Nisadas / Writer / Kaveesha Lakmali

Writer Profile

    Circle Image
    Kaveesha Lakmali
    Nisadas: 14

...
...

Kaveesha Lakmali

❤️මතු ප්‍රේම ලෝකයක ❤️

සඟවයි මේඝ බබලනා හිරු මල
අගුළු ලෑවෙමි හදේ පෙම් අසපුව
අඳුරු බර වැහි අහස විලසට
බර වැඩියි හද අගුළු ලෑ ඒ යදම

ගුවන හිස් කර වහින රිසි මහ වැසි
කදුළු කර සැලුවෙමි හද මතක පෙලහර
පෙමින් දිස්න ලද අකුණු සර නෙත් බැල්ම
යලි යලිත් හද දවයි නෙතඟ රැදි කදුලින්ම

කළු මේඝ පහව ගිය මහ වැස්ස නිසලව
ජීව ලැබ එලිය වූ නීල පැහැ තුරු වියන
ලොවට වරදක් නොවූ මතු ප්‍රේම ලෝකයක
ප්‍රාණ දේවා දෙහද නොමියදුනු ප්‍රේමයට!
❤️KaVee❤️

...
...

Kaveesha Lakmali

සිඳලනු හැකිද දුක් ගිනි 😔

අන්ධව මනස දෑසත් වැහි වලාවකින්
නිර්දොස් දනන් පොරවා කළු දුමාරෙකින්
යන්නට හැකිව නම් දෙව්ලොව සැනෙකින්
සිඳලනු හැකිද දුක් ගිනි ඔබ ලද වරමින්...
~~KaVee~~

...
...

Kaveesha Lakmali

වෙස් 👹️

ලොවට පෙන්වා සිනාවක්
මුව ඇතුලෙ ඇති මුසාවක්
මවා මිහිපිට දෙව්ලොවක්
හිත ඇතුලෙ රුදු අපායක්
කාල නැත දෙනු රචනයක්
ඒක මහ දිග කතාවක් 🤐
~~KaVee~~

...
...

Kaveesha Lakmali

අසම්මත සැනසුම් 💕

රැකගන්න සම්මතය
සිරගතව සිත තුළම
ආත්මය දිය කරන
මිනිසුන් මැද,
අසම්මතයෙන් සැනසුම
සම්මත කරගත්තවුන්
දිවියේ තෙරක් නොදැකම
සිනහා වෙති 💗
~~KaVee~~

...
...

Kaveesha Lakmali

🌝වත්කම🌝

මලානික කණ පැහැය
කඳු ගොඩැලි ආවාට
සඟවා දරාගෙන
රාත්‍රියේ සොඳුරු බව
ලොවක් අභිමුව මවන්නට
එළිය දෙන හිරු,
තනි රකින තරු
නොවෙද සඳ සතු
සැබෑ වත්කම..
~~KaVee~~

...
...

Kaveesha Lakmali

හීනයෙන් වත් නෑ ඇවිත් 💔

සඳ ඔබ තරම් දුර නෑ ගිහින්
තරු මල් අතර පායා ඇවිත්..
රළ ඔබ තරම් දුර නෑ ගිහින්
රළු වෙරළ සිප විත් ආයෙමත්..
මම ඔබ තරම් දුර නෑ ගිහින්
අපෙ මතක මත මියැදේ තවත්..
ඔබ හීනයෙන් වත් නෑ ඇවිත්
යන මඟත් නොදැනම දුර ගිහින්..
~~KaVee~~

...
...

Kaveesha Lakmali

වතුසුදු මලක් 🌸

පෙරුමන් පුරා ලැබගත් මනුසත් භවය
පින්වත් බව හැගුනෙ මවුපිය දුටු විටය
විදහා පැතුම් පෙති සියගණනක් සුවඳ
රැකුනේ මෙමා උයනේ රෝස මල ලෙසය

ආයුෂ සිඳී මවුපිය සුර ලොව වැඩියා
නෙක පැහැ සුවඳ මගෙ හිරු සඳු අරන් ගියා
සෙවණක් නැතුව පෙති ගිලිහී සැඟව ගියා
අද මම මෙහි වීමි වතුසුදු මලක් වෙලා

අනියත බවම දුටුවා හැම දෙයින් මම
වටහනු අවැසි නිවනේ සුව ලෝකයට
අවසර පතමි කෙටි කරනට මරු කතර
බුදු හිමි වැඩිය මග පිය මැන යමි මතුව..

~~KaVee~~

...
...

Kaveesha Lakmali

හිමි සඳ 💑

ලොවට පෙන්වූ සිනාවන්
සමඟ මුසු වූ විඩාවන්
කදුළු සැඟවූ කතාවන්
දුටුව හිමි සඳ
ඇයට වාසනාවන් ❤️
~~KaVee~~

...
...

Kaveesha Lakmali

තරු ළඟ සඳු හැඩ උනාට, එළිය දෙන්නේ හිරු..

නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී..
සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී..
හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී..
එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී...
~~KaVee~~

...
...

Kaveesha Lakmali

පාසල් සමයේ ප්‍රතික්ෂේප කල ප්‍රේමයක් අහම්බෙන් නෙත ගැටුණු මොහොතක ඇතිවූ සියුම් පසුතැවිල්ලක් 💔

හුරුපුරුදු නගරයේ
නුහුරු නුපුරුදු මුහුණු මැද
හිතේ මුල්ලක
ලැඟුම් ගත් රූපයක්
රැගෙන යයි සිත
සත් වසක් ඈතට

කෝල සමනල් වයස
උදේ හවසට හිතේ එල්ලුනු
බස් රියේ පෙම් ගීත අස්සෙම
හොරෙන් විත් ඉඟි පෑව
ඇස් දෙකක් දඩබ්බර

සිත ළඟින් හිඳ වෙන්න දොඩමළු
සොයාගෙන හේතුවක්
මවාගෙන සරදමක්
සිනිඳු හිත කෙනිත්තුව
කෙලි කවට සිනහව

එදා මෙන් නොවේ අද
සැනසුම්ය සංවර ගමන
හිත් අදින තේජස් පෙනුම
නිවුනු නෙත හමුවන්න නොමදී
සිතුවෙමි මෙලෙස,

මගට වැස්සෙන් මීදුම් තැනූ
සියල්ලන් නෙත් පියවි මොහොතක
ළඟින් ඉදගෙන පෑව, කුළුදුල්ම පෙම්පත
වැහි දියට පෙඟෙන්නට
ඉඩ දුන්නේ ඇයි මම 😐
~~KaVee~~

...
...

Kaveesha Lakmali

මලක් පිපියන් නුඹේ කැදැල්ලේ 💗💔

ගඟක් විලසට ගලා ආ පෙම
සිදී ගිය ගල් තලාවේ
වාලුකා වැසි වස්සවාවී
මතක නම් නිති දෙවේලේ

සිතක් හඩවා දුරක් යන්නට
නොහැක කීවත් නිසොල්ලේ
නුඹේ දෙනෙතට කදුළු නොමවන්
මලක් පිපියන් කැදැල්ලේ

සසර හුරුවට පැටලුනා හිත්
පෙමක් පිදුවට තුරුල්ලේ
මගේ සෙවණේ සුරැකුනා නුඹ
සතුට එයමයි ජීවිතේ ...
~~KaVee~~

...
...

Kaveesha Lakmali

ඈ ලොව හිරු ළග උන්නා ❤️

අහසේ සඳට සමකර කවි ගී ඇසුනා
පැසසුම් නොලද පිය හිමි නෑ දොස් නගලා
නිවසේ බුදුන් අද මහ මග කත වූවා
තනියක් නොවේ ඈ ලොව හිරු ළග උන්නා..
~~KaVee~~

...
...

Kaveesha Lakmali

සිහිනයට,,💕

සිහින නුඹ නම්
හරිම පුදුමයි
රූ තිරය මත දකින
ඔහුගේ පෙම් දැහැනට
මා හොවන්නට
තරම් නුඹ බොළදයි..
ඒත්,
යටි හිතේ දළු ලන
අහිමි බැව් දැන විඳින
අහිංසක ප්‍රේමයට
ප්‍රාණ දෙනු වස්
මේ තුතිය නුඹටයි..
වැහි සීත මැදියමේ
නුඹ මැවුව සිතුවමට
තවම හිත ලෝබයි..❤️
~~KaVee~~

...
...

Kaveesha Lakmali

නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී..😷

මුව වැස්ම තුළ සුසුම් සිරවී
හැඟුම් ගුලි වී හද ගිලන් වී
පුන්සඳක් වන් මුහුණ සිහිවී
නුඹව නොම දැක හිදිනු බෑ සොඳුරී..

වරද දැන දැන ඉතින් මෙහි ආමී
නුඹේ දසුනින් සුසුම් දිය කරමී
ගතින් වෙන්වී සිතින් අප ළංවී
නෙතින් මුමුණමු සුපෙම් පෙම් ගී

නුඹේ නෙතු අග කදුළු රැන්දී
සැනසෙන්න තහනම් තුරුල් වී
නෙතින් හිනැහෙනු මැනවි සොඳුරී
වසන්තය හෙට ඒවි හිනැහී... 💕
~~KaVee~~

Top writers

Stay in touch