dila 🖤🥀

1.

හීන නොදකින නුඹ
දැඩි ගැඹුරු නින්දක
තෙමි තෙමි තනියම
හීන වැස්සක මම..

තරු රෑන වට වී
සඳට පෙම් බස් දොඩන
හීන් හීතල හිරිපොද
ඇඟිලි තුඩු පවා කිතිකවන..

මේ සොඳුරු රාත්‍රිය
නොතකාම නොවිඳම
නුඹ ගැඹුරු නින්දක
මම තවම අවදිව..

...
...

Dila 🖤🥀

2.

නැතිවුණු ඔබේ නමට
ඇතිවුණු ආදරයක්
මේ එක අහස යටදී
හමුවීම අහම්බයක්

හිත ඇති තැනක රැදී
ඉන්නට අවසරයක්
ගහකොළ වලින් පවා
නැහැ පොඩි පිළිසරණක්

වෙන්වෙන තැනදි මිදී
හිරවුණු කදුල දුකක්
හමුවෙමු  සසර අගදී
වෙන්වෙන එක රටාවක්

...
...

Dila 🖤🥀

3.

උඹ මට දුන්න හීන කන්ද
බැදගෙන පපුවට තදින්ම
උඹ නැතත් මං තාම උඹ එක්ක..
උඹ එක්ක හිනා වුන හැන්දෑව
මතක ලිහ ලිහ මේ ගග ගාව
උඹ නැතත් උඹේ මතක එක්ක
මං තාම..
උඹ තිබ්බ හාදු වල සුවද
නැති තැනක්
හොය හොයා මේ සිරුර
පරවුණත් සුවදයි
උඹේ හාදු තාම මං ගාව..
අතාරින්න බැරි ඇස් ගාව
ගැට ගැහිච්ච ආලය එක්ක
හිත හිත විදවන
කියන දේ නාහන
මුරණ්ඩුකාරියක් දැන් මම...

...
...

Dila 🖤🥀

4.

අන්තිමට
මං මගේ නිහඬ බව බින්ඳා..

උඹෙ ලඟටම ඇවිත්
හැමෝටම ඇහෙන්න
කෑ ගහල ආදරෙයි කිව්වා..

උඹෙ හිනාවට
ලෝකයක් දිනුව තරමේ
හැඟීමක සතුටක් මට දැණුනා..

මැණික..
උන් නම් මහ නරක මිනිස්සු
උඹට මුකුත් කියන්න නොදීම
උන් මම උන්නු පෙට්ටිය වැහුවා..

...
...

Dila 🖤🥀

5.

ඉතිං මම බිම ඉන්න පලියට
කඩා නොවැටෙන්න ඔබ පොළොවට
දුරින් ඉදගෙන මගේ තනියට
හැමදාම බැබලුණොත් ඇති මට...

දුකක් රැදුණත් මගේ හිත යට
ඔව් ඉතින් නුඹ අයිති අහසට
කඩං වැටුණොත් මගේ පොළොවට
මෙහෙමවත් නැතිවේවි නුඹ මට...

කාත් කව්රුත් නොමැති රැයකට
මාත් ඉන්නම් ඉතින් තනියට
ඒත් මම නැතිවෙච්ච දවසට
රෑත් දිළියන් පුරුදු විදිහට...

...
...

Dila 🖤🥀

6.

හිතම පුරවා නපුරු හීන තියා
ඔබට මා මෙන් හීන තව නෑ කියා..

රැයක් නිදිවරා ලියූ මතක පොත් පුරා
මිය ගිය කවියක කදුලක් තවරා
තවත් හිතකට ඉඩ දෙන්න නුඹ ගියා..

කදුලු පොකුරක් කළු අහස පුරා
තරු තිබුනෙම වෙන උන්ට හිනැහිලා..

එලිය කෙරුවට සදක් අවාරයට පායලා
සදට තරුත් දුර උන්නා අසම්මතයි කියා..

දුර යන්න නුඹ එක්ක මේ භවයෙම
ඇවිදන් ආපු පිය මැන්නා මම රහසෙ..

සංසාරය තව දුරයි දවසක වෙයි මගෙම
ප්‍රේමය තිබුනෙම දුර ගියපු නුඹේ ලගම...

...
...

Dila 🖤🥀

7.

නොදැක්කා වගේ උන්නාට
නොදැනුනා සේ හිටියාට
නුබ සොදුරු තරුවකි
පපුවේ හරි මැදට අහසින්ම
රිද්දගෙන කඩාගෙන වැටුනු

යන්න යැයි කිව්වාට
රව රවා බැලුවාට
දන්නවද නුබව මට කිරුලකි
හිතාමතාම අහිමිවුන

ඉතින් හැරි නොබලා යන්න
මැරුණු දාකට එන්න
මගේ මලකද දෙස බලා
මැණික මං ආවා
'සුබ ගමන් හොදද'
යැයි පවසන්න
කදුලු වැල් නෙහෙලන්න

...
...

Dila 🖤🥀

8.

ඉතින් දෙනවද අවසර
නුපුරුදු හිනාවකට
දෙන්න ඉඩ හසර..

දිය වෙලා වැටුන හැටි
සිතල පිරුනු ඇස් යට
නොකියාම ඉන්නම් මම
නුඹ හදපු හීන හිත යට
ලගට එන්න පිය මනින
ඒ නුපුරුදු හිනා මලට..

එකීන් එක ගලපා මතක
ඉතින් මම හිනා වෙන්නද
දුරට යන නුබේ සිනා දැක..

මැණික..
යන්න යනකොට
අරන් යන්න ඕනිමයි
නුඹ ගෙනා කදුලු කැට..

...
...

Dila 🖤🥀

9.

ජීවිතේ තව දවස්
එක එක මෙහෙම
ටික ටික ගෙවී යන්න
ගෙවෙන තප්පර එකක් ගානේ
ඔයා මගේ මතකයෙම ඉන්න..

ප්‍රේමයේ නුඹට දුන් තැන
කවදාවත් බෑ
වෙන කෙනෙකුට දෙන්න
පුලුවනිද දවසක
පුංචි මොහොතකට හරි ඇවිදින්
වෙනස් උන හැටි කියා දෙන්න..

අහසකට අයිති තරුකැට
පුංචි මට බෑ නෙලාගන්න
ප්‍රේමය කොයි තරම් වුනද..

හරි පරිස්සමට නුඹ ජීවිතේ රස
හිමිසද එක්කලා බෙදාගන්න
අපේ ජීවිතේ හීන පැවරුම් ගෙන
ඇයත් එක්කලා දිනාගන්න..

...
...

Dila 🖤🥀

10.

මේ ලොවෙන් මම නික්ම ගිය විට
පුංචි හරි තරුවක් වෙලා
ඈත ඉඳඟෙන බලන් ඉන්නම්
පහත හිනැහෙන ඔබ දිහා

මටත් තනියක් දැනෙන මොහොතක
අහසෙ අඳුරුම තැන් සොයා
අද වගෙම මම කවක් ලිව්වොත්
ඔයා කියවන්නට එපා

දුකක් දැනුනොත් ඉතින් මතුවට
එදින නිල් නෙත් යුග පියා
කැමති පැතුමක් පතනු මැන ඔබ
කඩන් වැටෙනා විට මෙමා

...
...

Dila 🖤🥀

11.

අන්තිම වතාවට
ඇවිත් යන්න එනවද
මොහොතකට ලං වෙලා
කම්මුලක් ඉඹිනවද
කාටවත් නොඇසෙන්න
කොඳුරලා කියනවද
මහ ගොඩක් ආදරෙයි
මැණික උඹට මම
උණු කඳුළු නොආවත්
ඇස් කෙවෙනි ඉරාගෙන
ආත්මය ගිනි ගනියි
උඩු හුලඟෙ පාවෙන
හුස්ම නොවැටෙන නමුත්
පපු ගැඹුර කලතගෙන
ආත්මය හඬාවි
දැනෙන දුක දරාගෙන...

                        

...
...

Dila 🖤🥀

12.

සීත කඳුකරයක
පොඩි බංගලාවක
ගිනිමැලය දල්වා
උණුහුම් පොරෝනාව
නුඹේ සියොලඟ දවටා...

නුඹ ඇහැරෙන්න පෙර
හෙමි හෙමින් අඩි තියලා
ඉතින් මම නික්ම යමි
ඇයට එන්නට
දොර අගුළු හැර දා...

...
...

Dila 🖤🥀

13.

ඇතුළතින් මා
බිඳී ඇති බැව් නොම දැන
නේක විසිතුරු
පිට කවර ගෙන එයි ඔබ

කුටිය අත්හැර
පලා ගිය වග දැන දැන
නොනැවතී මල් පෙරහැරක්
යයි ගේ ළඟ

අළු දුහුවිළිව
කල්ප ගණනක් ගෙවුනද
පහන් දල්වයි කෙනෙක්
සොහොනක අදටද

...
...

Dila 🖤🥀

14.

ඔබ යා යුතුව තිබුනා.
රෑ කුමාරී මල් පිපෙන්නට කලින්
රැය ඉරාගෙන සඳ එඹෙන්නට කලින්
ඔබ යා යුතුව තිබුනා

බිඳෙන් බිඳ ඉර අවර යන කොට
බිඳුනු ප්‍රේමය අත දරාගෙන
මම කළුවරට අත වැනුවා
නුඹ ක්ෂිතිජයේ නැවතී
සඳක් ගැන සිහිනයක කල් මැරුවා

පැරණි අහසක පරණ හඳටම
අලුත් එළියක් කියා රැවටුන
පර මලක් යළි පිපුනා
යලිත් හෙට උදයේ හෙළන්නට
අලුත් කඳුලක් එකතු වී තිබුනා

_ඩිල 🖤🍁

...
...

Dila 🖤🥀

15.

"ඔයා ගිහින් එන්න
මං ඉන්නම් ආදරෙන්
එදා වගේම...
කිසිදු අඩුවක් නොකරම..
පුලුවන් මට තනියම
ආදරේ කරන්න...
දවසක ඔයාගෙ මැණික ඔයාව
දාලා ගියොත් යන්නම...
මං ඉන්නවා හැමදාමත්
මග බලාන හුන් තැනම...
ඔයාගෙ ඔය සුවද
පපුවටම තුරුළු කරගෙන...
මේ වගේ දුකක් නොවී
සතුටු කදුලින්ම පිළිගන්න...

...
...

Dila 🖤🥀

16.

ආදරය මායාවකි
පැටලිලි ලෙහා ගත නොහැකි
සේයාවකි..

ජීවිතේ පේයාවකි..

ඔබ..
රාත්‍රියේ නින්ද කඩන
ඉන්ඳ්‍රජාලයෙකි  !!

...
...

Dila 🖤🥀

17.

හඬන කඩදාසි මත
ඉකිගහන අකුරු ඇත

රිදුම්
කෙඳිරුම් සහ
සියුම් පැසසුම්

හාදු හා
නෝක්කාඩු ද
එකතු කර ගුලි කල

හඬන කඩදාසි මත
ඉකිගහන අකුරු ඇත

නුඹ නමට ලියවුණ
නුඹ නමට වෙන්වුණ

කියූ නොකියූ කතන්දර
කවි සමග  !!

...
...

Dila 🖤🥀

18.

ඔබ හොඳින්දැයි
අසා දැනගන්නට
රිසි මුත්..

ඉනික්බිති
ප්‍රේමය දැල්වෙතැයි
බියෙන්
ගොළු කර ගනිමි
මා හදවත..

...
...

Dila 🖤🥀

19.

ඉතින් දැන් දැන්
ඉස්සර තරම් කවි
ප්‍රේමයට නොලියවෙයි


ඔබේ කවියක සැඟව
ඈ සිනා සලන විට
මගේ කවි හිත ගොළුවෙයි...

...
...

Dila 🖤🥀

20.

එදා අප මුණ ගැසුණු පාරේ
රෝස පෙති තලලා
තවත් මල් පෙති ඉපදි ඉපදී
මැරෙනවා දැක්කා

තටු සිදව ගත් බොහෝ පෙම් කවි
උයන් කොන ගැටගසා
දැවෙන හිත් වෙත වලාකුලකින්
පිරිත් පැන් ඉස්සා

අහසෙ ඉගිලෙන ලිහිණි රෑනක්
තරුණ හිත් දැකලා
ශෝක කදුළක් තතක අමුණා
විරහ ගී කිව්වා

එකතු වෙන්නට හීන ඇමිණුව
බංකු කොන ඉඳලා
තනිව මේ කව ලියනවා මං
නුඹ නොමැති හින්දා !!

...
...

Dila 🖤🥀

21.

වෙහෙසය මට
ඔබට මෙන්ම
තව දුර යනු නොහැක

ගිලිහුනේ කෙලෙසකද
කොයි ලෙසද නොදනිමි
පැමිණි මග අප දෑත බැඳගෙන

මල්පෙති සිපගෙන
කවි කියූ යුගය අවසන්ය
කටු ඇනී රිදුම් දෙයි දෙතොලම

යා යුතුය තවත් දුර
හමුවේද නොවේවිද නොදැනම
රැයවල්ද දහවල්ද පසුකර

ගිලන් ව දැඩි වෙහෙසින්
අහස බැලුවද කවුළුවෙන්
අවරදිග රත මුසු ව
වියැළුණ
අව පැහැ දෙතොලක සටහන
පමණි ඉතුරු
කල්ප කාලයක් පැරණි !!

...
...

Dila 🖤🥀

22.

ඉතිරි කළ මතක මත
හෙමි හෙමින් ඇවිදිමි
රෝස කටු ඇනෙද්දී
ආදරෙන් ඉවසමි

ලේ ගලන තැන් වල
සුසුම් කැන් අතුරමි
සුව දැනෙන තැන් සොයා
මුදුව පිරිමැද බලමි

හීනෙකින් ඉඳහිට
ඇවිත් නුඹ ළඟ රැඳෙමි
දැනෙන නොදැනෙන සේ
නළල සිඹ නික්මෙමි...

...
...

Dila 🖤🥀

23.

පපුවෙ ගැඹුරුම තැනක වැලලූ
දඩබ්බර සුසුමකි මිටින් හළ

තෙතක් හිත නැති වේදනාවකි
විඩාබර ඇස් කෙවෙණි තෙත් කළ

අමතකව ගිය පෙම් සුසානෙක
දිරාපත් වෙයි ගැහෙන හිත්මල

දයාබර පෙම්බර මතක අද
හුස්ම අයැදින පෙමකි ඔත්පළ...

...
...

Dila 🖤🥀

24.

අහසට එපා වුන දාක
ඉතින් නුඹ
පැමිණෙන්න..

අහසට බර බොහෝ දේ
පොළොව දරා ගත්තා
හරි ආදරෙන්..

...
...

Dila 🖤🥀

25.

නුඹට නොපෙනෙන
කඳුළු බිදුවත්
පිට'ත්ලෙන් පොඩිකර දමා..

මහා වැස්සක්
වී වැටෙන්නම්
නොකී ප්‍රේමෙක දිය වෙලා..

...
...

Dila 🖤🥀

26.

වැස්සක් උනත්
එන්නෙම
ඕනේම නැති
මොහොතක
නාඬා ඉදපන්
හදවත
ඔහු සුවෙන්
උණුසුම්ම තුරුලක !!

...
...

Dila 🖤🥀

27.

ආදරනීය හදවත___

අනේ අහපන් දැන්වත්..
උබ එයාව හොයද්දි
හිත පිච්චෙනවා
උබ අවුලුවන ගින්දරේ හරියට..
උබ රැයක් දවාලාක් නැතුව
එයාවම ඉල්ලනකොට
කොහෙන් එයාව හොයන්නද...
උබ ඇස් වල කදුලු අරන් ඒ කදුලු කැට
අස්සෙනුත් එයාගෙම රූපේ
අදිනවා බොද වෙවී..
මං දන්නවා උබ හුස්ම ගත්තෙ එයා වෙනුවෙන්
උබ එයාව පපුවේ තියන් පරිස්සම් කලේ..
ඇබ්බැහි උනා උබ එයාට...
උබ හරි මුරන්ඩුයි හදවත
උබ දැනුත් හරි මුරන්ඩුයි...
එයා මනමාල ඇස් වලින් ඇස් වලට එබෙනකොට...
මුලු මූනම අතට අරන්
නලලතට හාදු තවරනකොට...
එයාගේ රළු පපුවේ උණුහුමට යට කරගන්නකොට..
ඔව් උබ උමතුවෙන් වගේ එයාට ලං උනා...
ඔව් උබ අන්ධයෙක් වගේ
එයාගේ පස්සෙම වැටුනා..
අනේ අහපන්... දැන්වත් බලපන්..
දැන්වත් මට ඉඩක් දීපන්
හැමදේම තේරුම් කරන්න...
එයා එන්නෙ නෑ බන්..
උබ කොච්චර කෑ ගැහුවත්
එයාට ඒක ඇහෙන්නෑ...

...
...

Dila 🖤🥀

28.

තනි වෙන්නෙ නැතුව
තනි වීම ගැන
කවදාවත්ම වචන හසුරවන්න එපා
උඹ අසාර්ථකයි !!

මොකද,
තනිවීම ගැන හොඳාකාරවම දන්නෙ
තනිවෙච්ච උන්..
ඊටත්,
තනි වීම ඇතුළෙ තනි වෙච්ච උන්
තනි වෙනවා කියන්නෙ
හුදෙකලා වෙන එක නෙමෙයි..

දාහක් මිනිස් හිත් අස්සෙ
ලක්ෂ ගානක් කටහඬවල් අස්සෙ
තමන් විතරක් ජීවත් වෙනවා කියන දේ
හදවතටම දැනෙන එක..
කවුරු සනසන්න හැදුවත්
සැනසෙන්න හිත සූදානම් නැති එක..

කරන කරන හැම වැඩක්ම
අසාර්ථක වෙවී..
කඳුළින් සේරම ඉවර වෙන එක
හූල්ලන හෝරාවල් දවසෙන්
වැඩි හරියක් හොරකම් කරන එක.
කිසිම දේකට ඇල්මක් නැති වෙන එක..
කලුවරට ආස කරන එක..
සිංදු අහන්න ලියන්න කියවන්න
හුරු වෙන එක..
තව හුඟක් දේවල් තමන්ගෙ
දරා ගැනීම අනුව
වෙනස් වෙන එක..

ඉතිං,
තනි නොවී තනි වීම ගැන සාරාංශ කරන්න යන්න එපා !!

...
...

Dila 🖤🥀

29.

දවසක බැරි උනොත්
අපිට අපේ වෙන්න..
කඳුළු මතක මට දිලා
සතුටු මතක ඔයා
අරන් යන්න..
අතර මඟදි එපා
කොහෙදිවත්
නතර වෙන්න..
ඉඩ දෙන්න නුඹේ
මතක එක්ක
මට තනි වෙන්න..
හමුවෙන්න කලින්
සිදු උනොත්
අපිට වෙන් වෙන්න..
ඉන්නම් බලා සසරේ
එක භවයක හෝ
නුඹේ වෙන්න..
බැරි උනොත් ඒ
භවයෙත් නුඹේ වෙන්න..
මං නැතත් කොහේ හෝ
නුඹ හොදින් ඉන්න..

...
...

Dila 🖤🥀

31.

බොහෝ කවි අතර
සොයා යමි
දැනෙන වචන කිහිපයක්..
රිදි රිදි කියවන්න..

බෙහෝ හැඟීම් අතර
පැටලෙමි..
අන්තිමට සුසුම්
ලග සැනසෙමි..
වරුගනන් බලා ඉමි..
නොසන්සුන්ව කෑ ගසමි..

"ඔයා හොදින්ද "

කාලාන්තරයකට පස්සේ
නුබෙන් ලැබෙන
කෙටි පණිවුඩයකට
තුටින් ඉපිලි නටමි...
නමුත් ක්ශනිකවම නැවතෙමි..

"ඔයා සතුටින් නේද"
අසා පිලිතුරු යවමි..

...
...

Dila 🖤🥀

30.

ප්‍රේමය ඉතිරි උනේ ම
මගහැරුනු හිත්වල..
ප්‍රේමය නොමැරුනේම
මඟ බලපු ඇස්වල..
ප්‍රේමය නැවත නැවතත්
උපත ලැබුවේම
අතහැරුනු තැන්වල..
ප්‍රේමය අමරණීය උනේම
නොලැබුණු ජීවිතවල..
ප්‍රේමය ප්‍රේමය විදිහටම
පවතින්නෙ
ඒ නොලැබීම තුළ..

ඉතිං,
නොලැබුණු ප්‍රේමය..
නුඹට නොදෙවනි වන ප්‍රේමයක්
අදටත් මට මුණගැසී නැත..

මේ ගමන හරි දිගයි
නොලැබුනත්
අපි ආයෙ මුණ ගැසෙමු..
ආයෙ ආයෙම වෙන් වෙමු..
ප්‍රේමය අමරණීය වන්නට ඉඩහැර..

...
...

Dila 🖤🥀

32.

ඔබේ හීනය බර වැඩියි
අත්තටු කුඩයි රැය සීතයි
ඉතිං අපි පියඹමුද කියලා
මට අහන්නට බය ඒකයි...

ඔබේ අහසත් මගේ අහසත්
එකක් කියලා දැනුනු දවසක
ඔහේ පාවී යන්න කියලා
මගේ හීනය මුදා හැරියෙමි...

හිස් තැනක් සේ දුරට පෙනුනත්
කොයි තරම් නම් බරද අහසක්
කියා දන්නේ පොළව හින්දා
හෙටත් මහ පොළවෙහිම නවතිමි...

...
...

Dila 🖤🥀

33.

හොඳට වැහිබර වෙලා තිබුණට
දෙදෙන දෙපසක හිදින්නේ
තිබුණෙ එක ප්‍රශ්නයයි දෙදෙනට
කවුද ඉස්සර වහින්නේ...

විදුළියක් සේ හැපී හඬ ගා
හිදින බව සිහි කරන්නේ
දෙතැන හිටියට වළා දෙකටම
එකම පැතුමයි තියෙන්නේ...

පෙමක වැහි ගෙන පොළෝ තලයට
වඩින පැතුමයි තියෙන්නේ
කඳුළු බර වැඩි හින්ද දෙදෙනම
හැඟුම් තදකර හිදින්නේ...

...
...

Dila 🖤🥀

34.

පිච්චෙන්න දෙයක් නැතුවම
හිස්කම පවා ඇවිලෙයි
ඉර ගිණිගත්ත අහසක
මම කළුවරේ පාවෙයි..

ඝණදුර දෙබෑකරගෙන
හදිසියේ තරුවක් පායයි
⁣"හොඳින් නේද?" යි අසා
පිළිතුරු නොඅසාම නික්මෙයි..

⁣මොහොතකටවත් නොනිවෙමි
ඔබ උනත් නිවෙන්නට නරකයි
ආයේ ඇවිලෙන්න උනොතින්
දැනෙන වේදනාවන් දරුණුයි..

...
...

Dila 🖤🥀

35.

''සතුටින්ද?''
'ඔව්.. නැතුව..

ඉඳහිට කඳුළක් උනන එක
ගැඹුරු සුසුමක් හෙලන එක
පුරුද්දට ගිහින් මට..
කියන්න
ඔයාටත් එහෙමද?'

''කාටවත් කියන් නැත්නම්
දෙයක් කියන්නද?

එහෙමවත් සතුටක් නෑ මට..
හරි වෙහෙසයි
සතුටින්ය අඟවන එක...''

...
...

Dila 🖤🥀

36.

පරවෙලා ගිය මලක සුවඳක්
මැරුණු තරුවක පරණ එළියක්
තාම මම නොමැරී ඉන්න බව
ආයේ ආයෙම කියනවා...

වැරදිලා අපි අතින් අත්හල
මියැදිලා ඇති සිතූ මතකය
පැල වෙලා මල් පිපුන් නැතුවට
අතුපුරා කටු තියෙනවා...

නරක නපුරුම මතක මත්කර
ඇවිලිලා පිච්චුනත් කොච්චර
හැම දේම සිදුවෙන්නේ හොඳටයි
පුරුද්දට වගේ කියනවා...

...
...

Dila 🖤🥀

37.

නොකියූ පෙම් කතා
සිත තුළ සඟවලා
එනතුරු නුඹ දිහා
බලනෙමි සොය සොයා...

නොරහසකි මෙය සඟවනා
මා නුඹට ලෙන්ගතු වනා
කෙලෙස කිව්වත් පහදවා
නොදැනුණේ නුඹටම තමා...

...
...

Dila 🖤🥀

38.

සොඳුර නුඹ හමායන සුළං රැල්ලක්
ගත සිත නිවන සිසිලස් මද පවනක්
හැරිලා බලනවද මැණික මොහොතක්
නුඹ එක්කම පාවෙන මම වළාකුලක් ...

නැවතුනත් ගස් ගල් පවන විඳ විතරක්
පොළවට බැඳුන උන්ට යන්න බෑ ගමනක්
ඈත දුර යන්න හැරදමා ආවත් හැඟුමක්
අමතකද මම තාම බැඳීම් නැති වළාකුලක් ...

නුඹට යන්නට හැර වළාකුළු නොකී රිදුමක්
සඟවාන සුළඟට මග කියන එක සිරිතක්
කිසිදින හිමිනැති නිසා මේ සුළඟේ අයිතියක්
තනිකමේ දුක නිසා කඳුළුත් ඇරඹුවා වැස්සක් ...

...
...

Dila 🖤🥀

39.

බොඳවු ඇස් අගකින් ගලා එන
කඳුළු මුල් අතරට වැටී
කවුලුවෙන් දුර ඈත නොපෙනිම
විහඟ සත්සර නද ඇසී ...

රිදෙන හැඟුමන් විඳින පපුතුර
නිරුත්තර පැනයක ගැටී
හිතට කොඳුරන උත්තරේ නම්
ජීවිතේ නොදැනුන හැටී ...

කුරුලු බිඟු නද නෑසුනාදෙන්
ඒත් හිත දුර යන්නැතී
කවුරුවත් නැති උනත් තනියට
නුඹ ළඟින් හිටියම ඇතී ...

...
...

Dila 🖤🥀

40.

වන්දනාවක් නොවුනත්‍‍‍
කොහේ හරි
දිහාවක ඇවිදිමු ..

භාවනාවක්ම නොවුනත්
ඇස් පියාගෙන හිනැහෙමු‍‍‍ ..

හෙටක් ගැන නොහිතමු
අදට විතරක් නවතිමු ..

ප්‍රේමය ම නොවුනත්
වෙනත් නමකින් හෝ
"අපි පවතිමු"..

...
...

Dila 🖤🥀

41.

ඔයා දිහාම බලාගෙන
හිටිය දවස් තිබුණා
බැලුවෙ නෑ වගේ ඉදපු..

ඔයා ගැනම හොය හොයා
වද වෙච්ච දවස් තිබුණා
හෙව්වෙ නෑ වගේ ඉදපු..

ඔයා යන්න හදද්දි
ඉන්න කියන්නම
හිතුන දවස් තිබුණා
සද්ද නොකර හිටපු..

ආදරේ පොදි ගහල
තදට බැදල
හිතේ හරි මැදම හංගං හිටිය
කාලයක් තිබුණා
දාල යද්දි අඩන්නැතුව හිටපු..

...
...

Dila 🖤🥀

42.

ඉතින් හිමිහිට හිමිහිට
ගලා ගෙන යයි කාලය
බොඳ වෙලා තිබුණු ඇස් වල
දියවෙලා යයි මතකය

ආයෙමත් එක දවසක
හිනාවෙනකොට පෙර ලෙස
දැනෙන සැමරුම් ශේෂය
සඟවන්න හැකිය බැල්මක

අහම්බෙන් ලියූ කවියක
අතරමැද පද කෙළවර
බදෙන් ගිලිහුණු කඳුලක
ඡායාව විය තිත් පෙළ

අහම්බෙන් මළ ගසකට
පණ දෙන්න බෑ පින්නට
දුරක ගිය වැහි මේඝෙට
එන්න නොහැකිය කතරට

දරා හිනැහෙන ඇස්වල
ප්‍රේමයක් ඇති නොදකින  !!

...
...

Dila 🖤🥀

43.

හොවා හිස ඒ ළය මත
රිසි විටෙක හඬනු නොහැකිය
බදා වැළඳ දෝතින් තදින්
ඔහු අසල නිවෙනු බැරිය
දුක දියකරන හාදුවක්
කිසිදිනෙක
නළලත රැඳෙනු නැතිය

එබැවින්
සිතට මේ වග
බොහෝ බර වැඩිය

සංසාරගත ප්‍රේමයක්
තනි හිතකින් උසුලාගෙන
එන්නෙකුගේ හුස්ම
තව තවත් වෙහෙසවනු රිසින්

"තවමත් ආදරේ ද ඔහුට?"

යලි යලිත්
නොඅසන්නේ නම් මැනව !!

...
...

Dila 🖤🥀

44.

කලක් මගෙ වුණු ඔහුගෙ පපුතුර බදා නුඹ නිදනවා ඇතී
මගේ හිස පිරි මැදපු අතැඟිළි නුඹේ කෙහෙරැළි මැද ඇතී
මා නිවාලූ සොඳුරු සිනහව නුඹෙ නමින් පූදිනු ඇතී
ඉතින් නුඹ ළඟ ඔහු තුටින් නම් නාඬා ඉන්නම් ඒ ඇතී ...

දිවි කතර මැද පිපාසෙට දිය වී නිවාලනු මැන පෙමින්
විඩාවෙයි ඔහු අත් හරින්නට නොදී ඉඳපන් සවි දෙමින්
අඳුරු වන මැද රුදුය කටුකය ළඟම රැඳියන් නොසැලෙමින්
දිවිය පවතින තුරාවට නුඹෙ දැවී නිවියන් ඒ නමින් ...

සෙනෙහෙ දියරෙන් තෙමා හදමල පෙමින් නිති දෝවන්න
නිබඳ සිනහව දරා මුව මත සිතට සැනසුම දෙන්න
වෙළී සියොළඟ සීත හිමතර උණුහුමට ළඟ ඉන්න
මට අහිමි මගෙ සරාසඳ ඔහු පණ සදිසි රැකගන්න ...

...
...

Dila 🖤🥀

45.

රැයේ මල් පීදිලා අඳුරේ
සුවඳ හලලා ඔහේ පරවේ
ප්‍රේමයේ කවි කතා අතරේ
නිහඬ සුසුමන් රැඳී දියවේ...

තැනිතලා මුඬු බිමක අඳුරේ
පහන් තරු එළියක් ද රැඳුනේ
පියාගෙන ඇස් දෙකම සොඳුරේ
හොයාපන් හදවතක රස්නේ...

...
...

Dila 🖤🥀

46.

ගිනි ගන්න තැන්වලදි
පෙගෙනවා
ඇතැම් ඇස්

සුළි සුළං කඩා පැන
ඉබාගාතේ
හොයයි අත්

වැහි බිරුම් අස්සකින්
ගිලිහෙනවා
මැරුණු පත්

අන්තෙටම ළඟා වී
පණ අදියි
බිඳුණු හිත් !!

...
...

Dila 🖤🥀

47.

යනෙන මගතොට අතර මගකදි
ඔබේ හැඩ රුව පෙනුම සම ඇති
පිරිමි රුවකට පවා රැවටෙමි
ඔබද සිතමින් මදක් නවතෙමි

හිනාවක් නම් මුවඟ නොපෙනේ
එහෙත් ඒ ඔබේ දෑස් නොම වේ
මත් බඳුන ඇස් මැවී බොඳවේ
අමුතු දුකකින් පපුව බර වේ

ආයෙ දවසක හමුවෙන්න බැරි
හේතුවක් තිබුණද මොනවහරි
එහෙම නැතිනම් හමුවුනොත් යළි
වෙන් නොවෙන බව දැනුනාද අපි...

...
...

Dila 🖤🥀

48.

නිහඬ නිසසල හුදෙකලාවක
සිතත් ගැඹුරුම කල්පනාවක
මතක ඇවිළී යන වෙලාවක
නුඹ දිටිමි වැහි බර වළාවක..

සඳ නොදී සඟවන් අමාවක
වසන්තය පැටළී පමාවක
කඳුළු අබියස පෙම නිමාවක
නුඹ දකින්නට වන්දනාවක..

හදෙහි පිළිරැව් දෙන සිනාවක
රැඳී එන මායම් ඉනාවක
හිත නිවන ගායනාවක
නුඹ විඳිමි හිඳ භාවනාවක..

...
...

Dila 🖤🥀

49.

අඳුරු අහුමුළු ඔබා යටට
හිනා පුරවා හිඩැස් මැදට
ගොතා ගත් පසු රහට හැඩට
කවි කියන්නෙම මතක වලට

රෑක මීදුම අස්සෙ සඟවා
මිදුණු හසරැලි හෙමින් සොලවා
අයිති නැති තැන් පපුවෙ රඳවා
හීන වලිනුත් කවි ලියනවා

...
...

Dila 🖤🥀

50.

වගක් නැතුවා වගේ හිඳ
තනිව ඉකිබිඳී අහසද
කඩා වැටෙනා තරුවක
අවසන් එළිය සිහිකර

හරියටම මං වගේමයි
සිනහවන් දහසක් මැද
ළයට අත තියා බලනු මැන
තවම ඔබ එතැන එහෙමම

...
...

Dila 🖤🥀

51.

ඉඳහිට දිනෙක සපැමිණ
වගතුග සොයා නිහඬව
නුඹ යළි නික්ම යන'යුරු
නොදුටුව විලස හැසිරෙමි

ආගිය තැනෙක සුපුරුදු
හැඟුමක සිහිල කැටිවුණ
ඉපැරණි මතක අරණක
දැන දැන අතරමං වෙමි

...
...

Dila 🖤🥀

52.

ග්‍රීෂ්ම සෘතුවක හමුවුනු ඇස් දෙකක්
සීත සෘතුවට ඇද ගිය අත් දෙකක්
ඇයි හමුවනේ කියන එක ප්‍රශ්නයක්
බදාගත් පසු අතාරින්න නෑ හේතුවක්

හමු වූ තැනයි දැන් ඉදින තැනයි මහ දුරයි
පටන් ගත් තැන හොයායන එක කරදරයි
එන්න එන්නම නුබේ රූපය අන් සතුයි
මට නම් නුබ ගම්පෙරළිය වගේ ලස්සනයි

දුරින් ඉදිනා නුබේ රූපය අන් සතු වුනත්
සොඳුර නුඹගේ හීනී හදවත මා සතු කරන්
ආදරෙ මොකටද හදවත රැක්කොත් ඇති ආදරෙන්
නුබ මට හමුවුනු කාලෙකට පෙනෙනා හීනයක්

වෙන්න ඕනේ ඔක්කොම වෙලත්
නුබ තරම් දැනුනේ නෑ කව්රුවත්
හිනා වුනාට මහා ගොඩක්
උබටයි අයිති ඒ හිනාවේ කොනක්

...
...

Dila 🖤🥀

53.

මහ රෑ
ගැස්සී අවදිව
ඉඟ වටා ගිය
නුඹේ අත
කොහිදැයි සොයමි..

ලෝකයම
එක තැන නතර කල
පපුතුරේ උණුහුම සොයමි..

බදාගෙන ආදරෙන්
විසිරුණු ජීවිතය
එක්තැන් කල
හීනෙනුත් ළඟ හිඳින
ආදරේ කොහි දැයි සොයමි..

...
...

Dila 🖤🥀

54.

හුඟක් කවියන් ලියූ කවි ගී
පපුවෙ ගැඹුරට එබි එබී
කුමක් හෝ මතකයක් හොයනවා
නොදී යන්නට මැකි මැකී

පසුව දිනයක හමුවුනා ලොව
කවක ගීයක මල් පිපී
ඉතින් මතකය ලං වුනා මට
එතන හිටියෙත් ඒ අපී

එදා වාගෙම අදත් හෙටටත්
කවියො කවි මත හැපි හැපී
ලියයි පෑරුණු රිදුනු තැන්වල
තිබුනු ලස්සන ඒ හැටී

...
...

Dila 🖤🥀

55.

අතීතයක මං නැවතිලා
පැරණි මතකය සොයනවා
සුසුම් වැල් වල දවටලා
විටක මම නුඹ සිඹිනවා..

ගැහෙන පපුවක හංගලා
හෙමින් නුඹ පිරිමදිනවා
හීන වල නැවතුන ඔයා
තාම ලේ වල දුවනවා..

රිදෙන තැන් වල බල බලා
කදුළු පැල්ලම් පිහිනවා
අපිට වැරදුන තැන සොයා
බරට හුස්මක් තියනවා..

ගොඩක් රෑ සීතල වෙලා
වළාකුළු සද නිවනවා
රත්තරං මං නෙතු පියා
නුඹේ රෑපය මවනවා..

සොදුර නුඹ කිව් කතා
දෝංකාරය ඇහෙනවා
යටි හිතින් නුඹ කැළතිලා
එද්දී හදවත රිදෙනවා..

...
...

Dila 🖤🥀

56.

ඉතින් අවසර යන්න සමුගෙන
හදේ දොරගුළු කඩා බිද ගෙන
කදුළු තැවරුණු මතක හිත් පොත
තුරුළු කරගෙන මියෙමි දිනයක..

මගේ මළගම කන වැකුණු විට
කඩා බිදගෙන සොදුර එනවද
මගේ තනියට සොහොන් කොත ළග
ඔබේ කදුළක් තියා යනවද..

නිතර ඇස් යට රැදුණු ඔය රුව
සසර මතුවට පතා එන්නද
අපට වැරදුන ආදරේ මඟ
සොයාගෙන අප නැවත ළං වෙමුද..

...
...

Dila 🖤🥀

57.

අහසක් දිනෙක මහ වැස්සක් බිමට හලා
සුසුමක් හෙලා හිටියා පැත්තකට වෙලා
තරුවක් දෙකක්වත් නැති ඒ අහස දිහා
වරුවක් බලා හිටියා මම දෙනෙත් අයා..

කදුලක් ඇවිත් නොකියම නෙත් දෙකට වෙලා
සුසුමක් සමග හාදව මට විහිළු කලා
සදටත් හොරෙන් කළුවරකට මුවා වෙලා
නුඹේ නමට වැටුනු කදුළු එකතු කලා..

ගොම්මන් අදුර තනිකම ළග මතක තියා
හිරු නැති ලොවක අද දවසත් ගෙවිලා ගියා
හීනයේ මතක දොරකඩ ළග දෑස් අයා
තාමත් බලා ඉමි යලි අපි හමු වේවී කියා..

...
...

Dila 🖤🥀

58.

දවසක උඹ තනි වෙයි
එතකොට මාව මතක් වෙයි,

එච්චර රිද්දනකොට
කොච්චර ආදරේ කළාද කියලා
තේරෙයි,

ආයේ මාව හොයාගෙන එන්න හිතෙයි
මගේ ආදරේ ඕන වෙයි....!!

මැණික,
එදාට මම
ආයෙ එන්න බැරි දුරකට
මම ගිහින් තියෙයි....!!

...
...

Dila 🖤🥀

59.

හිත් රිද්දන මතක වලින්
කඳුළු ගෙනාවත්
නුඹේ වෙලා හිටිය දවස්
වටිනවා තවටත්..

නින්ද නොයන හැමරෑකම
හීන වලටවත්
ඇවිත් දියන් නුඹේ උණුහුන
වතාවක් තවත්..

නුඹ ඇවිදින් මෙමගේ හිත
පෑරුවට තවත්
නුඹම තමයි මේ කදුළට
තිත තියන කෙනත්..

Top writers

Stay in touch