Nisadas / Writer / සිතුවිලි පාරමී

Writer Profile

    Circle Image
    සිතුවිලි පාරමී
    Nisadas: 21

...
...

සිතුවිලි පාරමී

සොඳුර

සොඳුරු ලෙස අද හිනැහුනා ඔබ
බලා ඉන්නට ලෝභ හිතුනා
එදා වාගෙම හිටියනම් නුඹ
අද මටත් හිනැහෙන්න තිබුනා
❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

කුමරාණෙනි නුඹ එනකන්

සද හොරෙන්ම හිනා වෙලා මගෙ මුහුනට එබී බලා
අද එනවද අද එනවද කියා අහනවා
අද ඒවිද නේවිද ඔබ කවදා කොතැනක හමුවෙද
නොදැන මමත් ඔබ එනතුරු බලා ඉන්නවා

නොඑනා බව පෙනෙනා විට සදත් නොකියා හොරෙන්ම
දුකින් වගේ හෙමින් හෙමින් යන්නට යනවා
මාසෙ පෝයෙ කලුවර හද මඩල වසා යද්දිම මගෙ
සුපුරුදු කදුලක් මගෙ ලග තනිය මකනවා

තරු කැට වට වී සිටියත් සිත් ගත් තරුවක් නැති දුක
සදේ නුඹට වාගෙම අද මටත් දැනෙනවා
ඊලග පුර පසලොස්වක සද එද්දීවත් මගෙ ලග
කුමරාණෙනී නුඹ හිටියොත් කියා සිතෙනවා

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

හැම තිස්සෙම හිත අද්දර හිත මුමුණන නුඹෙ කටහඩ
මගේම කරගන්න සිතුනු වාර අනන්තයි
මිතුදමකට එහා ගියත් අපෙ කතන්දරේ
තව දුරකට අරන් යන්න නොහැකිදෝ සිතේ

...
...

සිතුවිලි පාරමී

ඇය අම්මා නම් විය

අද මම උගතෙක්ලු
අම්මා මං තරම් ඉගෙන ගෙන නෑලු
හරි වැරද්ද මොකක්ද අම්මට වඩා මං දන්නවාලු
සමාජය ඉස්සරහ මං වැදගත් චරිතයක්ලු
ඒත්
මතකද අම්මේ...
පුංචි කාලෙ මට 'අ' යන්න උගන්නන්න
අම්මා කොච්චර මහන්සි උනාද
පාට පිට යන්නෙ නැතුව චිත්‍රයක් පාට කරන්න
මට කියල දුන්නෙ අම්මා නේද
වැරදි වැරදි වචන කියද්දි
අකුරු ගළපලා වචන ලියන්න කියන්න කියලා දුන්නෙ අම්මා නේද
ඉතින් අම්මේ
මං කොහොමද අම්මට වැඩිය උගතෙක් වෙන්නෙ
මට හැමදේම කියලා දුන්නෙ අම්මා වෙච්චි කොට
මතකයි අම්මෙ මට
මොන්ටිසෝරි ගිහින් එද්දි
පයින් යන්න බෑ කියද්දි
අම්මා මාව හැමදාම වඩාගෙන ආපු හැටි
මතකයි අම්මෙ මට
ඉස්කෝලෙ ටීචටත් කලින් මට අම්මා පාඩම් ඉගැන්නුව හැටි
මතකයි අම්මෙ මට
කවුරුත් වැඩිය ගනන් ගත්තෙ නැති මාව
හැමෝම මං ගැන කතා වෙන තැනට ගෙනාපු හැටි
අදටත් ලෙඩක් දුකක් හැදුනම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ඔයාව
"ඔයාටත් බෝ වෙයි අම්මෙ ලගට එන්නෙපා" කියුවත් මං
නින්ද යනකන් ඔලුව අත ගගා හිටියෙ ඔයා අම්මෙ
අදටත් මං ආස දේ
ඉල්ලන්නත් කලින්ම ගෙනත් තියන්නෙ අම්මා
අද මං ලොකු මනුස්සයෙක් උනාට
ඒ චරිතෙ නිර්මාණකරුවා ඔයා
මං අම්මගෙ අත් දෙකෙන් අවුරුදු ගානක් තිස්සේ ඇඹුණු පිළිරුවක්

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

අප්පච්ච්

තාත්තේ...
තාත්තා කොහෙ ඉන්නවද කියන්න මං දන්නෙ නෑ
හැබැයි කොහෙ හිටියත් මගේ තාත්තා
කරදරයක් නැතුව ඇති
මොකද මගේ තාත්තා කාටවත් වරදක් කලේ නැති නිසා
හැම කෙනාටම කලේ හොදම විතරක් නිසා
තාත්තා හැමදාම වැඩට ගිහින් ඇවිත්
මාව බයිසිකලේ තියාගෙන රවුමක් දෙකක් අනිවාරෙන්ම එක්කන් යනවා
කොච්චර අමාරු උනත් තාත්තා ඒක නැවැත්තුවෙ නෑ නේද තාත්තේ
අදටත් මට මනුස්සයෙකුට දෙයක් දීලා ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන්
හැම මනුස්සයෙකුටම තමන්ගෙ කෙනෙකුට වගේ ආදරේ කරන්න පුලුවන්
මොකද තාත්තා මාත් එක්ක හිටපු ටික කාලෙට මට මනුස්සකම ගැන ගොඩක් පාඩම් කියල දුන්නු නිසා
තාත්තේ
හැමදාම තාත්තගෙ පින්තූරෙට වැදලා යනකොට
අම්මා කියනවා වගේම මටත් හිතෙනවා
"තාත්තා කොහෙ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති"

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

නුඹ

මිතුරියකි නුඹ
දුක සැප ළග එකට සිටි
කිසිදා හැර නොගිය හැර නොයන

සොයුරියකි නුඹ
සෙවනැල්ලක් සේ මා පසුපස සිට
දිරිය දුන් දිරිය දෙන

මවකි නුඹ
හැම චෝදනාවකින්ම මා ගළවා
මාව විශ්වාස කළ විශ්වාස කරන

පතිනියයි අද
එදා මා හදවිලේ පිපී
සුවද දුන් සුවද දෙන

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

නිදහස

අගුළු දමා සිර කරගෙන
යකඩෙන් නිමකළ කූඩෙක
පෙත්තෝ උඹ බත් කෑවද
කියා අහනවා

මට කන්නට හිතෙන්නෙ නෑ
අම්මා අප්පා මගෙ ළග නෑ
ආපහු මට යන්න දෙන්න
ඌ මුමුණනවා

ගෙදර ඉන්න පොඩි පැටවුන්
යාලුවො එක්කන් ඇවිදින්
කුරුළු පැටියා පෙන්න පෙන්න
කතා කියනවා

අනේ ළමයො උඹ වාගෙම
මගේ පුංචි මිතුරො එක්ක
ගස් වැල් උඩ කවි කියන්න
මං හරි ආසයි

මට ඕනේ පියාඹන්න
නිල් අහසේ පුරාවටම
මේ කූඩුවෙ ඉදලාම මගෙ
අත්තටු හිරිවැටිලා දැන්

මා සිරකළ මේ කූඩුව
නෙමෙයි අනේ මගෙ ලෝකය
මට ආපහු යන්න දෙන්න
මං අයදිනවා

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

යශෝදරා

අතැර යන්නට හැකිද හිමියනි ඔබට මා
මතක නැද්දෝ ඔබට පණ මෙන් පෙම් කළා

මතකයි මටත් පෙම් කළ හැටි යශෝදරා
මේ භවයෙම නොවෙයි අපි සංසාරයේ පුරා

උපන්නා විතරමයි අපගේ කිරි කැටියා
අනේ දුක නැද්ද හිමියනි මේ නුඹගේ දරුවා

සංවේගයක් දැනේ හැර යන විට පවුල
කුමක් කරන්නද සොයනව මිස සත්‍යය

මතකයි හිමියනි ඉස්සර කී ප්‍රේම කතා
ඉන්නට පැතුවෙ මියෙනා තුරු ඔබෙම වෙලා

ඔබ මාගේ යැයි පැවසූවත් සොඳුර
ඔබව ඔබටවත් නැත අයිතිය සතුව

කුමක් කියනවාද නැහැ මට තේරෙන්නේ
දුකක් දැනෙනවා පමණකි මා දන්නේ

අල්ලා ගත් දෙයක් ඇත්නම් ඔබ සතුව
එයම දුකක් වේවිය ඔබ හට සොඳුර

නැත ඔබෙ කැමත්තට මා කරළා බාධා
සොයා සත්‍යය එනුමැන අප නැවත සොයා

සියුමැලි සුමුදු අත් පා ඔබගේ සිරුර
වැහැරී යයි දිනෙක එය වේ සත්‍යය
සොයා ගත් දිනේ විසදුමක් එයට
එයම වේ සොඳුර අපගේ නිවන

නොමැතිව ඉන්න බෑ හිමියනි මට ඔබව
මමත් පැමිණෙන්නම් කැලයට ඔබ සමග
ඈතින් හිදින්නම් ඔබ නොපෙනෙන ලෙසට
බිදින්නේ නෑ තපස ඔබෙ කවදාවත්ම

කටුකයි සොඳුර කැලයේ විස සතුන් ඇතී
සියුමැලි ඔබට එහි වාසය පුරුදු නැතී
සත්‍යය සොයා මම එන්නම් පමා නොවී
දරුවයි නුඹයි හිදින්න මාළිගයටම වී

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

යශෝදරා

නිවන්නයි යන්නෙ ගිනිගත් මේ සසර
හොදටයි අපගෙ මෙන් මේ මුළු ලෝකයෙම
පෙමින් බැදුණු මුත් ගෙවනා තුරු සසර
දුක් නොම වෙන් ඒ සසරේ හැටි සොඳුර

භවයෙන් භවය පසුපස ආ යශෝදරා
සෙවනැල්ලක් වී දිරි දුන් යශෝදරා
අවසන් හමු වීමයි අපෙ යශෝදරා
දෙන්නම අපි නිවනට යමු යශෝදරා

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

ආදරේ

දිගු ඇස් මා වෙත හැරවෙන හැම වර
හදවත ගැස්සෙනවා සත්තයි

හදවත ගැස්සෙන හැම වාරයකම
මට ඔබ සිහිවනවා සත්තයි

මට ඔබ සිහිවන හැම වාරයකම
ඔබ මගෙ නම් හිතෙනවා සත්තයි

ඔබ මගෙ නම් සිතෙනා හැම වාරෙක
ආදරෙ මට දැනෙනවා සත්තයි


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

සමුගන්න පෙර...

වැහැපන් වැස්ස දෝරෙ ගලන්නම
මගෙ කදුළු කාටවත් පේන්නෑ එතකොට

පායපන් අව්ව ගිනි රස්නෙටම
හිතේ ගිනි කාටවත් දැනෙන්නෑ එතකොට

හමාපන් සැඩ සුළග අපෙ මතක සටහන්
එකක්වත් ශේෂ නොවී ගසාගෙන යන්නම

හමුවෙයන් උඹටත් මට වඩා හොඳ කෙනෙක්
හිත හදන් සදහටම උඹෙන් ඈතට යන්න


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

අන්සතු පෙම්වත

හිනාවෙන්න, ඇයි තහනම් කලේ කවුරුද
අහක බලා යන්නේ ඇයි මා අමතකද
රණ්ඩු වුනා විහිළු කලා අපි පොඩිකමට
අමාවකද අද ආවේ මගෙ ලෝකයට

ඔය හිනාව දකිනු නැතිව ඉන්න බෑ මට
අමාවකට වැඩි කළුවර දැනෙයි මට අද
හිතට බරයි හිත වදදෙයි නුඹම ගැන හිත
ඔබෙ ආදරෙ වෙන කෙනෙකුගෙ වුනත් මේ විට

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

මගේ මනාලී...

දවටා සුදු සේල
පළදා මුතු මාල
හැඩවී මගේ පණ
ඇවිදින් මගෙ අබියසටම

බිම බලාගෙන සිටි
දිග් ඇස් එසවුණි
නෙත් සතරක් හමුවී
ආත්මයම බැදුණි

නා දළු දෙතොලක්
හීනියට ඇදුනු හිනාවක්
තවමත් මගේ ඇස්
අහකට ගියේ නෑ නුඹෙන්

එල්ලී මගේ දෑතේ
සුරතල් බස් කියූ ආලේ
පුංචි කැකුළියේ
නුඹමද මේ..

බැහැ මට හිතාගන්නවත්
අදින් පසු නුඹ මගේ..
නැහැ මගෙ මැණික
මේ මුළු ආත්මයම නුඹේ..


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

ඇරයුම

නිසල රැයේ පායා එන්න
මගෙ සිත ගනදුර නිවන්න
තුරුලු වෙලා ලග හිදින්න
නුඹටයි ඇරයුම්..

සීත රැයේ පායා එන්න
මගෙ ගත උණුසුම් කරන්න
ළග හිද පෙම් බස් දොඩන්න
නුඹටයි ඇරයුම්..

ආදරේට හිනාවෙන්න
හුරතල් පෙම් කවි කියන්න
හිස් හදවත පුරවන්නට
නුඹටයි ඇරයුම්..


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

මගෙ පණටත් වැඩියෙන් මම නුඹට ආදරේ

මුළු ගෙදරම කල එළියලු
ආයෙත් අම්මෙක් වෙලාලු
ගේ පුරාම කිරි සුවදලු
නුඹ ඇවිදිල්ලා

නුඹ බලන්න නෑ පිරිවර
ඇවිදින් තෑගිත් අරගෙන
මා කාටත් වී අමතක
නුඹ ඇවිදිල්ලා

හුරතල් කර කර ඉන්නට ඉස්සර වාගේ
අම්මට අප්පච්චිට නම් දැන් නෑ කාලේ
කොපමණ වෙනසක් වීදෝ නුඹ ඇවිත් මලේ
දැන් මා නිදියන්නෙත් අත්තම්මගෙ තුරුලේ

මට නම් දැනෙනවා ආදරෙ අඩුවෙලා වගේ
කාගෙත් ආදරෙ ලැබෙන්නෙ නුඹටමයි මලේ
තරහක් නෑ කවදාවත් නුඹට මගෙ හිතේ
ඔය කාටත් වැඩියෙන් මම නුඹට ආදරේ


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

තාත්තා... 😔

අම්මගෙ තනියට කොහෙදෝ හිටි මා මෙලොව ගෙනත් තියලා
ඔබ කොහි ගියෙදෝ අපව දමා දුර ඈතක පියාඹලා
මතකෙට එනවිට දෙනෙත් තෙමෙනවා මට ඔබ සිහිවීලා
මතු භවයක අපි හමුවී මෙලෙසින් වෙන්වී නොයමූ සදා

වසරින් වසරක් ගෙවී ගිහින්
තාත්තෙ මං දැන් ලොකු ලමයෙක්
අපි අතරේ ඔබ හිටියානම්
ඔබ තුටු වෙයි මා දිහා බලන්

අමතක නෑ මට හෙට දවස
තාත්තෙ ඔබ ඉපදුණු දවස
සමරන්නට බැහැනේ අපට
තාත්තෙ ඔබ අප ළග නැතුව

ඔබ මියැදෙනකොට මං පුංචි
දැන් නම් මගෙ බර ගොඩක් වැඩී
වෙනසක් නෑ මගෙ අප්පච්චී
තාමත් ඔබෙ මැණිකයි චූටී


❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

❤සුබ උපන් දිනයක් තාත්තේ...❤

අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් නොකළට අප්පච්චී
මගෙ හිත අද්දර හැමදාමත් ඔබ සක්මන් කෙරුවා අප්පච්චී
දොළ දිය කෙත නිල ගහ වැල මල නොව
මට මුළු ලෝකෙම අප්පච්චී

වළාකුලේ දා බිදු නොම තැවරී
මහ වැසි නෑ අද බිම තෙමනා
ගිනිගෙන දැවෙනා හදවත් කතරට
කදුළත් සැපදේ නෙතු හෙලනා

සිදාදියට එන මං තනලා
එහි යන සැටි දැකුමට නොඑනා
ඔබ දෙවියෙකු දෙව්ලොව සිටිනා
සිහිනෙන් පමණක් දැකගන්නා

❤පාරා.❤

...
...

සිතුවිලි පාරමී

පැතූ කෙනා ඔබ සෙවූ කෙනා ඔබ ළග ඉන්නට මුළු සංසාරේ

පොත් පිටු අතරේ ඇදෙනා ඔය රුව
සිතුවිලි අතරේ රැදුනු තරම්
සිහිනෙන් මැවෙනා ඒ රූ අතරේ
සුසුම් සුවද මට දැනුනු තරම්
විදපු තරම් ප්‍රේමේ හැගුමන් මා
සිහිනෙන් ඔබ හා බැදුණු තරම්
දැනුනා සෙනෙහේ උතුම් හැගුම් මට
දැනුනා ඔබගේ සෙනෙහෙ තරම්

ආදර සිතකට ආලය පමණයි
හැමවිටකම ඕනෑ වෙන්නේ
මට ඔබගෙන් දැනෙනා සෙනෙහස මගෙ
හිත හැමවිටකම ඉල්ලන්නේ
ලෝකය මොන මොන කතාව කිව්වත්
මට නම් ඒව නොඇසෙන්නේ
ජීවත් වෙන්නට මට ඔබ ඕනේ
බව පමණයි මා නම් දන්නේ

කටුකයි මා යන ජීවන මං පෙත
ගල් මුල් පමණයි හමු වූයේ
ඒ මං පෙත පිපි සුන්දර සුවදැති
මල ඔබ ලෙසටයි මට පෙනුනේ
ගත දා නිවලා හමනා මද නල
ඔබෙ සුවදයි මට ගෙන ආවේ
දැනුනා ඔබ මා පැතූ කෙනයි ළග
ඉන්නට මේ මුළු සංසාරේ

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

බුදු හිමියනි....

තණ්හා ආශා පොකුරු පිටින්
භවයෙන් භවයට අරගෙන යද්දී
අතරමගදී සවනට වැටුණු කතාවක්
ගමන් ගත්තු මග වෙනස් කලා
සැපත සොයාගෙන දුක් ගිනි විදගෙන
ලබාගත්තු සැප කොහේද යන වග
මුදු වදනින් කරුණාවෙන් පවසන
එකම වදනකින් වැටහුණා
තැලෙන පෙලෙන වෙහෙසෙන රිදුමන් දෙන
සිත නිවුනේ හිමි පාමුල පමණකි
සංසාරේ මතු යම් දිනයක
හිමි දෙසනා බණ පදයක් අසලා
සුන්දර නිවනට යන්නට පෙරුමන්
පුරණෙමු මේ භවයේ

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

❤ගොඩක් පින් අපිව රකිනවට❤

රැකුමට අපව ජීවිත පරදුවට තබා
කරමින් සේවෙ රටටම දිව රෑ නොබලා
රැකුමට කුමට දෙවියන් ලංකා මාතා
පෙනෙනා මානෙ ඉන්නා දෙවියන් නුඹලා

❤පාරා❤

...
...

සිතුවිලි පාරමී

නුඹ දකින්න ආසයි මම

මීදුම් පට දෑසට පටලයක් බැද
හීතලම හුලගක් ගත සිසිල් කරවන
කදු මුදුන් අතරින් ලා හිරු කිරණ එන
උණුසුම් තේ කෝප්පයක රස විදින
මේ ලස්සනම උදෑසනෙත්
හිත බලන් ඉන්නෙ නුඹ දකින්න
පේනවා ඈත ඉදන් නුඹ
ගෙල වට සලු පට ඔතාගෙන
දෑත් එක්කරමින් පිරිමදිනවා සීතලට
සදලු තලයට ආවේ උදෑසනම
මාව දකින්න ඇති ආසාවට වග
මං දන්නවා නුඹ නොකිව්වට
නමුත් නුඹ දන්නෙ නෑ නේද
මාත් ආවෙ මෙතනටම
නුඹ දකින්නැතුව මට
ඉන්න බැරි නිසා වග


❤පාරා❤

Top writers

Stay in touch