Nisadas / Writer / චතූ

Writer Profile

    Circle Image
    චතූ
    Nisadas: 277

...
...

චතූ

නුඹ

මතකයේ සිව් කොණ ම
දග කෙරුව නුඹ නිසා
මතක පොත පුළුස්සා
හලෙමි මම මුතු කතා
නොතිත් ගනදුර සැපකි
සදත් මට විලිස්සා
තෙරක් නොපෙනෙන රළක
හැගුම් තනි කළ නිසා

- චතූ

...
...

චතූ

මම ද මම?

මා නොදත් දේ
කවක් නොවුණේ
මමත් මම සොයමින් නිසා...
වෙනත් කවියක
හිඩැස් පුරවනු
නොහැක මට මම
නැති නිසා...
වරක් දෙවරක්
සොයා යන්නට
මලක් වුව මිය යනු බලා...
ලොවක් අද්දර
බලා ඉන්නෙමි
මම කව්ද මම
හොය හොයා...

- චතූ

...
...

චතූ

නිකිණි සදවත ( මගේ ම අදහසක් නොව. වෙනත් කවියක් ඇසුරින් කළ නිර්මාණයකි)

නිකිණි ගගනත පුරා
හිනාවෙන පෝය සද
නිකිණ්ණියෙ අහස හැඩ කරනවා...
හිම මිදෙන සීතලත්
එක්ක එන සද කිරණ
හිත අතීතෙට අරං දුවනවා...

සද එක්ක එකතු වී
මටත් රහසේම ගොස්
මගේ හිත දළදාව වදිනවා...
නේක පාටින් දිලෙන
රොබරෝසියා අතර
මගේ හිත ඉද්ද මල් සොයනවා...

තරු නොමැති අහස් ගැබ
සඳ ට දැනෙනා තනිය
මටත් දැනෙනවා දැයි
සද මගෙන් අහනවා...
මුවග මදහස තියා
මුසා තෙපලනු බැරිව
මුනිවතින් මගේ හිත
ගොළු වත ම රකිනවා...

- චතූ

...
...

චතූ

මහ වැස්ස

පෙර රැයේ ඇද වැටුණි
මහ අනෝරා වැස්ස...
අපේ ගම හරි මැදින්
අහස් ගඟ ගැලුවා ද...

මහ දෙණියෙ කොණක අද
මම අසා ඉමි සද්ද...
මාළුවෝ වැහි කළුව
ගැන කතා කිව්වා ද...

ඇළ හරි පෙමින් ඉද්ද
ගස අරන් ගියා වත්ද...
මහ කොස් ගහේ අත්ත
බිම දැම්මෙ ඇයි හුළග...

අවාරෙට ගෙඩි හැදෙන
අඹ ගස මමත් දන්න
දෙණියෙ හුළගත් එක්ක
ඉදුරුවේ ඇයි වැස්ස...

ඉත්තෑවො නිතර එන
ගුරුපාර ළග ලන්ද
පොළව සිප ගන්නටම
සමතලා කළ වැස්ස...

ඊයෙ රෑ පුරාවට
ඇද වැටී වෙහෙසයි ද
ගගන මායිමේ අද
නැවතියන් නුඹ වැස්ස...

- චතූ

...
...

චතූ

වැහි කළු

හීන් වැහි බිඳු අරං
නිළි වැස්ස ඇවිත් යයි
මල් වදුළු තෙමාහැර
අදුර අහසට බෙදයි...

නිසංසල හිත් විලම
අහස් අදුරට හඩයි
වැස්ස නුඹ අරං එන
පාළුවට මං බයයි...

- චතූ

...
...

චතූ

දිනයක්

හිරුත් වැඩියා නිසල
පිණි අරං මල්වලට
තවත් දිනයක කවක්
මසැස සනසනු කිමද...

හිතක් නිදි වරා විදි
දුකක් කෙතරම් රළුද
නැතත් ලැබුණත් සතුට
මලක් හඩනුව කුමට...

- චතූ

...
...

චතූ

කවිය

වියළි තුරු මුදුන් අද
සිගිති වැහි බිඳු සමග
වසන්තේ අන්තිම ම
කවිය කීවා ඇසුණි...

ගගන මුව මත රැඳුණු
වැහි කදුළු කැට අහුරු
අදින් පසු මසක් වත්
මහ පොළොව තෙමාවිලු...

- චතූ

...
...

චතූ

සරසවිය නුඹ

හීන ඉදහිට මැකෙන
අනන්තේ කොණක මම
මගෙ ජිවිතේ සතුට
මගෙ හීන සරසවිය...

නුඹේ සෙවනේ ඉගෙන
ජීවිතේ බොහෝ දුර
හීන පසුපස යන්න
නුඹම මට දිරි දෙන්න...

දිනෙක හිරු නැගෙන විට
අතීතේ මකා හැර
නුඹ දුන්නු කවි හැගුම්
හැකිය මට පබදින්න...

කැන්වසය ජීවිතය
මතුපිටින් තැබූ දින
තෙලි තුඩින් වසන්තය
පින්තාරු කරමි මම...

- චතූ

...
...

චතූ

නිකිණි වැස්ස

නිහඩ අහසේ චණ්ඩ
වැහි වළාකුළු ඇවිත්
මහ වැස්ස නිකිණි මහ
දිය කරයි දෝ ඉතින්...

අහිංසක හුළං රැල්
හරි නපුරු වෙස් අරන්
මගේ හිත එක්ක යළි
සටනකට දෝ ඇවිත්...

රෑ මැදියමේ සිටම
ඉර ගගන නැගෙන තුරු
එක සීරුවට වැස්ස
මහ හඩින් මෙහි අරන්...

පොහොය සදවත මුහුණ
මත අදුරු පට තිරය
එලූ වැහි කළු හොරෙන්
අහස් ගඟ බදු අරන්...

- චතූ

...
...

චතූ

වසන්තයේ අග

ඇහැළ මහ වැහි කලුව
එලා තිරපට හවස
ඉදහිටත් බිදෙන් බිද
කදුළු වැහි බිඳු හලන...

මලානික අහස යට
හීතලම හුළං පොද
බලා අවසන් මතක
නිමා නොකරනු කිමද...

බක් මහට මෙහි ආව
කොවුලෙක්ගෙ කෑ ගෑම
නොනැවතී ඇසෙන්නේ
හැර ගොසින් දෝ පියඹ...

වැහි බරම අහස් ගැබ
පාරනා මතක පොත
කොවුල් වැලපුම අතර
යළිත් හිත වෙලාගෙන...

- චතූ

...
...

චතූ

අවුරුදු දා

මිණිපුරට අවුරුදු ද නුඹට කොහොමද කියා...
මම එන්න සිටි ගමන ඇයද එන්නේ කියා...
අවුරුදු දිනට වත් මා මතක් වේ කියා...
දැනගන්න බලා වුණි දෙවියන්ට දුක කියා...

මගේ අංකය නුඹට අමතකව ඇත කියා...
පිළිගන්න බැහැ කියන හිතට තරවටු කළා...
ඒත් නුඹගෙන් ලැබෙන එක ඇමතුමක් පතා...
මට හොරෙන් මගේ ඇස් දුරකථනයට ගියා...

- චතූ

...
...

චතූ

මම

කවිකාරියක නොවෙමි
හිත් යාය මල් පිපුණු

සිරකාරියක නොවෙමි
ප්‍රේමයේ මුල් ඇදුණු

මනමාලියක නොවෙමි
බඹරුන්ට ඉගි දුන්නු

තනි වෘක්ෂයක් ම වෙමි
නැති ලතා මල් මඩුළු

මම පතොක් මලක් වෙමි
කතරක සිනා රැන්දු

- චතූ

...
...

චතූ

විරාමය

ගිම් කල සදළුතල අතරින්
බිදී එන...
කවියක රාව උඩු ගුවනේ
ගිගුම් දෙන...
හිතවත් සුළං රැළි පමණක්
තනි රකින...
දවසක හවස්යම මම
තවමත් හිදින...

වියපත් නොවන කාලය
කවදත් අරුම...
නැවතත් නොඑන සේ යන්නට
හේතු කිම...
හදටත් හොරෙන් මං ලිව්
පදවැල් අරුම...
අහසට හොරෙන් සද මත
ඇන්දේ කොහොම...

- චතූ

...
...

චතූ

හීන

ෆැන්ටසියක් ලු ඔබ මම දකිනා
හීන
කළු සුදු පාට විතරලු ඇත්තේ
තවම
හිත් වල අපි ම මැව්ව ලු නෙක
නෙක පාට
ඒ මැද හොයනවලු දැන් අපිවම
අපිම

- චතූ

...
...

චතූ

එදා

මෙහෙට හරියට වැස්ස
උඹට මතකත් නැතිද...

මේ වගෙම තද වැස්ස
ඇද වැටුණි පෙර දාක...

අන්තිමට මුණගැහුන
කදුළු රැදි ඒ දවස...

නෙත පුරවගෙන කදුල
මම නුඹේ දෙස යළි බැලුව...

මේ වගේමයි වැස්ස
එදත් පොළොවට වැටුණ...

අද වගේමයි මතක
මම ඉකි බිඳිනවා තවම...

- චතූ

...
...

චතූ

මතක

නිම් තෙරක් නැති අහස
හිරු අරන් ආ දිනෙක...
සද පහන් රැයක කළු
ගන වලාකුළු කුමට...
පණ තියෙන හිත් වලට
මළ අහස් තරු කවට...
රිදෙන හීතල මතක
අරං පලයන් දුරට...

- චතූ

...
...

චතූ

දිනෙක

එක් අරුම හෝරාවක
සෞම්‍ය ජීවිත උයනට
ඇද වැටුණි,
අසෙනිය වැස්සක්...
සත්සර මුසුව
තෙළි තුඩගින්
හද කැන්වසය පුරාවට,
රැදුණි මල් ගොන්නක්...

- චතූ

...
...

චතූ

මතක පොත

දම්පාට දේදුන්න
මල් සුවඳ ඉහිරෙන්න
වැහි හුළං අරං ආ
මතක පොදි බොදවෙන්න...

වේදනාවක කටුක
රළු ගැහැට හැරයන්න
මටත් ආසයි සුළං
නුඹ වගේ පාවෙන්න...

- චතූ

...
...

චතූ

ජීවිතය නම්

මම සොයන උඹ නොඑන
රළු හීන තනි රකින
දෙනෙත් බොදවී රිදෙන
මගෙ සිහින මල් උයන...

- චතූ

...
...

චතූ

මැරුණු හිත

දුකක් නෑ මරාපන්...
රිදෙන් නෑ අඩවපන්...
ගලින් නිමවා තියෙන...
හදවතම කඩාපන්...

- චතූ

...
...

චතූ

බැදීම් සහ සතුට

2020 ජුනි මස 08 වැනි දා

පෘතග්ජනත්වය තුළ ඇතිකරගන්නා බැදීම් තුළින් සතුටක් බලාපොරොත්තු නොවිය යුතු ය. එය හුදෙක් වේදනාත්මක ප්‍රතිඵල ගෙනදෙන ප්‍රීතිමත් ක්‍රියාවලියක් පමණි. ඔබ බැදීමකින් සතුටක් පතන්නේ නම් එය කදිම විහිළුවකි.

- චතූ

...
...

චතූ

නුඹත් වන්දනාවක්

2020 අගෝස්තු මස 03 වැනිදා

කාලයේ තෙරක් නැති
අරුම ගමනේ යෙදෙන
වන්දනාකරු මමයි
ජීවිතේ සොයා යන...

හීන බිදුණත් නිතර
යළි යළිත් හීන දෙන
නුඹත් වන්දනාවක් ය
සරසවිය මගෙ සිහින...

වැටෙන නැගිටින නමුත්
හඩන හිනැහෙන හිතට
ගන කළු වළා ඇවිත්
අදුර දුන්නත් නිතර...

අනන්තේ දුරක හිද
පවසනා ගී නිතර
මගෙ හීන සරසවිය
නුඹට මේ කවි පොකුර...

කැන්වසය මත මගේ
ජීවිතේ සායමින්
හීන පින්තාරුවට
මමත් එමි ඉක්මනින්...

- චතූ

...
...

චතූ

මියැදි කවිකම

2020 අගෝස්තු මස 03 වැනිදා

බොහෝ හෝරා
පුරාවට හිත
හීන දියකර
නුඹේ මුව මත...

ගෙතූ පද වැල්
අරුම වත ගොත
ලියූ දින පොත
අවතැන්ව ඇත...

හඩා වැලපෙන
හිනා පුබුදන
වදන් පෙරලූ
නැවුම් හිත් පොත...

අකාලයකට
මිය ගියත් ඔබ
මියැදි කවිකම
තවම මා ළග...

- චතූ

...
...

චතූ

වැහි කදුළු

2020 අගෝස්තු මස 03 වැනිදා

නොනවතින වැහි කෝඩ
වලාකුළු මත තියා
සුළග නුඹ නේන්නට
මගෙ හිතින් දුර ගියා...

හැන්දෑවෙ කලුවරට
සදවතට ගතු කියා
අනෝරා වැහි යළිත්
වැටෙයි මිහිකත බලා...

- චතූ

...
...

චතූ

කලු සහ සුදු

හීන පුරාවට
මිනිස්සු
ජීවිතේ අදිනව...

පාට පුරෝගෙන
හීනවල
සතුට විතරක්ම හොයනව...

අවාරෙට වැටුණු
අඹ ගෙඩියකටත්
ලේනෙක් හරි වගකියනව...

කලු සුදු ලෝකෙ
හිත් වල මවාගත්ත
පාට මැදින් අපි අපිව ම හොයනව...

- චතූ

...
...

චතූ

නිසදැස

නිසදැසත් හරියට කතාවක්
හිත දිගහැරපු හිතුවිලි රටාවක්...

මට නුඹත් ඒ වගේ ඉනාවක්
හිත නිවන රම්‍ය භාවනාවක්...

අපි අපෙන් ගිලිහුණා වතාවක්
යළි නේන්නට නුඹ ගියාමත්...

මගෙ හිතේ තනියට මෙදාටත්
ළග නැවතුණා කවි කතාවක්...

- චතූ

...
...

චතූ

අනෝරා වැහි එන්න

2020 ජුලි මස 18 වැනි දා

ගගනතේ කෙළවරට
සද අරං අලවන්න
කළු පාට සායමින්
වළාකුළු පුරවන්න...

හැන්දෑවෙ අහස ඉම
තරු රටා පෙන්වන්න
අහස් ගනදුර ගේන
වැහි කළුව ගෙන එන්න...

මද්දහනෙ ගිනියමට
ගිනිගත්ත ගස් ගොන්න
අළුත් වැස්සේ වතුර
තුරුළුකර හිනැහෙන්න...

පලා පැහැ තවරන්න
සොබාදම සරසන්න
මලානික දෙණිය ළග
පොකුණ තව පුරවන්න...

බලා අවසන් කරන
පිපාසිත හීන පොදි
තියා හදවත එන්න
වසත් වැසි පිළිගන්න..

සදවතට තනි වෙන්න
ගගනතේ ඉඩ දෙන්න
දොඩමළු ගීත අරන්
මහ පොළොව සනසන්න...

- චතූ

...
...

චතූ

දුයිෂෙන් නුඹට

රළු පතන බිම් නිතර
කටුක ලෙස මුරගාන
රිදවනා මිතුරු හිත්
හැකිය මට සනසන්න...

නමුදු අවතැන් හිතට
මල් හීන වැහි වහින
ගුරුතුමනි නුඹ නමින්
නොහැක නැවතී ඉන්න...

නෙත් කෙවෙනි පුරාවට
රැදුනේ ම මදහසයි
නුඹ බෙදූ සිප් සතර
අයිලයෙන් බෝ දුරයි...

හීන තිබුණේ නිතර
ජීවිතේ දකින්නයි
දෛවයේ තීරණය
මලක් වී මියෙන්නයි...

නිමේෂය මතම යළි
හීන පොදි ගොඩ ගසන
දුයිෂෙන් නුඹේ දෑස්
නොහැක මට හැරයන්න...

මේ ප්‍රථම ප්‍රේමයයි
නිහඩ හද සනසන්න
හැකි නම් ඉතින් නැවත
නගරයට විත් යන්න...

- චතූ

...
...

චතූ

නුඹ

අමාවක රාත්‍රිය
උදා විය වසන්තයක...
නිරන්තර හද බිම මත
උපන් මල් කැකුළු
මියැදුණි අන්ධකාරයක...
එදා අද වසත් කල
බොද නොවන සේ ඇදුන
බිතු සිතුවමකි නුඹ
හද ගගන මත රැඳුණ...

- චතූ

...
...

චතූ

නොනිමි මතක

කාලයේ මතක පොත මත
ගැළපූ අකුරු වැල් අතර
ඔබ නමින් ලියූ
පද වැල් ද බොහෝ විය...

නිසසල ම රාත්‍රියක
සීතල ම හදවතක
රිද්මයට ආරාධනා කළ
සසල උණුසුම් මදනළයි නුඹ...

නුඹ යළි නේන බවත්
මතකයේ නිදන බවත්
මම දන්නා නමුත්
මග බලා ඉන්නෙමි අදත්...

- චතූ

...
...

චතූ

ගමන

ජීවිතයේ චාරිකාව මැද
ගමනාන්තය සොයා යන ගමනේ
නවාතැන් පොළවල් බොහෝ ය...
හැගීම් නමැති විඩාව
නිවාගන්නට ගොඩවදින
මේ නවාතැන් අතර
ඔබත් එක් නැවතුමක් වූවෙහි ය...

- චතූ

...
...

චතූ

අපි

කිතුනුවෝ
හැම දෙයක්ම
දෙවියන් වහන්සේට භාර කරනවා...

බෞද්ධයෝ
හැම දෙයක්ම
දෛවයට භාර කරනවා...

හැමෝටම
හැම දේටම කියන්න
මොකක් ම හරි තියෙනවා...

හැමදාම හැමෝම

අනුන් පිට වරද තියලා

ජීවිතේ නමැති කෙම්බිම හොයාගෙන
සැනසීමක් නොවිද
වන්දනාවේ යනවා...

- චතූ

...
...

චතූ

දෛවය

රෑ මැදියම
හීන අහුරු
දුර ගගනත
පා කරන්න...

ජීවිතයේ
සුවඳ පිරුණු
පියාපතක්
සේ රැදෙන්න...

හීන වලට
පාට පොවා
සිහින දකින
නෙත් තෙමන්න...

දෛවය නුඹ
නපුරු මන්ද
හිනැහෙන හිත
පාරවන්න...

- චතූ

...
...

චතූ

හිත සහ නුඹ

සිනා පොද
වුණා හද
ගැඹුර තුළ නිදන් වූ...

රාත්‍රිය
වුණා නුඹ
මතක පොත මත සැරූ...

කාලයත්
අරන් ගිය
මගෙ හිතට ගතු කියූ...

බදු අරන්
හිත් කොණක්
නැවතුණේ ඇයි මතූ...

- චතූ

...
...

චතූ

සුදු පාට

මම ආසම වුණ
මායාවක්
සුදු පාට...

හැම හීනයකම
මම පාට කරා
සුදු පාට...

සුදු පාට හීන
මලානිකව
මියැදුනු දාට...

සද පහන් රැයක
මම දැක්කා ඒ
සුදු පාට...

ගගනතේ කොණක
හරි තදට ඇදපු
සුදු පාට...

ඒ රවුම් සදට
උරුම වුණෙත්
සුදු පාට...

මගෙ හීන මැරුණු
ශීතල හිම
මැද රෑක...

මිහිදන් හීන මත
රැදුනු මලත්

සුදු පාට...

හරි දුක්බර තැන්
හැඩ කළේ ම
සුදු පාට...

නිහඩ ම හිත්
පිරෙව්වේම
සුදු පාට...

පින්බර හැම
මොහොතකදිම
හැම දේම...

හරි ලස්සන සුදු
හැඩ කරා ලු
හැමදාම...

මගෙ මතක සොහොන
මත ඊයේ
මැද රෑක...

මම දැල්වූවෙමි
ඉටි පහනක්
සුදු පාට...

මම මේ මොහොතේ
රැදී ඉදිමි
දහවලක...

දිග වළාකුලක්
මම දුටුවා
සුදු පාට...

- චතූ

...
...

චතූ

කොල පාට මළ අහස

කොල පාට සායමින්
පින්සලය පොගවලා
පින්තාරුවට හෙමින්
කැන්වසය ළං කලා...

මටත් නොකියාම ගොස්
මගෙ මනස තටු සලා
මළ හිරුගෙ සිතුවමක්
මගෙ හිතට ළං කලා...

පින්තාරුවට මෙදා
කොල පාට පොගවලා
ගත්තු තෙලි තුඩ මදෙස
ඇත අසරණව බලා...

මළ ඉරක් අඳින්නට
කොළ පාට තවරලා
බැහැ නේද උමතුයි ද?
කැන්වසය විමසුවා...

මදහසින් තෙලි තුඩග
කැන්වසය මත තියා
මළ අහස පුරාවට
කොල පාට තැවරුවා...

කොල පාට අවරගිර
මැදින් හෙමිහිට බලා
මළ ඉරත් මදහසින්
මගෙ නෙතට ඉගි කළා...

- චතූ

...
...

චතූ

සද කිවූ කතා

ගගනතේ ලස්සනට හද ඇදුණි සුදු පාට...
රෑ වළාකුළු එක්ක තරු දොඩන්නේ මන්ද...
අපි නොදත් නමුත් රෑ ගගනතේ රැඳි රහස...
හද නිසංසල රැයක කිව්වාලු හාවාට...

හඳ කියන්නට ඇත්තේ රස කතාවක් ඌට...
අපෙ කතාවත් ලිව්වනම් අහසේ මහ රෑට...
සඳවතේ තනි රකින අහිංසක හාවාට...
ළය පැලී මියැදෙන්න හේතුවක් වෙයි ඒක...

- චතූ

...
...

චතූ

මැරුණු මතක

නොහඩා බැරි කමට ඊයෙත් නෙත් තෙමුවා..
බැරි තැන හිතේ මුල්ලක උඹ
හිර කෙරුවා...
මතකයේ මකුළු දැල් ගොඩකින් හිත වැහුවා...
එනමුත් අද උදෙත් උඹ යළි
ගොඩ ආවා...

- චතූ

...
...

චතූ

කටරොළු මලක්

මහ දෙණියෙ වැව අයිනෙ
ඉර තදට පායලා
දවසකට පෙරවදන
මල් කැකුළු මත තියා...

හිරු එළිය ප්‍රේමයෙන්
පිණි පොකුරු ගෙන ගියා
අහස් ගව්වෙන් එහා
රෑ අහස මිය ගියා...

ගුරු පාර ළග ඉද්ද
මල් අතර සැගවිලා
පුංචි කටරොළු මලක්
හොරෙන් එබිකම් කලා...

- චතූ

...
...

චතූ

මතක

පරණ පුස්කොළ හරි මිලයි අද
ඒවා පරණම දේ නිසා...

ඒත් පරණම මතක ඔක්කොම
රිදෙන රිදවන දේ නිසා...

වැළලුවෙමි මම කැපූ වල තුළ
නැවත දැක්මත් දුක නිසා...

හීන අස්සෙම මැරිල පලයං
නුඹ කිව්ව සුරගන කතා...

- චතූ

...
...

චතූ

රතු අහස

රතුපාට අහසකට
ඉර ඇන්දෙ ඇයි මැදක...

ඇයි නොහැකි වලාකුළු
බලන්නට වෙනස් ලෙස...

රතු අහස ගගක් නම්
ගිනිගන්න සුළු නිතර...

වලාකුළු පාලමකි
එතෙර වන්නට තැනුව...

ඉර නොවෙද ගිනිගන්න
රතු ගගක දිය සුළිය...

හෙට හවස මෙහි එන්න
නරඹන්න මේ වෙනස...

- චතූ

...
...

චතූ

සද වැටෙන්නැති ඇළට

පහළ ඇළ එක රෑක
වෙනදාට වඩා හඩ
ගීතයක් ගයාගෙන
ගම මැදින් දිව ගියා...

ගන මැදියමේ රෑක
මේ ගීය අහන්නට
පිණි පොකුරු මැදින් මම
වෙල අයිනටම ගියා...

හරි අපූරුයි රෑම
මහ වැස්ස පායලා
තණ පදුරු වැහි වතුර
උරාගෙන දිළිසුනා...

මහ පුදුමයක් මේක
පෝය පුරහඳ තැටිය
අපේ ඇල තුළ වැටී
බබළමින් කිමිදුණා...

මහ රෑට සුරගනන්
හඳ අලවලා ගියත්
වැහි වතුර මුළු රෑම
අහස තෙත් කළ නිසා...

සද වැටෙන්නැති ඇළට
පහුවදා ගගනතට
සුරගනන් හොරෙන් විත්
නව සදක් එල්ලලා...

- චතූ

...
...

චතූ

දින පොත

දින පොතක් ලියන්නට
කලක් ඉහතදි මමත්
මුල් ගලක් හෙම තබා
හරි ජයට සැරසුණා...

දින එකින් එක ගෙවී
මගෙ පොතේ පිටු පුරා
කවි කතා වදන් වැල්
සිය ගණන් ලියැවුණා...

දින පොතෙන් බාගයක්
ඉවර වූ මොහොතකදී
ලියූ සටහන් නැවත
කියවන්න මම ගියා...

හැම පිටුවක ම නුඹත්
නුඹෙ අදුරු මතකයත්
බොද අකුරු ගොඩක් මැද
දින පොතෙන් හමුවුණා...

අන්තිමේදී මමත්
දින පොතක් නොලියා ම
ඒ පෙගුණු කදුළු පොත
උඹ නමින් නම් කළා...

- චතූ

...
...

චතූ

තරු පිරි අහස (වින්සන්ට් වැන්ගෝ ගේ සිතුවම)

වැන්ගෝ ගෙ තරු පිරුණු
රෑ සිතුවමේ අදුරු
සුළි වගේ වලාකුළු
හිත කියන කවියක් ලු...

ගන රැයක රැළි ගැහුණු
ඉහල අහසේ නැගුණු
සද සුළිය ගිලගන්න
හැදුවා ලු වලාකුළු...

හිතේ කැළඹීම මැද
පීඩාව ගලනව ලු
සිත්තරා හදවතම
සිතුවමේ ඇන්දා ලු...

කෙටි බුරුසු පාරවල්
කැන්වසය පාරයි ලු
තරු පිරුණු රෑ අහස
හිත රිදෙන අවුලක් ලු...

- චතූ

...
...

චතූ

අඟුරු සිතුවම්

ඉදහිට අපි ඇන්ද සිතුවම් හරි
සොදුරුයි
හමුවුණු තැන් පුරා මතකය හරි
සුවදයි
අපි ගැන අදින පැන්සල් ඉරි වුව
මිහිරියි
එනමුත් නුඹ සෙවූ සායම් මිල
අධිකයි

සොඳුරු ම තැන්වලයි රැදුනේ මතක
පොදි
උඹ ළග ගෙවෙන මොහොතත් මට පැයක් වුණි
උඹ ඇති මගේ හිත පතුලේ තදට
ඇදී
ඒකයි තවම මතකය මට මකනු
බැරි

උඹ නම් හරි සොඳුරු දේදුනු පාට
හොයා
මගෙ රුව උඹේ හද මත ඇදි බව
කිව්වා
එනමුත් මම මගේ හද කොළපත
පිසදා
එ් මත අඟුරු කැටයෙන් උඹෙ රුව
ඇන්දා

නුඹගෙන් විමසන්න පැනයක් ඇති
හැම දා
අඟුරෙන් ඇදි මතක මැකුමට මට
බැරි දා
මිල වැඩි සායමෙන් ඇදි මගෙ රුව
මකලා
වෙන සිතුවමක් ඇන්දේ කොහොමද
කියලා

- චතූ

...
...

චතූ

මට සැගවෙන්න ඇත්නම්

මට අහස විනිවිද ඉගිලෙන්න හැකි නම්...
මට සයුර කිමිදී සැගවෙන්න හැකි නම්...
සොයා යන මග මට රිදුණු තැන් හැරයන්න හැකි නම්...

වැස්ස වී මිහිකත දවාලන ඉර නිවනු හැකි නම්...
ඉමක් නැති මේ විශ්වයේ එක සදක් විය හැකිනම්...
කාලයෙන් පෙර දා තුළට ගොස්
රැදෙන්නට හැකි නම්...
මට මගහැරුණු අය මුණ ගැහෙන තැන රැදෙන්නට ඇත්නම්...

දෛවයේ සරදම් හිනාවෙන් ගැලවෙන්න හැකි නම්...
මට කාලයට පිටුපා ජීවිතේ විදින්නට ඇත්නම්...
මට ළමා ලෝකේ හිතේ නිදහස අරගන්න ඇත්නම්...
මේ සිත් තැවුල් හැරදා ගගනතේ දුර යන්න ඇත්නම්...

- චතූ

...
...

චතූ

සිතුවම

හැමදාම තෙලි තුඩග
හුරු පුරුදු කැන්වසය
මොහොතකට ඉවත ලා
ගත් බාල කොලය මත...

රාධාට ක්‍රිෂ්ණා ව
ප්‍රේමයේ නාමයෙන්
ආදරේ දෙවොල තුළ
මුණ ගැස්සුවෙමි හවස...

- චතූ

...
...

චතූ

පුදුම වචන

ඔන්න ඉතිං මම
නිසදැසක් ලියාගෙන යනව,
එක දිගට,
වචන ගලාගෙන එනව...

එක පාරටම,
එක වචනයක් මගෙ හිතට එනව,
මගෙ පෑන,
ඒ වචනෙ පිටුවෙ ලියනව...

එතනිං එහාට,
මොනව කරලවත්,
වෙන වචනයක් නං,
ගලපගන්න ම බැරි වෙනව...

ඒ වගේ මාර්ග බාධක,
පුදුම වචන,
හැම කෙනෙක්ටම වගේ,
නිසැකවම මුණ ගැහිල තියෙනව...

- චතූ

...
...

චතූ

පොත්

මගෙ ළමා විය ගාව
හිත ළගම තනි මැකුව
කතා පොත් ගොඩක් ඇත
අද තෙක්ම මං ගාව...

ලෝරා ගේ ජීවිතේ
හරි පුදුම සිහිවටන
හීන අස්සේ පවා
මට දැනුණි හැම රෑම...

කදුකරයෙ හරි සොඳුරු
පුංචි ගෙදරට ආව
හෙයිඩිගේ දගකාර
සිනහ මල් කවිකාර...

සීය සහ ඇය ගාව
මගෙ හිතත් සද රෑක
නැවතුණා හරි පෙමින්
පුංචි ගේ පැල ගාව...

පොලියානගේ පුදුම
සෙල්ලමට වහ වැටුණ
මගෙ මනස දැන් වුනත්
සතුටු වෙයි ඒ ගැනම...

සත් සුමිතුරන් ගාව
මට ඉඩක් නැතුවාට
හොරු සොයා යන්න නම්
මං මනාපයි තාම...

මැටිල්ඩාගෙන් පුදුම
පොත් ඉල්ලගෙන එන්න
ඇය වගේ පොත් ගොඩක්
මටත් හැකි කියවන්න...

බේකර් වීදියේ රැයක
හෝම්ස් ගේ පුදුම තැනට
මටත් හැකිනම් යන්න
ටැක්සියක මේ දැන්ම...

ඇලිස් එක්කල පුදුම
විස්ම ලන්තෙට යන්න
මමත් මග බලනවා
දැන් වුනත් හැමදාම...

හොග්වාට්ස් වලින්
මටත් ලියුමක් එන්න
බැරිකමක් නෑ කියා
මට හිතෙනවා තාම...

මැජික් කෝටුව අරන්
හැරී පොටර් එක්ක
ඒ පාසලේ මිහිර
විදිනවා ගිය දාට...

හත්පෙති මලට අරුම
මගෙ හිතම බැදි තරම
ෂේන්යා වුණත් එය
නොදන්නව ඇති තාම...

මටත් ආසයි අරුම
පොත් තුළින් ඇතුළටම
ඒ වචන තුළ කිමිද
විදින්නට හැමදාම...

- චතූ

...
...

චතූ

සංගීතය නුඹට ලියමි

හිතම නිවනා හීනයක් ඔබ...
නෙතම පිනවන පුදුමයක් ඔබ...
සවන සනසන අරුමයක් ඔබ...

සංගීතය නුඹට,

මගේ හිත පෙම් බදී...
මගෙ සවන් උමතු වේ...
මගේ නෙත් විල තෙමේ...

මගෙ ආත්මය පුරා,

නුඹ පිරී මම නිවේ...

- චතූ

...
...

චතූ

නුඹවයි නුඹමයි

හැම ගීතයකම
හැම රාගයකම
මම ගැයුවෙ නිතර
නුඹ ගැන...

හැම ස්වරයකම
හැම මාත්‍රාවකම
මට ඇහුනෙ නිතර
නුඹවම...

හැම මොහොතකදිම
හැම හීනෙකදි ම
මගෙ මනස හෙව්වෙ
නුඹවම...

හැම භවයකදිම
හැම ඉසිඹුවකම
මට ඕනි වෙලා
නුඹවම...

- චතූ

...
...

චතූ

මලවි නුඹට

අවතැන් ගිලන් හිතම
යළි යළිත් පාරන්න
මතකයේ සැඩ සුළං
එපා අරගෙන එන්න...

මහ වැස්ස ගන අඳුර
තනි කෙරූ සද අහස
හුදෙකලා සැන්දෑව
මං බයයි උඹලාට...

මැරුණු මතකය තුළින්
එපා යළි නැගිටින්න
එපා ආයෙත් ඇවිත්
මගෙ හැගුම් පාරන්න...

පාඩුවේ මට ඉන්න
දී ඈතකට යන්න
පාළු ගනදුර ගේන
වැස්ස යළි නොවසින්න...

ප්‍රේමයේ වසත් කවි
නෙත් ළගම ලියවෙන්න
වසන්තේ පෙම් පුවත්
එපා මට පෙන්නන්න...

මට නොහැක ලතැවෙන්න
රිදුණු හිත හඩවන්න
දෛවයේ නාමයෙන්
එපා මට වදදෙන්න...

මලවි හී සර විදින
පෙම් කතා දොඩවන්න
එපා මගෙ දෑස් ඉම
ඒ පුවත් මුමුණන්න...

උන් දන්නෙවත් නොමැති
මගෙ කැඩුණු බිදුණු හිත
උන්ගෙ පෙම් වදන් ළග
දවා හළු වෙනා වග...

උන් නගන පෙම් කතා
එපා මට දැකගන්න
උන් දකින නිල් අහස
දවයි මා මතක හිත...

එපා මතකය අගට
කදුළු අරගෙන එන්න
එපා මට ආයෙමත්
පෙම්වතුන් පෙන්වන්න...

- චතූ

...
...

චතූ

මගේ කවි පොත

මගේ පන්හිඳ
පත් ඉරුව ළග
සෙනෙහසින් දොඩමළු වෙලා...

කදුල සැනසුම
අකුරු අතරේ
තැවරුවා හීනෙන් පවා...

මගේ ගොළු හිත
ලොවට නොකියන
වචන දහසක් සගවලා...

කවි කතාවක
ගැගුම් ගවසා
වචන අතරේ ගුලි කළා...

- චතූ

...
...

චතූ

මග හැරුණු තැන්

නොනිමි සිතුවිලි
මහද විමනේ
නිරන්තර අරගල කලා...

උඹම ඉල්ලා
හඩන හින්දම
මට මම ම තරවටු කලා..

මගේ ජීවිත
සිතුවමේ මට
මග හැරුණු තැන් ගලපලා...

අහිමි වීමත්
කලාවක් යැයි
මම මටම අද පැවසුවා...

- චතූ

...
...

චතූ

ඉඩක්

ලියන්නට ඉඩක් නැති
පිරුණු පොත මැද මමත්
එකම එක හිස් තැනක්
හොය හොයා වෙහෙසුනා...

මමත් මගෙ පන්හිඳත්
දින පොතේ පිටු අතර
අකුරු වැල් හැමදාම
රූල් මැද හිර කළා...

අදත් ආයෙමත් මම
වාන් දොර ඇරියාට
හිත් වැවේ මහා දිය
පොතට හැලුමට හිතා...

ඉඩක් නොතිබුණි තවත්
රතු රූල කෙළවරෙත්
මොන මොනවදෝ පුංචි
අකුරු වැල් ලියවිලා...

හිත් විලම ගලන කොට
වාන් දොර වැහුවාම
හිතෙයි මට වැව් බැම්ම
බිදී යාදෝ කියා...

මගෙ පරණ පොත් ගොඩක්
බිම පුරා හලාගෙන
පිටු අතර සැරිසරමි
හිස් ඉඩක් හොය හොයා...

- චතූ

...
...

චතූ

නිසදැස් පොත

නිසදැසක් හරියට පිස්සුවක්
මුළු හිත පුරාවට වචන රැදෙනා...

කවි ගී පොතත් එක පුදුමයක්
හිත් මලට ගොඩවී හිතම නිවනා...

මම නොහැඩුවත් හැඩුවත් ඉතින්
දුක වචන තුළටම මුදා හරිනා...

මගෙ නෙත් තෙමූ හෝරා ගොඩක්
මේ පුංචි කාලෙට මටත් ලැබුණා...

නුඹ නොමැති නම් කවි පොත මමත්
දැන් අන්ධ කවියෙක් හිතින් ලියනා...

මගෙ හිනාවත් කදුලත් හෙටත්
ඔය නුඹේ පිටු මත රඳවමි මෙමා...

- චතූ

...
...

චතූ

සොඳුරු ඇය

අහිංසක දෙනෙත් ළග
නැවතිලා ඉන්න ඇති

කාලයේ සැඩ පහර
ආදරේ මරන්නැති

ඒ නිසා සෙනෙහෙ හිත
වෙන හිතක් පතන්නැති

ඒත් ඒ ගැහැණු ඇස්
දුක දරා හිදින්නැති

ඇගෙ හිනා වත තුළින්
කදුළු පිස දමන්නැති

සොඳුරු ඇය පුදුමයක්
අදහ ගන්නට නොහැකි

- චතූ

...
...

චතූ

ගුරු ගීතය

අල්තීනායි ඔබට ලියමි.

අයිලයේ අපි හදපු
අපේ පාසල ඇතුලෙ
මට පෙනුණු සුවද මල
නුඹ වුනා අල්තීනායි...

මගෙ දෙනෙත් අද්දරම
නුඹ පරවුනා දිනෙක
අපි දැකපු දොළ පාර
පවා හැඩුවා දුකට...

නුඹෙ දෙනෙත් පාදන්න
සිප් සතර ගෙන දෙන්න
මා වෙතින් බොහෝ දුර
නුඹ ඈත් කෙරුවාට...

හැම ඉසව්වකදීම
අයිලයේ මද සුළග
සිහිකලා මගේ හිත
සොරා ගත් ඒ නුඹව...

අපේ පොප්ලර් ගාව
මම තැනුව හීන ලොව
බිදී වැටුණත් දිනෙක
ජය ගනින් නුඹ ලොවම...

මගේ ප්‍රේමිය නුඹට
ජීවිතේ දුන් සතුට
හඩන විට මගේ හිත
සනසාවි හැමදාම...

(මම - දුයිෂෙන්)


- චතූ

...
...

චතූ

මතක මකමි

අදින් පසු මම
මගේ කවි තුල
ඔබේ මතකය
ලියන්නේ නෑ...

හිතට ඔබ එන
මොහොතකදි මම
මගේ නෙත් යළි
තෙමන්නේ නෑ...

උඹට හැරයනු
හැකියි නම් පෙම
මමත් ආයෙත්
තැවෙන්නේ නෑ...

රෑ පුරා නුඹ
හීනයක් නම්
ආයෙමත් මම
නිදන්නේ නෑ...

- චතූ

...
...

චතූ

නොරිකෝ සං බලා හිඳී

මිදෝරියේ හැම හවසම
රැදී නිහඩ හෝරාවක
නුඹ එනතුරු දෙවෙන්දොරා
නොරිකෝ සං බලා හිඳී...

කබුකි හලත් ගරා වැටී
සකෙ සුවඳක් අහලක නැති
සකුරාවේ වසන්තයට
නොරිකෝ සං හඩා වැටේ...

- චතූ

...
...

චතූ

ගැහැණිය සහ සිනහව

සිනහව හිතේ හිර කරගෙන
කදුලම බුදින මිනිසුන් ගැන
ඇසුවා මමත් විස්තර හෙම
රිදෙනා තැවුල් ලතැවුල් ගැන...

හඩනා නමුත් රෑ තුන්යම
දහවල සිනාවෙන් සරසන
අරුමැති සොදුරු ගැහැනුන් ගැන
ඇසුවා මමත් මුවගින් දන...

සිනහව වතේ රැදුනත් නිති සදක්
වගේ
කදුලක් හිතේ සිරවී ඇත ගගක්
වගේ
දුක් සගවා සිනාසෙන හැටි සයුර
වගේ
ඇය පුදුමයකි හිනැහෙන නිති මලක්
වගේ...

සියුමැලි හිතට පුළුවනි උහුලන්න
ගිනි
සුදුමැලි දෑත් හයියයි පිරිමින්
දෙවැනි
දසමස කුසදරා දරුවන් වදන
ගිනි
උහුලන ගැහැණු හිත් වල ඇත පුදුම
සවි...

ගැහැණිය බොළඳ කුසුමක් බව
කිව්වාට
ඇය ලොව විසල් දුක් වළදයි
හැමදාම
කොතරම් ගැහැට ආවත් එක පිට
ඇයට
ඈ හිනැහේවි කදුලැල් සගවා
හනික...

විටෙකදි මවක් විටෙකදි යෙහෙළියක් වෙලා
විටෙකදි ළදැරියක් විටෙකදි බිරිඳ
වෙලා
විටෙකදි සෙබලියක් විටෙකදි සිරිකතක් වෙලා
ගැහැණිය වෙසෙයි සැම තැනකම සවිය බෙදා...

වේදනාව දුක ඉවසාගෙන
ඉන්ට
පිරිමි හිත් වලට බැරි ගින්දර
ගන්ට
වැටෙනා මොහොතකදි නැගිටී
හිනැහෙන්ට
හැකි වානේ හිතක් උරුමයි
ගැහැනුන්ට...

- චතූ

...
...

චතූ

මම සහ සයුර

අහස් ගැබ ළග
සැදෑ වරුවක
මම හිදිමි එක
ගල් තලාවක...

සයුර අසබඩ
සුළග සැරසෙයි
මගේ කෙහෙරැළි
අවුල් කෙරුමට...

සද සයුරෙ ගිලෙනා
නිමේෂෙක
දුර ගගන ඇත
රක්ත සයුරක...

ක්ෂිතිජයේ රූ
මැදින් බොදවී
මම දුටිමි එහි
මගෙ ආත්මය...

එසැනින්ම විත්
මගේ කුටියට
රැගෙන තෙලි තුඩ
අන්ධකාරෙක...

කැන්වසය මත
මම දුටුව දෙය
කුරුටු ගෑවෙමි
ස්වප්නයක් ලෙස...

චතූ

...
...

චතූ

නික්ම යාම

නික්ම යාම
(ගිරවෝ නුඹට)

නිතරම දෑස් සෙව්වේ නුඹෙ
මාවම ද...
නිතරම මුවග රැදුනේ මගෙ
නම නොවෙ ද...
නුඹෙ කොල පියාපත්
විහිදා ගගනතට...
යන්නට කිව් වෙලෙත් නොගියේ
ඒ මන්ද...

මගෙ හිත පුරා සෙනෙහස
පුරවා හරින...
හරි හිතවත් නුඹේ ඔය
හුරතල් වචන...
තව ටික දවසකින් මම යමි
දුර යන්න...
ආයෙත් එන්නෙ සති
අන්තේ විතරක්ම...

අනාගතය මට හඩගා රැදෙන
පැයේ...
මා යා යුතුය සරසවියට නිකිණි
මහේ...
මගෙ ගිරවෝ නුඹ හැරදා යන
දිනයේ...
මම මගෙ හදවතින් වෙන්වූ සෙයක් දැනේ...

මට බැහැ නවතින්න මම යා
යුතුව ඇත...
සරසවි හීනයේ කිමිදිය
යුතුයි හෙට...
නුඹ සහ මතක කරපින්නා
ඒ ලොවට...
හෙට මම යා යුතුව ඇත
එහි නවතින්ට...

ගිරවෝ නුඹට පාළුව හෙම
දැනුනාට...
නොහඩා ඉවසපන් සති අග වෙන තෙක්ම...
සති අන්තේ හනික මම
එනවා ගෙදර...
නුඹෙ කොල පියාපත්
අතගා සනසන්ට...

වෙනදා වගෙම මගෙ නම
මුමුණා හවස...
මග බලමින් ඉදපන් මම එන
තුරුම...
හිතවත් මගේ මිතුරෝ නුඹගේ
වචන...
මට බලකරනවා නොගිහින් නැවතෙන්න...

හිත රිදවා ගෙන දුක් වී
වැලපෙන්ට...
මට හිතුනත් යා යුතුමයි මම
එහෙට...
මම එන දාට උඹ හට රසකර
කන්ට...
පලතුරු ගොඩක් ගෙන එන්නම් හැමදාම...

චතූ

...
...

චතූ

මගේ ගුරුතුමී

නොසන්සිඳෙන මගේ හැඟුම්
විලංගු ලා සිරකරන්න...

අහස පුරා දුවනා හිත
වලාකුලක රදව ගන්න...

මගේ පුංචි ළමා වියේ
මට හරි දේ කියා දුන්න...

මගේ ගුරුතුමී ආදර
යන්න ගිහින් යළි නේන්න...

ඇගෙ ලා පැහැ ඔසරිය ළග
ආදරයෙන් තුරුළු වෙලා...

ඇගේ සුවද වින්දා අපි
පුංචි එවුන් හැම පෙරදා...

යළි නොඑනා ගමන් ගියත්
හැම නෙතක ම කදුළු තියා...

නුඹෙන් දිවිය උගත්තවුන්
සිහි කරාවි ඔබ හැම දා...

නුඹෙ මතකය සුවද දෙමින්
ජීවත් වෙයි මතු හැම දා...

- චතූ

...
...

චතූ

අත්තම්මා

නිහඩ හිත යට
කවියක් ය ඔබ
මගෙ ළදරු ලොව
සුරගනයි ඔබ...

හවස් යාමෙට
ගෙපිල මත හිද
උඹේ උකුලේ
නැලවුණා මම...

ගීත කවි හා
කතන්දර ගැන
නුඹ තරම්
කවුරුත් ම නෑ දැන...

මගෙ අඩන හිත
පවා හෙමිහිට
සිහින විමනට
ගෙන ගියා නුඹ...

කිරි හාමි ගැන
අන්දරේ ගැන
මහා පැරකුම්
රජතුමා ගැන...

මහා කණ්ඩුල
ඇත් රජුන් ගැන
ගැමුණු නම් මහ
රජතුමා ගැන...

මහ රෑට රෑ
අහස සරසන
අපි නොදන්නා
සුරගනන් ගැන...

සිරිත් මල්දම
පුරා කියැවුණ
හොදම හොද ඒ
පොඩි ළමයි ගැන...

අපේ ගම ගැන
අපේ වැව ගැන
පුරාණේ මහ
වීරයන් ගැන...

කටුස්සන් ගැන
කුරුල්ලන් ගැන
අලි ඇතුන් මහ
වන සතුන් ගැන...

ආත්තම්මේ
විශ්වයේ ඇති
බොහෝ දෑ මට
ළං කලා නුඹ...

එදා බාලේ
මගෙ ළදරු හිත
උගත් අරුමැසි
සරසවිය නුඹ...

හිමිවීම හා
අහිමිවීම ද
උගන්වා මට
හැර ගියා නුඹ...

මගේ දෙවගන
මගේ යෙහෙළිය
මගේ මව් තුමියත්
වුණා නුඹ...

මගේ කඩඉම්
සටහනක් ළග
නිසැක පියවර
සටහනක් නුඹ...

ජීවිතේ දෙස
අමුතු ඇසකින්
දකින්නට මා
හුරු කලා නුඹ...

ලෝකයේ හැම
පණ නළකටම
පෙම් කරන්නට
හුරු කළා නුඹ...

නුඹෙ සොහොන මත
පැල කලා මම
නුඹම මට දුන්
පිච්ච මල් ගස...

මගෙ හිතේ රන්
මාලිගාවේ
සදාකාලික
සුරගනයි ඔබ...

- චතූ

...
...

චතූ

මට මතක ගම

ගම මැදින් ගලන ගඟ
හැමදාම හැමදේම
සෝදගෙන ගලාවිත්
ගල් බොරලු හැංගුවා...

දෙවැට අයිනේ පදුරු
වතුසුද්ද මල් වලට
දූවිල්ල නොවැදෙන්න
වතුපාළු පැල වුණා...

හිරු එළිය හරි තදට
මිරිස් පැළ මරනකොට
ගම්මිරිස් වැල් පවා
පුංචි පැළ බේරුවා...

නිල් වතුර අඩන තැන
පුංචි මාළුවො නිතර
මදුරු පැටවුන් පවා
ආදරෙන් සුරැකුවා...

හැමදාම පුරපෝය
සද අහසෙ නැගෙනදා
පේලියට පන්සලට
ගම්මු හවසට ගියා...

කැලෑ අලියට පවා
කරුණාව පාන්නට
හුරු පුරුදු හිත් තිබුණු
අයවලුන් එහි වුණා...

මගෙ ගමේ හැමතැනම
හැම මොහොතකම වගේ
ආදරේ වාගේම
සෙනෙහසත් ඉතුරුවා...

අද වගේ නොවෙයි ඒ
අතීතේ මගේ ගම
තව්තිසාවක සතුට
හිත් ඇතුලෙ දිලිසුනා...

- චතූ

...
...

චතූ

රෑ අහසේ තරු සාදය

ගන කලුවරට නෙත් අඳ වෙන රෑ යාමේ
කඩුපුල් මලට පිණි බිඳු දෙන ගිම්හානේ
හරි සීතලට හිත ළග නැවතුණ හීනේ
මගෙ කවි මනස රෑ ගගනත රැදුනානේ...

සදවත අහස මැද්දේ කරලියට වැදී
මේ රෑ රංගනය කෙරුමට දෝ සැරසී
ආසිරි පතන ගගනත නිල් වලා රැලී
සදවත වටා තාලයකට පියාඹතී...

තරු කැල නේක විසිතුරු සිතුවම් මවතී
සදවත ඊට ආලෝකය බෙදයි නිතී
රැගුමට යුගල නැටුමක් රෑ මලක් රිසී
වවුලෙක් පෙම්වතිය සමගින් එයි සැරසී...

කනාමැදිරියෝ රෑනක් පේලි සැදී
ගගනත වේදිකාවට දැන් කඩා වැදී
සමූහ නර්තනයක හැඩ ගෙනා නිසී
තරු වැල් පවා පුදුමෙන් මෙන් බලා වුණී...

මදනළ වලාකුළු සමගින් එකට බැඳී
කළු පටසළුව ගගනත මැද්දේ එලතී
සිනමා හලේ කළුවර මැද එළිය දිදී
සදවත පහන ඒ මැද්දේ සිනාසුණී...

ජය ගෝසා දෙන්නට උඩ බලා නිතී
ලන්දේ වෙලේ ගෙඹි රෑනක් රැදී වුනී
තරු රංගනය කරනා මොහොතකදි එබී
පලගැටියෝ ගීත නාදය ලබා දුනී...

සංගීතයට ආලෝකය මැදට වෙලා
කලු ගගනතේ දිලිසෙන කහ සළු පටලා
තරු රංගනය ඇරඹිනි ගගනත සරසා
ගෙඹි රැල දුන්න ඔල්වරසන් ඇසෙයි මෙදා...

රෑ අහසේ තරු සාදය ජයට
වුණී
හැමටම කන්න කිරි පැණි නොඅඩුව තිබුණී
බොන්නට පිණි වතුර ගෙනදුනි
වලා රැලී
මේ නම් මගුල් සක්වලකැයි
මට සිතුණී...

- චතූ

...
...

චතූ

දවසේ සටහන

2020 අගෝස්තු මස 15 වැනිදා
ප.ව. 06.35

කියන්නට බොහෝ දේ
මා සතුව ඇත අදත්...
මගේ දිනපොත නුඹයි
මගේ දුක සැප අසන්...
නිසදැසින් කවි වලින්
බොහෝ දෑ මම ලියත්...
නුඹේ මුව මත ලියා
මම නිදහසක් සොයම්...

ඉතින් මාගේ සබද
අද ගොඩක් දිග දිනක්...
හිරු පෙරඹරින් ඇවිත්
දවාලයි මිහි කතත්...
උදෑසන ගේ ගාව
ලන්ද මැද්දේ හුගක්...
කුරුළු කිරිලියො ඇවිත්
ගීත ගැයුවා පැයක්...

හිරු මුදුන් යාමයේ
හරි ග්‍රීස්මය වුණත්...
දුර අහසෙ වලාකුළු
දෙකක් තිබුණා තවත්...
මම ඉතින් හැමදාම
වගේ මගෙ පොත් ගොඩත්...
පින්සලය පැන්සලය
සමග ගෙව්වා දිනක්...

හැන්දෑව ගෙන ඇවිත්
අවරඹර රතු කරන්...
හිරු ඉතින් බැස යන්න
සැරසුණා ආයෙමත්...
සදු අහසෙ නැගෙන්නට
තව තිබේ පැය දෙකක්...
රැය වඩින තුරු ඉතින්
බලා ඉමු අපි තවත්...

- චතූ

...
...

චතූ

මගෙ ළමා විය

අද හවස අහම්බෙන්
මගෙ නෙතට මුණ ගැහුන
සොඳුරු දසුනක් නිසා
හිත අතීතෙට ගියා...

පොඩි එවුන් රංචුවක්
සරුංගල් හදාගෙන
හිනා සයුරක් මැදින්
දුර ඈත දිව ගියා...

මං පුංචි අවදියේ
මගෙ පුංචි ගම පුරා
පුංචි උන් එකතු වී
හැමදාම හිනැහුනා...

නිකිණි මහ ග්‍රීස්මේ
ඉර තදට ඇදුනු දා
හැන්දෑව පුරාවට
වෙල් දෙණියෙ දිව ගියා...

ගමේ ඇළ පාර මැද
පුංචිඋන් එකතු වී
කෙහෙල් කොට පාරුවේ
ඉහල පහලට ගියා...

වැහි දාට කඩදාසි
ඔරු අරන් මිදුල මැද
පුංචි මුහුදේ අපිත්
කපිතාන්ලා උනා...

කෝටු හිටවපු පුංචි
සෙල්ලම් ගෙදර ඇතුලෙ
ටීචලා අම්මලා
පුංචි උන්මයි එදා...

ලදු දෙණියෙ ගස් අතරෙ
කොස් කොළ ඔටුනු පැළද
අපි අපේ හීන ලොව
මොහොතකට රජ වුණා...

මහ වීර සටන් මැද
ජය ලබන විරුවාට
මාලිගාවේ ම තනි
අයිතියත් හිමි වුණා...

තවත් දිනයක ලන්දෙ
කටු පදුරු මැද්දෑවෙ
හොර කල්ලියක මමත්
නායක හොරෙක් වුණා...

ගං දෙවැටෙ ගඩාගෙඩි
අපෙ පුංචි ඇස් වලට
කොයිතරම් හැංගුනත්
හංගන්න බැරි වුණා...

ඒ තරම් නිදහසක්
අපි අපේ හිත් ඇතුලෙ
තුරුළු කරගත් එදා
අද පවා සිහිවුනා...

මගෙ ළමා කාලයට
ආයෙමත් දිව යන්න
මගේ හිත අදත් මගෙ
හදවතට බල කලා...

- චතූ

...
...

චතූ

ගිම්හානයේ කවියා

රළු ග්‍රීස්මේ දිනෙක
මම රැදෙන මේ මොහොත...
හිරු දවන රත් අහස
ගෙනෙයි ගිනියම් සුළග...

තල් අරඹ මැදින් එන
නේක විධ වූ නාද...
ඇතිකලේ වෙනකව්ද
දෙමලිච්චො නුඹ මිසක...

කෑම සොයලා ඇදෙන
ලේන් පැටියෙක් වරෙක...
රළු පොලොව මත වැටී
බලා සිටියා මදෙස...

මොහොතකින් සිහි එලව
ගත් නිසා ඌ හනික...
උසම උස අත්තකට
දිව ගියා ඒ විගස...

ආකහේ වලාකුළු
එකක්වත් නැතුවාට...
හවහාට වහින්නට
බැරි කමක් නෑ මෙහෙට...

ගිනියමට ගිනිගන්න
තණ පදුරු තෙත් වෙන්න...
වැහි පොදක් ආවොතින්
මනාපයි අද හවස...

ඉරිඟු යායට උඩින්
කපුටු රෑනක් හෙමින්...
පියාඹාගෙන ගියා
ඊසාන දිශාවට...

ලතෙත් දිය ඇලි ගලන
කදුකරයෙ හීතලට...
උනුත් ළගදීම යයි
හැර දමා මේ හුළග...

මම උපන් මගේ ගම
හැර දමා කොහි යම්ද...
මෙයයි මගෙ උරුම ලොව
මගේ විජිතය තැනුන...

මෙහිම ඉපදී දිනෙක
මේ බිමේ මගෙ සොහොන...
ඉදිවේවි එයයි මගෙ
දෛවයේ උරුමකම...

මේ ග්‍රීස්මේ තුළම
මේ වියළි පදුරු තුළ...
අනුන් නොදකින සිසිල
මගෙ නෙතට දකිනු හැක...

මමයි කවියා කටුක
ගිනියමට පෙම් බදින...
මගේ කවි හිත පුරා
ඇත සෙනෙහෙ දිය නිතර...

- චතූ

...
...

චතූ

ප්‍රේමය

සද රැයක මැද මිදුලෙ
වාඩි වී උන්නාම...
උළු යටින් හොර හොරෙන්
සද එන්න ගත්තාම...

මගෙ අඩන ඇස්වලට
ඒ එළිය වැටුණාම...
බොද කදුළු වත පුරා
හැකි වේවි දැකගන්න...

මම දන්නවා නුඹට
ඕන නෑ නවතින්න...
ළංවුණේ හිතින් නම්
නොහැක මේ ලෙස යන්න...

නුඹ ගියත් නැතත් මම
යා යුතුයි මගෙ ගමන...
එ් නිසා අවැසි නම්
තව නොඉද හැර යන්න...

දස්කොන්ට හැකි වුණත්
ප්‍රමිලාට පෙම දෙන්න...
ඒ ආදරේ නිසා
ජීවිතේ බිලි දෙන්න...

ඒ තරම් පෙම් කරපු
කන්නගී හැර යන්න...
කෝවලන්ටත් හැකියි
ආදරේ රවටන්න...

නුඹට මට මොන පෙමද
තවත් නොරැදී යන්න...
පෙම් පුරාවත් තිබුණෙ
පොත් වලයි හැමදාම...

භව්‍ය ලොව තවම නැහැ
සැබෑ පෙම දැකගන්න
ප්‍රේමයත් විහිළුවක්
ඉතින් දුක නැහැ ඔන්න...

චතූ

...
...

චතූ

විඳීම සහ විඳවීම

අයෙක් සිනාසෙයි
සතුටින් සැනසෙයි
විඳියි...

ඒ දෙයම...

තවෙකෙක්
කෝපයෙන් මුසපත්ව
ශෝකයෙන් ආතුරව
විඳවයි...

භාරගන්නා
ස්වභාවය අනුව
විඳීම හෝ විඳවීම
තීරණය වේ...

ජීවිතය වනාහි
මෙයයි...

- චතූ

...
...

චතූ

පොතකින් බිදක්

(පොත් හෙර)

ඊයේ මැදියමේ මගෙ හදවත
රැදුන...
මගෙ නෙත් නින්ද උදුරාගෙන හිත
නිවන...
රසවත් පොතක පිටු කිහිපයකින්
දැන්ම...
මගෙ කවි පොතට කීමට ඇති තතු බොහොම...

හිට්ලර් දරුණු නායකයෙකි ශාප ලැබූ
ඔහුගේ රුදුරු සැඩ පාලනයට මැදි වූ
එරටම වැසියන් පවා හරි දුක් විඳි අයුරු
උන්ගේ මතක සටහන් තුළ ඇත කදුළු...

පොත් හෙර ඈ නමින් ලීසෙල් වූ දැරිය
හදවත මිදෙන හීතල හිම ඇති රැයක
තම සොහොයුරා නෙත් ළග මියැදුනු අයුර
දැකගත්තාය අසරණකම තුළ ගුලිව...

ඒ හිම පොලොව තුළ හීතල හිම කැටියේ
වර්නර් මිහිදන් කලේ උන් හිතකින්ද
රැයේ
තම පුතු හැර දමා යන්නට හිතන පැයේ
අසරණ මවගෙ මුව මත වේදනා පෙනේ...

වර්නර් ඔවුන් හැරදා දුර ගිය
දිනයේ...
ලීසෙල් එදා පළවෙනි පොත ළග
හුන්නේ...
සොහොන් පල්ලන්ගෙ අත්පොත හොර රහසේ...
දැරියගෙ ගැහෙන සීතල දෑතේ
රැදුනේ...

කැපකරු යුවල ළග ඇය නවතා දිනෙක...
ඇගෙ මව යන්න ගිය දා යළි නේන්නට...
හාන්ස් හරි පුදුම මිනිසා ඒ ගෙදර...
මිතුරෙක් පියෙක් වූවා පොඩි ළදැරියට...

කාලය ගෙවී හිට්ලර් බිලිගත් බොහොම...
හිතවත් හිත් ගොඩක් අහිමිව ගිය කලට...
නොනවත්වාම පොත් හොරකම්
කළ ඇයට...
නරකක් කලේ නෑ දෛවය නපුරු වුව...

- චතූ

...
...

චතූ

කවිය

කවියකට පුළුවන්ද
හිත නිවා සනසන්න...

කවියෙකුට පුළුවන්ද
ලෝකයක් හඩවන්න...

කවියන්ට කවි වලට
ප්‍රීතියම පුරවන්න...

නොහැකි නම් කවි කුමට
හැම හිතම හඩවන්න...

- චතූ

...
...

චතූ

අපූරු ලෝකය

දෙවියො ලෝකය මැව්වා...
මිනිසුන්ව සත්තුන්ව ගස් වැල්
මේ හැමදේම...

මිනිස්සුන්ට
හිතක් දුන්නා...
හිනාව දුන්නා...
කදුළු දුන්නා...

ඒත් පුදුමයක්...

දෙවියො සත්තුන්ට
හැගීම් දුන්නා...
ආදරය...
වේදනාව...බය...
මේ හැමදේම...

ඒත්...
කදුළු දුන්නේ නෑ...
හිනාව දුන්නේ නෑ...

ඔබ කවදාහරි දැකල තියෙනවද...

සතෙක් අඩනවා,
නැත්නම්
හිනාවෙනවා?

- චතූ

...
...

චතූ

තාත්තා

ගිනිගන්න පොළොවෙත්
රස්නෙ නොදැනෙන...

හෙන ගහන වැස්සෙත්
ශීත නොදැනෙන...

සාගතය ආවත්
කුසගින්න දැනෙන්න නොදෙන...

මියෙන මොහොතෙත්
හයිය එක හිත...

මගේ තාත්තේ
ඒ නුඹ...

- චතූ

...
...

චතූ

මට හිතයි හැර යන්න

හැමදාම හැමදේම
දරාගෙන හිනැහෙන්න

කදුළු නැති ඇස් දෙකක්
මට ගෙනැල්ලා දෙන්න

වැටෙන හැම මොහොතකම
මගේ හිත සනසන්න

නොහැකි නම් දෙවියො ඇයි
මාව මැව්වේ ලොවට

මම කියා කෙනෙක් ලොව
නොහිටියා කියා තව

කාටවත් කොහොමවත්
පාඩුවක් නැහැනෙ ලොව

රිදුම් වැලපුම් පිරුණු
කුමට මේ මැවුම මට

මට හිතයි හැර යන්න
ඔබ මැව්ව හැම දේම

- චතූ

...
...

චතූ

සිතුවිලි

ප්‍රේමය?

මමයි මගෙ හදවතයි
පැතුම් මියගිය හිතයි
වන්දනාවේ ගියා
පෙම් පුරාවත් සොයා...

භාරත බිමේ සොඳුරු
කිරි ගරුඬ මැදුර ළග
මගේ හිත නතර වී
බලා සිටියා එදෙස...

මේ තරම් සුන්දරව
සිහිවටන තනන්නට
සාජහන් මොන තරම්
ආදරෙද දේවියට...

ඒ තරම් ආදරේ
පිරුණ නම් ඒ හිතට
මාළිගේ හදපු උන්
අමු අමුවේ මරාවිද...

තවත් දුර ඉගිලිලා
යමුණාවෙ ඉවුරකට
මමයි මගෙ හදවතයි
ගොඩවුනා මොහොතකට...

රාධාව ක්‍රිෂ්ණාව
ප්‍රේමයේ ලියැවෙන්න
මොනතරම් ආදරේ
සුන්දර ද උන් ගාව...

යමුනා නදී තෙරේ
රාධා වගේ තවත්
සොඳුරු සුන්දර ළදුන්
හිටියා ලු ක්‍රිෂ්ණා ට...

තවත් දුර අපි ගියා
නැවතිලා මොහොතකට
මගේ හිත ආයෙමත්
විමසුවා මගෙන් තව...

රාමාට සීතාට
පුරාවත් ලියැවෙන්න
මොන තරම් ආදරේ
තිබුණා ද ඔවුන් ළග...

රාවණා පැහැරගෙන
ගිය නිසා සීතාව
සැක කලා නම් ඈව
ප්‍රේමයක් තිබුණා ද...

හැම තැනම සොයා ගොස්
හති වැටී ආවමුත්
නොහැකි විය සොයන්නට
සැබෑ ප්‍රේමය තාම...

- චතූ

...
...

චතූ

පාළුව

දාහක් දෙනා අතරෙ
එළි වෙනවා
රෑ වෙනවා...

මං වටේට
ගොඩක් අය
ඉන්නවා...

හරියට
එළිය පිරෙන්න
හොදට ජනෙල් ඇරපු
කාමරයක් ඇතුලෙ වගේ...

ඒත්...

මගෙ හිත ඇතුලෙන්
හරි අමුතු
පාළුවක් දැනෙනවා...

හරියට,

මම මේ හැම දෙයක්ම දිහා
පිටින් ඉදන් බලාගෙන ඉන්නවා වගේ...

- චතූ

...
...

චතූ

ආදරය

දවසක් ඒවි

හැමදේම වෙනස්වන...

ඒ හැම මොහොතකම,

හැර නොයා ළග ඉන්න...

මම හිතන
මම දුටුව
එකම එක හේතුව නම්...

ඒ උතුම් ආදරයයි.

- චතූ

...
...

චතූ

නුඹ මම සහ වසන්තය

නොවැලපෙමි
නොලැබීම...

හඬා කිම
ගතු කීම...

වැරදීම්
ඇති එමට...

එයයි පොදු
ලෝ දහම...

ගෙන ගියත්
හිතක මල්...

උයන වනසා
දිනෙක...

යළි වසන්තයක්
එයි...

නුඹ ඔහොම
හිතුවාට...

- චතූ

...
...

චතූ

අම්මා

ඇගේ උකුලේ
සැනසෙන්න මට

නොහැකි වූ ලොව
කුමන කිරුළුද

මවක් ළග නැති
අඩුව තනිකම

පුරවන්න හැකි
වුණේ කාටද?

මම නොදුටු මගෙ
ළමා කාලේ

මගේ අම්මා
මෙහෙම වෙන්නැති

හිතා ඉදහිට
මමත් හැඩුවා

මම නොදුටු
සෙනෙහසක් වෙනුවෙන්

අන්ධ හදවත
මැද නතර වුණ

එකම එක රළු
පුංචි සුසුමක

පවා ඉදහිට
මමත් හෙව්වා

ඇත්තටම
අම්මලා කොහොමද?

- චතූ

...
...

චතූ

මූර්තිය

කුමටද මේ රංගනයේ තව දුර
රැදී සිටින්නේ මම නම්...

අවසග නැති හිතුවිලි පාරයි හිත
වැරදිකාරයා නුඹ නම්...

නුඹගේ රුව කිරිගරුඬින් නිම කළ
කලාකාරියත් මම නම්...

අවසර නැහැ තව නුඹට හිදින්නට
කඩා දමමි ගල් කටුවෙන්...

- චතූ

...
...

චතූ

කදුළු

එකම එක පොඩි
කදුළු බිදුවක්
දෑස් තෙමනා විට...

වැරදිලාවත්
මට අඩන්නට
ඉඩක් දුන් නෑ ඔබ...

ඔබ ගියාමත්
නාඩා ඉන්නට
හුරු කළා නම් හෙම...

දැන් ගොඩක් කල්
හිත හදාගෙන
ඉන්න තිබුණා මට...

- චතූ

...
...

චතූ

කොළඹ

හැම වතාවෙම වගේ
මගෙ සිනහ කදුළු පොත
තව කතාවක් නුඹට
කියන්නට තිබේ මට...

අද උදෙත් ඉර තදට
පායලා ඇත මෙහෙට
ගම තරම් නම් ඉතින්
පුරුදු නෑ මට කොළඹ...

ඉඩක් නැති පාරවල්
තදබදය හරි ගැහැට
විදින්නට හැමදාම
සිදුවේවි මෙහෙ උන්ට...

නිදන්නට පවා රෑ
හීනයක් තුළ තදට
මෙහේ බෑ හරි සද්ද
රෑ කියා නෑ වෙනස...

වීදි ගානේ යනෙන
නේක වූ මිනිසුන්ට
අනිත් උන් ගැන හොයා
බලන්නට නැහැනෙ ඉඩ...

තම තමන්ගේ ලෝකවල
තනිව හැම පැයම
මුදල් හොයලා නහින
උන් තමයි හැම අතම...

තවත් පැත්තක හොඳට
ගස් අමුතුවෙන් වැවුව
වීදිවල සමහරුන්
ඇවිද යයි උදයේම...

ලොම් පිරුණු බල්ලන්ට
ඇවිදින්න වත් තනිව
ඉඩක් නෑ ඇවිදින්න
එක්ක යනවා උන්ව...

හරි දුක් ගොඩක් පිරුණු
මේ වීදිවල රෑට
ඇග මසත් මුදලකට
විකිණෙනවා හැමදාම...

අපායත් දෙව් ලොවත්
දෙකම මේ එකම බිම
දැකගන්න හැකියි මෙය
නොවෙයි මට උරුම තැන...

මේ වීදි පුරාවට
හිනාවට යටින් තව
කදුළු පැල්ලම් බොහොම
තිබේ නොපෙනෙනා ඉම...

මට හිතයි මොහොතකින්
නිසංසල මගෙ ගමට
පියාඹා වැව් දියෙන්
මේ කිළුටු සෝදන්න...

මට එපා මේ කොළඹ
හැම තැනම කදුළු කැට
මට යන්න තිබේනම්
හීන විසි කර ගමට...

- චතූ

...
...

චතූ

පාසැල් මතක

මට මතක මගෙ මතක
තිබුණේ ම ළමා විය
තුළ නිදන් වී තිබුණු
මගෙ ළමා හිත ගාව...

පාසැල් සමය නැවත
නොඑන හින්දා දිනෙක
ගෙවුණු කාලය හිතේ
නිදන් වී ඇත කොණක...

හැමදාම හැමදේම
හරි සතුටු හිතකින්ම
ජීවිතේ විදින්නට
කියා දුන්නා නිතර...

යෙහෙළියන් පිරිවරා
දුව පැනපු අතීතය
අපහැදිලි සිතුවමකි
හදවතේ තව රැදුන...

ජීවිතේ වසත් කල
මගේ කවි හිත ගාව
මල් වදුළු පිබිදවූ
මගේ පාසල් මතක...

ඒ බිමේ හැමදාම
නවතින්න හැකියි නම්
ජීවිතේ මම ලබන
එකම ප්‍රීතිය ඒක...

- චතූ

...
...

චතූ

ඇය සහ නුඹ

පුන් සඳ හීන අරගෙන නාව
එක රෑක...
මල් මිණි ඉහින ලස්සන පින්න
ආවාම...
නෙත් ළග ගීත සිතුවම් කරන
තරු රෑන...
නුඹ ළග නැතත් මම තනි හීන තුළ
රැඳින...

රෑ ගොම්මනට හැම මොහොතකම
මට රිදෙන...
මගෙ හිත් යාය ගොඩ ගලනා
අයුරු ගැන...
මම පමණක් ම දැනගත්තාවෙ
මගෙ සුසුම...
හෙට එළිවෙන්න පෙර ආයෙත්
ඔබ යන්න...

මල් පැණි බොන්න බඹරෙක් ආව
අපෙ ලන්ද...
මැද හැමදාම පරසතු පිපුණි
ඌ නැතුව...
මල හැර යන්න නැහැ වැටකඩුළු
බඹරුන් ට...
කොහොමත් බඹරු එකතැන රැදෙන් නෑ එහෙම...

තරු වැල් වලින් මල් වැල් හදන
රෑ ගගන...
පිණි කැට වලින් මුතුවැල් ගොතනවා
තවම...
දුහුලැල් වළා රොදකින් මංගල
ගවුම...
මැසුවා සදලියට උන් දීගෙක
යන්න...

මගෙ තනි ගීත මම තනි රෑක
දෙඩුවාම...
කවදාවත් ම අවතැන් හීන
නොදවන්න...
නුඹ නම් ඉතින් ඈ අත රැගෙන
සද රෑක...
මංගල ගමන යන්නට යාවි
සතුටින්ම...

රොබරෝසියා මල් පාරේ ම
එක දාක...
මා හා ගියා මතකයි නම්
එය තාම...
කවදාවත් ම හැරයන්නෙපා
නුඹ ඈව...
ප්‍රේමය පූජනීයයි නුඹ
දන්නෑ ඒක...

- චතූ

...
...

චතූ

නුඹ දත් නොදත් මම

මල් නැති ගහක
කොළ වලටත් හිත් බදින...
අමුතුම හිතක් තිබුණා මට
නුඹ දන්න...

නැත්නම් ඉතින් ඔය ඇස් ළග
නවතින්න...
මගෙ හිත හිතාවිද නොහිතූ
දුර යන්න...

උතුරට දකුණ යා කරනා
පරවියෙකු...
වෙන්නට හිතුව මට කූඩුවෙ
ඉඩ නැහැලු...

හරි ලස්සනට අපි මැව් ගී
බොදවෙයිලු...
නුඹ තනි මගක මංසල මා
හැර යයිලු...

මිණිපුර බොහොම ගංගාවල
ඇති එමට...
මිණිකැට නම් සොයා ගන්නට
ඕනි ලෙස...

එක හිත ඇතිව ළග ඉන්නට
මියෙන දින...
හැකි එක ළදක් හැකිනම් නුඹ
අරගන්න...

ළග රැදෙනා මනාපය හිත තුළයි
ඇතී...
ළග රදවා ගන්න නීතියකට
නොහැකී...

නුඹ මම බොහෝ දුර බව දැන
දැනත් රිදී...
ළංවුණු හිතට නුඹ ඔය දුක
දීල මදී...

මගෙ භාෂාව නුඹ නුහුරට
කියනකොට...
උඹෙ භාෂාව මම දන්නෙම
නැතුවාට...

නුඹ ළග පෙමින් රැදිලා තව
දුර යන්න...
මගෙ එක හිතට සවි තිබුණා
ළග ඉන්න...

හිතවත් හීන වැස්සක් වී
නුඹ හිතට...
ආ මුල් දාම මට තිබුණේ
හැර යන්න...

ළග රැදුනාම හිතුවෙත් නෑ
කදුළු කැට...
මට දී ඔහොම දුර යයි කියා
ඔය දෑස...

- චතූ

...
...

චතූ

අපි

හිත දවන කවටකම්
නෙත් තෙමන නෝක්කාඩු
අතරේ වුවත් පෙර
අපි අපිට පෙම් කළා...

මගේ කුළුඳුල් පැතුම
ඒ නුඹ වුණා සබඳ
ගෙවුණු හැම මොහොතකම
මම තනිව ළතැවුණා...

කදුළු කවියක් වුවත්
ලියන මොහොතේ පටන්
ආදරේ විතරක්ම
හිත ඇතුලෙ හිර වුණා...

මතකයිද අපි හිනා වුණු
හැම විටම කදුළු
මටත් නොදැනිම මගේ
නෙත් කෙවෙනි තෙත් කළා...

- චතූ

...
...

චතූ

හත්පෙති මල මගේ

මං තනිව මගෙ හීන
ගොඩ ගැහුව හිත ගාව
හත්පෙති මලත් එක්ක
ෂේන්යා මගෙ ගාව...

රෑට හීනෙන් පවා
පාට පෙති මම දුටුව
ඒ මලේ පෙති හතම
තිබුණ තව ඈ ගාව...

මගේ කෙළිලොල් හිතේ
හීනයක් වී උපන්
පෙරදා රැයේ ඇවිත්
මගෙ හීනවල ඉදන්...

එ් පුදුම මිත්තණිය
දුන්නු හත්පෙති මලත්
ෂේන්යා ඇත්තටම
මට අරගෙනත් ඇවිත්...

ආන්යා වෙනුවෙන්
පෙත්තක් කඩා ගන්න
ඒක කළ යුතු නිසා
මම ඉඩ දුන්නා ඔන්න...

ඒත් ආයෙත් ඉතින්
තවත් දේ ඉල්ලන්න
එන්න නම් එපා මේ
මල මගේ මට දෙන්න...

සෙල්ලම් බඩු අරං
පෙති නිකං අපරාදෙ
මල් වාස් කඩ කඩා
හදන්නට බැහැ ආයෙ...

පෙර කරපු සිගිති වැඩ
කරන්නට මේ වාරෙ
ඉඩක් නෑ ෂේන්යා
හත් පෙති මල මගේ...

- චතූ

...
...

චතූ

හිතුවක්කාර හිතුවිලි

දේදුන්න ඇන්දාට
අහසෙ මැද්දට වෙන්න
කවුද කිව්වේ එයට
පාට හතකුත් දෙන්න...

වැස්ස සහ ඉර එළිය
මැද නොඇද දහවලක
අදින්නට තිබුණානෙ
සුදු පාට සද රෑක...

මට ඕනි මගෙ පාට
විසි හතර පුරවන්න
දේදුන්නෙ හැඩේ මට
වෙනස් කර දෙනවාද...

රෑ මොකද කලු කළේ
සුදු පාට හොඳ නැතිද
ඉර තදට කහ පාට
ගැළපෙන්නෙ නෑ එයට...

හඳ මොකද සුදු පාට
රෑ කරමු සුදු පාට
හද අදිමු සුදු රැයක
කොටුවකින් කොළ පාට...

මගේ කැලතුනු ගීත
හිත කලඹනා විටෙක
වැන්ගෝ වාගේම
ගිම්හානෙ මහ රෑක...

අපෙ ඉරිඟු යාය මැද
හිසට වෙඩි තියාගෙන
මට හිතුනොතින් එහෙම
මියැදෙනව මමත් හෙට...

- චතූ

...
...

චතූ

ග්‍රැහැම්බෙල් නුඹට ලියමි

ග්‍රැහැම්බෙල් නුඹ
මගෙන් නොඅසා
දුරකතනයක්
හැදුවෙ මොකටද...

ඒ යන්තරෙන්
එක අංකෙකට
සිය වතාවක්
ඇමතුවා මම...

එහා පැත්තෙන්
පිළිතුරක් නෑ
දැන් මාස ගානක්
වෙනව තව...

හැම අංකෙටම
උත්තර දෙන්න
ඇයි හැමෝටම
නොකිව්වේ නුඹ...

පෙර දින වලදි
නොනවත්වාම
මගෙ අංකයට
ඇමතුම් ආව...

ඒ අංකයෙන්
හැම උදයේම
නොවරදවාම
මට සුබ පැතුව...

දැන් ඇයි මෙහෙම
නුඹ හැදුවාට
වැරදියි වගේ
මේ නිමැවුමම...

ආයෙත් ඇවිත්
හදලා යන්න
මේ යන්තරේ
කැඩිලද කොහෙද...

- චතූ

...
...

චතූ

මම

මම අතීතය අල්ලාගෙන සිටිමි
මම අනාගතය අල්ලාගෙන සිටිමි
එහෙයින්
මට
වර්තමානය
හෙවත්
මේ මොහොත මග හැරී ඇත...

- චතූ

...
...

චතූ

පොත

නොකී කවියක
තවත් පිටුවක්
හෙමි හෙමින්
පෙරළා බලා...

මැරුණු පත්ඉරු
පැන්සලයකින්
මම හොරෙන්
එහෙ මෙහෙ කළා...

නිශාචර හිත
රෑ හීනවල
දෑස් නොපියා
සිටි නිසා...

ඇස් පියන්
බරවී රිදෙයි තව
කදුළු නැති
ගල් හිත නිසා...

වියළි මල් කොල
වාගයක් ඇත
පොත ඇතුලෙ තව
වේලිලා...

මුල් අදින්නට
පොත ඇතලෙ ලූ
අක්කපානත්
මියැදිලා...

පොතේ පිටුවල
ලිව්ව මතකය
මැරුණු හින්දා
ගොළුවෙලා...

පෑන් පැන්සල්
ඉරි එක්ක තව
කොලත් ගියදෙන්
මැලවිලා...

- චතූ

...
...

චතූ

මොර ගහ

ගිරවුන්ට මොර බෙදන
වැව අයිනෙ මොර ගහට
පෙර රැයේ ආ සුළග
කස පහර දුන්නාද...

මං පුංචි සන්ධියේ
හැම හවසකම වගේ
ඒ ගහේ අතු ගානෙ
දැවටුණි සුළග වගේ...

දෙණියෙ පොඩි උන් එක්ක
මොර වාරයේ හවස
කුස පිරෙන තුරුම මොර
හිත පුරා වැළදුවේ...

අවාරෙට පවා ඒ
මහ විසල් මොර ගසේ
අඩු නැතිව කහ පාට
මොර නොඅඩුව ම තිබේ...

රාත්‍රියෙ ගොම්මනට
පවා ඉදහිට තැනක
කහපාට මොර මලක්
නිරන්තර හිනැහුනේ...

වවුලන් පවා රෑට
මොර ගහේ අතු ගානෙ
රෑ වේල මොරවලින්
පිරිමහන්නට ගියේ...

අතු කඩා කිසි දිනෙක
මොර නොකන ගම්මුන්ට
හැමදාම මොර දුන්න
හිතවත් මවක් වගේ...

මේ මොර ගහේ හෙවනෙ
අපේ අත්තා පවා
කුඩා සන්දියේ දී
රැදී ඉදලා තිබේ...

හැමදාම හැමෝටම
මොර දුන්නු මොර ගහට
මහ වැස්ස දුන් පහර
තදින් බලපා තිබේ...

තද හුළග මොර ගහේ
මුලින් උදුරා දමා
සදාදරණීය ගස
මරා දමලා තිබේ...

සොබාදම මැවූ දේ
සොබාදම ගෙන ගිහින්
වැව අයිනෙ ආයෙමත්
මොර ගහක් නෑ ගමේ...

ගහේ හෙවනේ රැදුණු
මොර වලින් කුස නිවුණු
හැමෝගෙම හිත් වලට
ඒ අඩුව දැන් දැනේ...

- චතූ

...
...

චතූ

වසන්තය

මේ මල් පිරුණු
පාරේ නෑ
කටු පඳුරු...

හිතවත් මගේ
සිතුවිලිවල
නෑ කදුළු...

වස්සානයට
මියැදෙන
සමහර පඳුරු...

ගිම්හානයේ
දළු දැම්මා
තුළ වදුළු...

අද මම මගේ
ජීවිතයේ
නැවතුමක...

සිනහව සොයා
ආ මග එක
හැරවුමක...

පෙරුම් පුරා
ආ ගමනේ
සැනසුමක...

මල් ලිය මඩුළු
මැද හිනැහෙමි
මොහොතකට...

මේ බිම මගේ
දුක සැප
සමසේ ගන්න...

මගෙ ජීවිතේ
දිනයක මට
ජයගන්න...

නුඹෙ ඔය සෙවන
මහමෙරක්ය
මගෙ හිතට...

මේ පින් බිමේ
නැත කදුලැලි
ඇහිදින්න...

සිනහව බෙදමි
වස්සානේ
දැන් ඔන්න...

චතූ

...
...

චතූ

කිටියා

අකීකරු හිත අස්සෙ
මොහොතකට ඉරි ඇන්ද
දඟකාර දෙපා පොඩි
හොර හොරෙන් මං ගාව...

උදේ හවසත් ඉතින්
මහ රෑත් ලඟ ඉන්න
හොඳම මිතුරා මගේ
ඔය සිඟිති හුරතලය...

පුංචි දෑසින් බලා
ලඟින් දැවටී ඉන්න
හැම මොහොතකම වගේ
දෙපා ලඟ ගුලිවෙන්න...

දඟකාර කම් ඉතින්
අඩු නැතිව හැම තැනම
බොඳ කරන මගෙ කිටී
උඹ තමයි මගේ මල...

- චතූ

...
...

චතූ

නුඹේ අංකය

නුඹව අමතක කරන්නට මට
තවම හයියක් නැති නිසා
දුරකථනයෙන් මැකූ අංකය
අද යළිත් ඇතුලත් කළා...

නුඹේ ගිණුමේ ඇති පුරුදු ඒ
නුඹේ රූපය දෙස බලා
මොහොතකට මගෙ හිත විමසුවා
නුඹට කොහොමද දැන් කියා...

මකා දමලා ඔබේ අංකය
නොහැක හැර යන්නට සදා
ඔබේ අංකය මගේ මතකය
ඇතුලෙමයි ලියවුණෙ එදා...

කොයිතරම් අමතක කළත් යළි
මම මටම යළි පවසනා
මගේ යටි සිත ඔබේ අංකය
තවම අමතක නොකෙරුවා...

නැවත ආයෙත් නුඹේ අංකය
මගේ දුරකථනෙන් මකා
ඉවත තැබුවත් නුඹ වගේ මට
නුඹේ අංකෙත් හුරුවෙලා...

යමෙකු ඉදහිට මගේ අංකය
ඇසුව පසුවත් හඩ නගා
මගේ හිත මට උඹේ අංකය
කියනවා මේ අද පවා...

අපේ මතකය කැටයමකි මම
මගේ හිත්ගල මත තැනූ
එය දකින හැම මොහොතකම මගෙ
හිත හොරෙන් රිදවයි නෙතූ...

හිතේ මම නුඹ කැටයමක් ලෙස
මැව්වාට පෙරගිය දිනේ
නුඹ මගේ මතකය පොදක් වත්
තියාගත්තේ නැහැ වගේ...

මේ තරම් කාලයක් ගතවී
නුඹට අමතක මේ හිතේ
පෙර රැයෙත් කදුලක් නැගුණෙ ඇයි
මට පවා තව නොතේරේ...

නුඹෙ හිතේ තව මගෙ නමට නෑ
ප්‍රේමයක් නම් මේ භවේ
මගෙ මතක තුළ නුඹ මැවෙන්නේ
අද වුණත් නුඹ මගෙ වගේ...

- චතූ

...
...

චතූ

ඉර නුඹ නම් පුදුමයක්!

මේ මද්දහන මැද්දෙ
ගිනිගන්න නුඹේ ගැන
මට දුකයි මේ තරම්
ඉවසයිද කවුරුවත්...

කහ පාට රතු වෙලා
ඉර ඉතිං ගිනි අරං
ඒත් කදුලක් නොහලා
ඉන්න හැටි පුදුමයක්...

වළාකුළු නං ඉතින්
මේ සැරට පිච්චිලා
අළු වෙලා යන්න ඇති
ඒ නිසයි අහස හිස්...

මොන තරම් පෑව්වත්
ගිනි අරං පිච්චුණත්
අළු වෙලා උණු වෙලා
මියැදුණේ නැහැ නුඹත්...

ඉර හරිම පුදුමයක්
දවස තිස්සෙම දුකක්
දරාගෙන පසු දිනත්
නුඹ එනවා ආයෙමත්...

ඉරත් දුක් ගිනි දරන්
හැමදාම හිනැහෙනා
මවක් වාගෙයි කියා
හිතෙනවා මට දැනුත්...

ගිනි ගහන අව් ගින්න
දරාගන්නට බැරුව
මිනිස්සුත් ඉතිං තව
ඉරට බනිනව වුණත්...

හැම දේම විද දරන්
එකවගේ ශක්තිමත්
නුඹ වගේ කෙනෙක් නම්
මම දැකලා නෑ තවත්...

- චතූ

...
...

චතූ

පින්තූරය

හැමදේම දරාගෙන
හැමදාම එක වගේ
ආදරේ සුරකින්න
හැකි හිතක් තිබුණාද...

රළු ගැහැට ආ විටදි
ප්‍රේමියව රැක ගන්න
හැකි එකම පෙම්වතෙක්
මෙමිහිමත හිටියාද...

කාලයේ මෙතෙක් දුර
සැබෑ ලොව නොදැකි එක
සුන්දරම ප්‍රේමයක්
අහම්බෙන් දුටුවාම...

මට ලෝභ හිතෙනවා
මම නොදුටු ප්‍රේමයක්
උන්ගෙ ඇස් ඇතුලෙ මට
ඇත්තටම පේනකොට...

- චතූ

...
...

චතූ

මේ නිසදැස් අඩවිය

නැවතුණු තැනින් ඉතිං
ආයෙමත් අරඹන්න
වැටෙන හැම මොහොතකම
මට යළිත් නැගිටින්න...

හැකි බවක් මම ඉතින්
උගත්තේ හරි පුදුම
නේක නිසදැස් ලියූ
මෙහෙ උන්ගෙ කවි වලින්...

මම මෙහෙට ආවාම
මගෙ හිත නිවා ගන්න
ලොවට නොකියන කදුළු
මේ පිටුවෙ හැරයන්න...

බොහෝ උන් මම දුටුවා
වේදනා විඳගන්න
ඇවිත් ගිය බවක් මෙහි
කදුළු හලලා යන්න...

සතුට දුක හැමදේම
කවි කරපු අකුරු ළග
ඇතැම් තැනකදි කදුළු
මහ ගොඩක් තිබුණාට...

හැමතැනම මුතු අකුරු
අමුණාපු කවි අතර
හැම දේම රසවිඳින
හිතක් තිබුණා උන්ට...

හඩපු කදුළුත් හිදෙන්නට පෙර
හිනා වෙන්නට හේතු ලිවු අය
ප්‍රේමයේ රළු වේදනා මැද
වේදනාවත් කවි කරපු අය...

අහස පොළවට ලෝකයට නෙක
සොබාදහමට ප්‍රේම කළ අය
ජීවිතේ සතුටත් දුකත් මේ
සොඳුරු පිටු මත අකුරු කළ අය...

හිනාවෙන අය හඩා යන අය
ලියූ නිසදැස් රසවිඳින අය
නේක විධ වූ කවිකාර අය
මේ පිටුව තුළ මම දුටුව අය...

වේදනාවත් කදුල සුසුමත්
පොදු දෙයක් බව ලෝකයේ තව
මේ ඉසව්වෙන් මම උගත්තා
ජීවිතේ හැම තැනම කවි රස...

- චතූ

...
...

චතූ

මම

හිත කෑ ගහලා ඇඬුවට
මම ඉඩ දෙන්නේ නෑ...

තව නුඹ ගැනම හිතුවට
දැන් ප්‍රේමයක් නෑ...

මනසට නිතර ආවත්
මට නුඹ ඕනි නෑ...

නුඹ දුටුවාම ආයෙත්
මම වැලපෙන්නෙ නෑ...

මල් පිපෙන හැම ගහකම
මල් පවතින්නෙ නෑ...

පර මල් බිමට හැලුණට
ගහ වඳ වෙන්නෙ නෑ...

එක බසයක් මග හැරුණට
මග තනි වෙන්නෙ නෑ...

මහ පාරේ තව වාහන
නෑවිත් තිබුණෙ නෑ...

ගිම්හානය ගස් මැරුවට
කතරක් මැවුණෙ නෑ...

මහ සාගරය ගැලුවත්
මිනිසුන් වැටුණෙ නෑ...

එක පිටුවක් නිම වූවත්
තව පොත අහවර නෑ...

එක කවියක් නැවතුණ මුත්
කවියා තව මැරුණෙ නෑ...

- චතූ

...
...

චතූ

ආදර කතාවක්

ආදරේ හින්දාම
ජීවිතේ නැති වුණත්
ආදරිය ලඟ ඉන්න
පෙරුම් පුරනා ලතෙත්...

හදවතක් ඇති උතුම්
සොඳුරු මිනිසෙක් මමත්
රූප පෙට්ටිය ඇතුලෙ
දුටිමි අද නිසඟයෙන්...

අත් හරින්නට බැරිව
යළි යළිත් රිදවනා
හිත පිරුණු සෙනෙහසක්
මම දුටුවෙ ඒ ඉමේ...

අඩු නැතිව ආදරේ
ඉතුරුවා හැම තැනම
උන්ගෙ හිත් පුරාවට
ප්‍රේමය ම පණ ගැහේ...

ආදරිය වෙනුවෙන් ම
ජීවිතය බිලි දෙන්න
සිදු වුණත් හිත පිරුණු
සෙනෙහසේ ගීතයේ...

හැම තනුවකම වගේ
ඇය තමයි උන්නේම
ඒ දුගී හිත පුරා
ප්‍රේමයම පණ ගැහේ...

අහස සඳ සේ දුරක්
උන් අතර තිබුණාට
උඹ වගේ ඔහු ගියේ
නැහැ අතැර ආදරේ...

ඒ ටෙලි කතා පුවත
පුරා හැම රැයකදිම
දිග හැරෙන විට ඉතිං
පුරුදු ඒ කනිසමේ...

මම එතැන නොරැඳීම
නෑසෙනා මායිමට
පලා යමි වේගයෙන්
නොදකින්න ආදරේ...

කතා පොත් කවි පුරා
ටෙලි කතාවන් පුරා
මිහිර විසිරුවා හැරි
මුදු සුවඳ ආදරේ...

දකින මොහොතක පවා
මටම යළි රිදවනා
උන් කියන උතුම් වූ
කතාවද ආදරේ...

මට ම පමණක් මෙහෙම
අහිමි වුණ රිදුම් දෙන
මම දුටුව කදුළු කව
නොවෙද ලොව ආදරේ...

පතිනි පූජාවක් ද
ඒ තරම් පේ වෙච්ච
පුදුම සහගත සොඳුරු
උතුම් වූ ආදරේ...

මට හරිම පුදුමයක්
රචකයා ලියපු ඒ
උන් රඟන කතාවද
ඇත්තටම ආදරේ...?

- චතූ

...
...

චතූ

මගේ හිත

ගොඩක් තැන්වල මමත් වැටුණා
නමුත් මට හොඳ හයිය තිබුණා
ජීවිතේ නෙක වේදනා මැද
අඬ අඬා මම හිනා හෙව්වා...

මගේ නෙත් ඉම තරම් කඳුලක්
කාටවත් නොතිබෙන්න ඇතුවා
ආයෙමත් නම් ප්‍රේමයක් ගැන
මගේ හිත තුළ ඉඩක් නැතුවා...

ලෝකයේ හැම තැනම ඇත්තේ
නුඹ වගේ අය තමයි කියලා
මම දනිමි දැන් මට එපා යළි
නුඹ මගේ හදවතම මැරුවා...

තවත් නෙත් ඉම සොඳුරු සිතුවිලි
ඇවිත් ඉදහිට ඉඩක් හෙව්වා
ඒත් මම සදහටම මගෙ හිත
ප්‍රේමයෙන් වෙන් කරලා තැබුවා...

- චතූ

...
...

චතූ

සංවේදී වෙන්න

හැම මලක් තුළම රැඳි
ලොකු කවක් තිබුණමුත්
කිසි දිනෙක කිසිවෙකුට
එය අසන්නට නොහැක...

උපතින්ම ගොළු වුණත්
මලක් හඩනා හඩක්
සියුම් හදකට ඉතින්
ඇසෙන එක පුදුමයිද...

ලොවට මේ මිහිකතට
ප්‍රේම කළ ඇත්තන්ට
එවන් වූ හදවතක්
තිබුණාට ඉස්සරම...

කාලයත් එක්ක මග
මිනිස්කම හැර ආව
දැන් උන්ගෙ හිත් ඇතුලෙ
එයින් බිඳුවක් නොමැත...

- චතූ

...
...

චතූ

පොහොය නිවාඩුව

අද උදෙත් පුරුදු හිමිදිරි සුළං
හමනකොට...
මට හිතෙනවා හෙමින් ඇවිදින්න
වැව ළඟට...
උදෑසන උනත් ඒ හවසකදි වුව
මෙහෙට...
සොබාදම ගයනවා ඇසෙන්නට
මේ ගමට...

වැව සෙනේ පාන ඒ සංගීත
සුළඟ මැද...
ගං ඉමේ මට නුහුරු බිම් අඟලකුත් නොමැත...
හැන්දෑවෙ ගොම්මනට පිපෙන රතු
පෙති සුවඳ...
ගම්මු හරි ආදරෙයි හෙන්දිරික්කා
මලට...

පොහොය හුළගත් එක්ක සෙනෙහසින් හිනාවෙන...
පුර හඳ ළඟින් ඉන්න තරු කුමරියන්
එක්ක...
පන්සල් බිමේ සුදු වැලි මතින්
ඇවිද යමි...
හෙන්දිරික්කා මලින් බුදුරදුන්
පුදන්නට...

අද පොහොය නිවාඩුව මමත් ආවා
ගමට...
රෑ උදේ දවල් සවසත් සැපයි මේ
සුළඟ...
හිත නිවන කවියක්ව මගෙ ළඟින්
නතර වුණ...
මේ හැම තැනම තිබේ මගෙ ජීවිතේ
සතුට...

ආයෙමත් හෙට උදේ මම යා යුතුයි
කොළඹ...
නැවත නැත විවේකය විදින්නට මේ
සුවඳ...
විසල් ගොඩනැගිලි ඇති කොන්ක්‍රීට්
පුරය මැද...
හිරවෙන්න මට තවත් මහ වෙලාවක් නොමැත...

- චතූ

...
...

චතූ

(අදහස මගේ නොව, වෙනත් නිර්මාණයක් ඇසුරින් කළ කවියකි)

සමහර සිතුවම්
අවසන් නොකරම
හැරගියේ මන්දැයි
කිසිවෙක් නොදනිතත්...

සමහර විටෙකදි
අපමණ අගයක්
හිමි කර ගත්තෙම
අසම්පූර්ණ සිතුවම්...

එහෙයින්
ඔබ නවතින්න
අපේ සිතුවමේ
පින්සල් පහරක් ළගින්...

මට හැකිවෙයි
හිත හදාගන්න
අසම්පූර්ණ සිතුවමක
අයිතිකාරියක් ලෙසින්...

...
...

චතූ

ගමන

මම නැවතුණේ
නැහැ
ඔබත් නැවතුණේ
නැහැ
මම ආපසු හැරුණේ
නැහැ
ඔබව විශ්වාස නිසා...

එකම පාරේ
අපි ඇවිද ගියා...

මොහොතක

මම අහම්බෙන්
ආපසු හැරුණා...

ඔබ ගිහින්?
කොතනින්ද නැවතුණේ?
කවදාද නැවතුණේ?

නමුත්

මම ආපසු හැරී
මා යන මග
දිගටම ඇවිද යමි...

මේ වනාහි
ජීවිතයයි.

- චතූ

...
...

චතූ

බලාපොරොත්තුව

මම මගේ හිත ලියූ නුඹ වෙත
කියන්නට මට බොහෝ තතු ඇත
දිනපොතක් වාගෙමයි නුඹ මට
මගේ නිසදැස් ලියන මුහුණත...

මට දැනෙන පාළුවට තනිකම
එකතු වුණ විට වගෙම දවසක
මට දැනෙන නෙක විඩාවන් ළග
නතර වුණි මම නුඹේ පිටුවක...

හිතට නිදහස සතුට සැනසුම
නුඹේ පිටුවක දිගහැරීමට
හැමදාම මම බලා ඉන්නේ
නුඹේ පිටු මත මහිත තැබුමට...

- චතූ

...
...

චතූ

ඔබ නැතිව මම

ඉස්සරම මගෙ හිතේ උන්නෙ උඹ
විතරමයි...
කාලයත් එක්ක නුඹ ගිය පසුව
කවි නිමයි...
ඉන් පස්සෙ ජීවිතේ මට තිබුණෙ
පින්සලයි...
පැන්සලයි මට පුරුදු කැන්වසය
සහ හිතයි...

මගේ හැමදේම මම අදින සිතුවම්
තමයි...
ඒ පුරාවට තිබුණේ මගෙ හිතේ
කැඩපතයි...
මමයි මගෙ පින්සලයි පාට කළ
මගෙ හිතයි...
මගේ හැම මොහොතක්ම සිතුවමක් විතරමයි...

නුඹ මතක මට තියා ගියත් මතකය
මගෙයි...
නුඹ දුන්නු සිහිවටනයත් හරිම
අපූරුයි...
මගෙ අතේ නුඹ පැලැදි වළල්ලත්
එහෙමමයි...
තනි මගේ හිත නිවන සිතුවමක්
වගේමයි...

- චතූ

...
...

චතූ

ලියමන

මිස්ට වොන්කා වෙත,


ජීවිතේ ෆැන්ටසිය
තුළ කිමිද හැමදාම...

ජීවිතේ විදින්නට
මටත් ආසයි තාම...

විලී වොන්කා එක්ක
රස රහස් නරඹන්න...

අවස්ථාවක් මටත්
ලබා දෙනවද දිනක්...

චාලි වාගෙම තමයි
අකීකරු නැහැ මමත්...

ඒ නිසා අනිත් අය
වගේ වෙන්නෑ මමත්...

ඔබට යළි ඒ වගේ
තව කෙනෙක් ඕනිනම්...

මිස්ට වොන්කා දෙන්න
අවස්ථාවක් මටත්...

හුරු පුරුදු ගැහැට මැද
මමත් හැදුනේ ඉතිං...

චාලි වාගෙම තමයි
මමත් දුප්පත් කෙනෙක්...

ඒ වුණත් හරිම හොඳ
හිතක් තියෙනවා මටත්...

ටිකක් හොයලා ඉතිං
දැන ගන්න මං ගැනත්...

- චතූ

...
...

චතූ

ගස්!

කඳන් පිටින්
කොට පටවන්
කන්ද නගින
ලොරි බාගේ...

කවුරුවත් ම
හිතුවෙත් නෑ
රූස්ස ගස්
මරණ වෙලේ...

කුට්ටි කරන්
අරන් ගිහින්
කාසි කරත්
නිරන්තරේ...

අන්ධ නෙතට
මොණර කොලය
රස අඳුනක්
වන මොහොතේ...

මොණරු මැරුණෙ
මහ කැලයේ
ග්‍රීස්මයට
නේද ඉරේ...

අපිම තමයි
හේතු හැදුවෙ
ඉඩෝරයට
මේ පොළොවේ...

- චතූ

...
...

චතූ

නාදුනන ඇමතුම

මගේ දිනපොත මේ අසාපන්
අදත් මගෙ හිත ඔහුව සෙව්වා
නුඹට කීමට තරම් නොවුණත්
කියන්නට වෙන කෙනෙක් නැතුවා...

නාදුනන අංකෙකින් මට අද
නොහදුනන ඇමතුමක් ආවා
ඒ ඇමතුමේ මැදින් මගෙ හිත
අපේ මතකය මතක් කෙරුවා...

නාදුනන අංකයේ ඇමතුමට
පිළිතුරක් මම දුන් වෙලේ
අනිත් පැත්තෙන් කියූ කිසිවක්
මෙමට නම් නැහැ වැටහුණේ...

මගේ හිත ඇමතුමත් අතරෙම
අතීතය ළග නැවතුණේ
නුඹ වගේමයි නුහුරු බසකින්
ඒ කතාබහ ඇති වුණේ...

නුඹ ඇදට සිංහල කියනකොට
ලස්සනයි මං ආදරෙයි
මං ආසා ඒ කැඩුණු සිංහල
මතක පිරි නුඹ මගෙ නොවෙයි...

නුඹේ ළග නැවතිලා මගෙ හිත
යළිත් මෙලොවට ආ වගයි
කවුද කියලා අහන්නට මට
සිහි වුණේ ඉන් පසු තමයි...

නමුත් ඇමතුම ගත් කෙනා නම්
අපේ බස නොදනී වගෙයි
මා කියූ දෙය නොතේරී ඔහු
නැවත නැවතත් කෑ ගසයි...

ඔහු කියන දේ බිංදුවක්වත්
ඉතින් මට නම් නොතේරෙයි
හරියටම ඉස්සර දවස්වල
නුඹ කතාකළ බස වගෙයි...

ගිනිගත්ත තල් අරඹ මැද්දෙන්
කිරිල්ලක් ඉගිලුණු වගයි
මගේ ප්‍රේමය ඒ වගේ මුදු
කවක් නොවුණේ ඔබ නිසයි...

බොහෝ දුර ඔබෙ මතක මැද්දෙන්
ඉගිල ගිය හිත නතර වෙයි
යමක් දෙඩවූ අමුත්තා දැන්
මටත් නොදැනිම ගොස් හැඩයි...

- චතූ

...
...

චතූ

මගේ ප්‍රේමය

උඹට ළං වූ මුල් දවස්වල
බොහෝ උන් මට රිද්දුවා
මෙහෙම උඹ ගැන හිතන්නේ ඇයි
උමතුවෙන් දැයි විමසුවා...

ආදරේ හදවතේ ඇත්නම්
ළගින් ඉන්නම් දිවුරලා
මම උඹේ ඔය ආදරේ ළග
මගේ හදවත හිර කළා...

කතා කියු අය හිනා වෙද්දී
උඹ මාව අතහැර ගියා
උන් තමයි හරි මමයි වැරදී
අන්තිමේ මට වැටහුනා...

ආදරේ විහිළුවක් වූ කල
සුපෙම් හැඟුමන් නෑ කියා
මගේ දිවියේ හොඳම පාඩම
ඒ නුඹෙන් මම උගත්තා...

- චතූ

...
...

චතූ

දෛවය

එකම මගක
දෙතැනක උන්
අපි දෙන්නා ගැන...

හීන දකින
ඔහු මාගෙන්
පෙම විමසන විට...

ඔය උඹ හා
හාද වෙලා
උන් හින්දා මම...

ඔහුට බහක්
නොදී නුඹේ
ළග රැදුනා මම...

නුඹත් මගෙන්
වෙන් වුණාම
නොහිතන විදිහට...

හිමිදිරියේ
මම දැක්කා
පුදුම දෙයක් අද...

බහ ඉල්ලා
මගේ ළගින්
හුන් ඔහු සුන්දර...

යුවතියකගෙ
දෑත අරන්
නැගුණා රථයක...

හෙට දිනයේ
උඹත් යාවි
පැටලී දෑතක...

මම තනි මග
බලා හිඳිමි
මගෙ තනි හිත ළග...

හිත් රිදවන
ඔය බැදීම්
නැතුවට කම් නැත...

තනි හිත තුළ
සැනසීමට
ආසයි දැන් මම...

- චතූ

...
...

චතූ

නුඹ සහ මම

උඹට මතකද ඒ දවස්වල
නිරන්තර අපි හමුවුණා...

හැම උදේකම හැම හවසකම
මුවග මදහස දිලිසුනා...

ඒ නිමේෂය අසුරු සැනෙකින්
මගෙ ලොවෙන් පිටමං වුණා...

තවම දන්නෑ අපේ ප්‍රේමය
හැර ගියේ නුඹ ඇයි කියා...

එකම පොළොවක ඉවුරු දෙකකදි
ආදරෙන් අපි හිනැහුණා...

නුඹේ පපුවේ උණුසුමට මම
සෙනෙහසින් තව ළං වුණා...

අපිම ඉදි කළ අපේ ලෝකේ
අපි අපිව සොයමින් ගියා...

මාව හැරදා දුරක් යන්නට
හැකි වුණා පුදුමයි මෙදා...

නිතර මගෙ හිත අහනවා දැන්
උඹට කොහොමද යැයි කියා...

මම දන්නෙ නෑ කොහේ ඇත්දැයි
කුමක් කරමින්දැයි කියා...

මිණිපුරේ එක බිම් ඉසව්වක
මතු දිනෙක මම නැවතිලා...

නුඹට රහසින් සොයනවා යළි
නුඹට කොහොමද යැයි කියා...

නුඹ පරාජිත ජීවිතේ තුළ
සතුට නොවිදින බව සැබැයි...

නමුත් ජයගන්නට ඕනි නැති
උඹේ උන් හරි කම්මැලියි...

එක තැනම දින ගෙවී දවසක
අපි හැමෝමත් මහළු වෙයි...

දන්නවද ඒ දින පවා නුඹ
ඉන්නෙ ඔය මතයේ තමයි...

කාසි සොයමින් තැවෙන්නට මට
අවැසි නෑ ජීවය කෙටියි...

නමුත් මම මගෙ හීන පසුපස
ගොස් දිනමි මගෙ ලොව එයයි...

නුඹ නැති ලොවේ මගේ හිත ළග
යළිත් ප්‍රේමය නූපදියි...

දිනෙක හමුවනු ඇති යළිත් අපි
එදින ඔබ මට තව දුරයි...

- චතූ

...
...

චතූ

කුරිරු වූ මගේ හිත

අපේ මල් පාර
තනි මගේ හීන
නිරන්තර රිද්දුවා...

උදේ හවසත් දකින
දහවලෙත් පෙම් කරන
බොහෝ උන් එහි වුණා...

අසන්නට යමක්
සිතන්නට යමක්
මගෙ හිතේ නැති වුණා...

මමත් ඔබෙ මතක
හිතින් විදගෙනම
ලහි ලහියෙ පිට වුණා...

අපිත් මුණ ගැහුණු
දවස්වල පුදුම
ආදරේ ඉතිරුණා...

ඉරත් අවරට
යන තුරුම අපි
ආදරෙන් හිනැහුනා...

මතක් වී අදත්
කදුළු කැට ගොඩක්
මගෙ දෙනෙත් තෙත් කළා...

පෙමින් ලං වෙච්ච
බොහෝ උන් දකින
හිත මටම කෙදිරුවා...

ළගින් උන්නාට
උනුත් වෙන් වේවි
මම වගේ අඩ අඩා...

මමත් කුරිරුයි
හිතත් කුරිරුයි
ඔබ නිසා මම මෙදා...

සොවින් වැලපෙනා
උන් දිහා බලමි
සිනාසී හිත පුරා...

- චතූ

...
...

චතූ

මගෙ අන්ධ ආදරේ

ජාතිවාදය ඇති කරන්නට
බොහෝ උන් වෙහෙසෙනා කාලෙක
උඹේ උන්හට සමාජේ නිසි
තැනත් අහිමිව යන නිමේෂෙක...

එකම රතු ලේ හැමෝගෙම ළග
ඇතැයි මම ලියු පෙම් පුරාණය
නමුත් අවසන ඉතුරු වූයේ
මගේ තනි හිත විතරමයි මට...

මගේ පසුපස හඹා විත් නුඹ
හඩන විට හද ඉල්ලලා
කාටවත් මම නොදුන් හද මල
නුඹ වෙතට මම පුදකළා...

හොයාගන්නට නොහැකි සේ හද
කොහේ හෝ උඹ විසි කළා
උඹ වගේ උන් පිටුදකින එක
දැන් මගේ සිරිතක් වෙලා...

- චතූ

...
...

චතූ

පින්තූරය

දෘෂ්ඨි කෝණය,

සාපේක්ෂව වෙනස් වන
අපූරු දෙයක්!

- චතූ

...
...

චතූ

රහසක්

අයිලයේ සද රෑක
සුදු පාට තරු නැතිව
සද තනිව හිනැහුණා
බොර පාට කන්ද ළග...

හිත නිවන සුළං රැළි
ඇවිත් ඉදහිට ළගට
මොනවදෝ කියනවළු
පොප්ලර් මුදුන් වලට...

- චතූ

...
...

චතූ

අපේ කතාව

අහිමි නුඹට ලියමි,

එදවස නුඹ නමින් පදවැල් ගළපන්නට ඉසිඹුවක් නොලද්දෙමි. කාලයේ චණ්ඩ මාරුතය ජීවිත හරහා හමාගිය වේගය මෙතෙකැයි කිව නොහැක. ගොලු වී බලා උන්නෙමි. එකිනෙකට බැඳී නොනැවතී සිදුවුණු සිද්ධිදාමය වේගයෙන් සිදුවූ අරුමය, එය නම් අරුමයක් ම ය. සංකීර්ණ ව්‍යාකරණ අතර අපේ කතාව ගොතන්නට මට ඉඩක් නොලැබුණු හැටි නම් පුදුම ය.
පුංචි හැඟුමක් පවා කවි කළ හිත ගොළු වූ අයුරු පුදුම ය. මෙය මෙසේ අවසන් වන්නට නියමිතව තිබූ හෙයින් ඒවා එසේ සිදුවන්නට ඇත. සැබෑවටම ඒ හමුවීම් ගෙන ආවේ හෙට දවස පිළිබඳ අවිනිශ්චිත බවකි. සතුටින් සිනාසුන නමුදු යටින් වූයේ ප්‍රිය විප්‍රයෝගය ලකුණු ය. වෙන්වීමත් අත ළඟ ඇති බවක් නිරන්තරයෙන් ම සිතුනි. ඔබෙන් වෙන්වී යන්නට නියමිත ව තිබූ නිසා මට එසේ හැඟෙන්නට ඇතැයි සිතමි. නමුදු මා මළගිය ඇත්තෝ තුළ දුටු දෙවෙන්දොරා නුඹ විය. මා විරාගයේ දුටු අරවින්ද නුඹ විය.

සියල්ල අවසන සිත තැන්පත් ව ඇති මේ ඉසිඹුවෙහි මම ලියන්නෙමි. මටම සීමා වූ ඔබට අවැසි නැති, ඔබට නොතේරෙන, ඔබ අකමැති, පිටු ගණන් කතාන්දරය මම ලියන්නෙමි.

...
...

චතූ

නික්ම යාම

මේ වෙරළ ඉමේ මම
මගෙ මතක ගොඩගසා

ආදරේ අයැදියා
මතකයිද පෙර එදා

මගේ පසුපස හඹා
මගේ හිත ඉල්ලලා

හිත අරන් ඈතටම
මගෙන් වෙන්වී ගියා

මේ සැඳෑවේ මමත්
තනිව මෙහි ආ නිසා

අපේ මතකය තවම
හිත පතුලෙ දග කළා

මේ වැල්ල පුරාවට
දෑත් පටලා එදා

ඇවිද ගිය අපේ පා
සටහනුත් බොද වෙලා

මේ බිමේ අපේ පා
සටහන් මකා දමා

රැල්ල වේගෙන් ඇවිත්
වැල්ල පිස දා ගියා

මගෙ හිතේ ඇති මතක
කදුළු කැට පිස දමා

රළු මුහුදු රළ නුඹට
ආ හැකිද හිත කරා

අපි ආදරේ වින්ද
මේ වෙරළ හැර දමා

යළි නේන්නටම යමි
මේ කදුළු මට එපා

තවත් නම් මට නුඹත්
නුඹෙ මතකයත් එපා...

- චතූ

...
...

චතූ

අපේ කතාව

තවත් පිටුවක්,

හිත තැන්පත් ය. එහෙත් විටින් විට නිසල මුහුදේ නගන රළක් මෙන් හැඟීම් රැල්ලක් විත් නිසල හිතට දබර කර නෙත් දෑල තෙත් කර නැවත යයි. තවමත් සොයමි. ගුරුගීතයේ දුටු දුයිෂෙන් නුඹ ද? නොහඳුනමි. නොතේරෙන හැඟීම් ගොන්නක මම ඔබව සොයමි. මට තවමත් ඔබව තේරුම්ගත නොහැක. අපි හමුවුණේ ලං උනේ, එය අහම්බයක් ද?

එය එසේ නොවුනා නම් නුඹ සතුටු වනු ඇත. මම එය දනිමි. නුඹ වැරදිකරුවෙකු කොට සමාජය නම් වූ ජූරිය අභිමුවට රැගෙන යාමට මට අයිතියක් නැත. ඔබ නිදොස් ය. වැරැද්දක් ඇත. වැරදිකරු ඔබ නොවේ. මම ද වැරදිකරුවෙක් නොවෙමි. වරදක් සිදුවී නැත.

නමුත් නිරන්තරව මාරු කිසිදු පණිවිඩයක් යලිත් නොඑන බව සැබෑවකි. යන්නට ගිය මග අතර මග හෙනයක් වැදී වන්දනාකරුවන් මියගිය සෙයකි.

...
...

චතූ

අපේ කතාව

තවත් පිටුවක්

කිසිවකු සමඟ බෙදාහදා ගන්නට හඬාවැටෙන්නට නෝක්කාඩු කියන්නට දුකක් දැන් ඉතිරිව නැත. විශාදය සුව වී ඇත. එක්වරම හිතට දැනෙන පුදුමාකාර සැහැල්ලුව කුසට දැනෙන සනීපය, ලෝභ කටයුතු ය.

එය එතරම්ම මිහිරි ය.එවිට අතීතය දෙස හැරී බලමින් නැවත හාරා අවුස්සමින් අතීත සුවඳ මතක විඳිමින් ඒ මිහිර අවසන යලිත් දුකටම වැටෙමි. අවසන් වන දිනයක් මම නොදනිමි. අවසන්ය සිතා සැනසීමි. නමුත් මොහොතකට හදවත පෙළෙමින් කුසට වේදනා දෙමින් නුඹ නැවත මා තුලම උපදී. පුරුදු කඳුල නෙත් කෙවෙනි තුළින් උපත ලබයි. නැවත නැවත හඬමි.

දිනෙක මේ සියල්ල මතකයක් වී යටිහිතේ නිදනු ඇත. නමුදු කලෙක දී යළිත් උපත නොලබාවිදැයි කාටනම් කිවහැකිද ?

...
...

චතූ

අද

බලන බලන හැම අතම
නිහඩ හුළග කතා කියයි
දන්නවාද දන්නෑ ඔබ
හුදෙකලාව හරි මිහිරියි...

ගලන දොළක මිහිරි හඩට
මංසල ළග කුරුළු නාද
හරි මිහිරට ගීත ගැයුවෙ
වස්සානය ගැන නොවෙයිද...

බිනර මහේ එක හවසක
සදු නගිනා හෝරාවක
දළදා සමිඳුන් අභියස
මට හැකි නම් වැද වැටෙන්න...

දුම්රිය පොළ ගාව තැබූ
මගේ මැරුණු ගොළු හදවත
අරං එන්න මම යනවා
මේ ගොම්මන් රෑ අදුරට...

චතූ

...
...

චතූ

හෙට

මම ආසම පියාඹන්න
කුරුල්ලෙක් ගෙන්
තටු දෙකක් ඉල්ලගෙන
මමත් එනවා හඳ බලන්න...

හැකි නම් මට නතර වෙන්න
හඳේ කොණක ගේ හදන්න
කන්ටේනරයක් අරගෙන
මගෙ මළු ටික උඩට ගන්න...

හඳේ හාවා ආසා නිසා
උදුපියලිය අමතක නෑ
අනිවාරෙන් අරං එනව
මම එනකොට දවසක රෑ...

සද දෙව්දුව පට සළු ගෙන
මහන ඇදුම හැඩ බලන්න
හෙටවත් එන්නට හැකිනම්
ආසයි මට නතර වෙන්න...

නිකිණි මහේ පුන් පෝදා
රෑ පුර හඳ මතට ඔන්න
මම එනවා රාත්‍රියේ
හා පැටියෝ උඹ බලන්න...

චතූ

...
...

චතූ

සතුට

මතක වැලලූ මහරු හීනේ
පාව යන කුසුමක් වගේ
ජීවිතේ හරි ලස්සනයි දැන්
නොකී කවි පදයක් වගේ...

සිහිනයක දැවටී යොවුන් හිත
සුළං රැල්ලක පා වුණේ
සත්තමයි මේ වසන්තය නම්
මටම මැව් කවියක් වගේ...

අහස ගස් වැල් පවා හිනැහෙයි
මා දෙසට ඉගි කර සෙනේ
සිහින ඉම මම පියාඹා යමි
මල් සුවඳ ඉහිරෙන ලොවේ...

චතූ

...
...

චතූ

නැවතුම

සිතුවිලි කවියක්
පුර අටවක ළග...

හිතවත් කදුලක්
කම්මුල් පිසගෙන...

මට කිව්වා එක
කවියක් නුඹ ගැන...

නුඹ තාමත් මෙහි
එනවලු හවසට...

දුම්රිය නැවතුම
නිතරම හමුවුණ...

කදුළු බෙදා ගත්
සුදු මල් පැලවුන...

මේ ගස්වල තව
ඇති ඒ මතකය...

කතා කරොත් උන්
කියයි අතීතය...

චතූ

...
...

චතූ

වැස්සක්

අගෝස්තුවේ ග්‍රීස්මෙ
හැම අවුරුද්දකටම පොදුයි
ඒත් අද රෑට
අහස හඩනා හැඩයි...

වහල මත වැහි බින්දු
මහ හඩින් ඇද වැටෙයි
නිසංසල රෑ ගගන
කැළඹිලා වගෙ තමයි...

දහවලේ ගිනි අවුව
කර කෙරූ පොළොව මත
වැහි තෙතට ඉරි ඇදෙයි
පස් ගොඩැලි මත රෑට...

වියළි මහ පොළොව මත
වැහි බිංදු වැටෙන කොට
පුදුම සුවඳක් දැනෙයි
මගෙ නාස් පුඩු වලට...

කහ පාට ඉරට වත්
දෙවෙනි නැති කහ පාට
ඉරිඟු යායට වැස්ස
සිපගන්න හැකි රෑට...

හෙට උදේ අපි දැකපු
මහ පොළොව බොර පාට
පුංචි ඇළවල් පිරුණු
ඉසව්වක් වෙයි නේද...

චතූ

...
...

චතූ

දැන්!

2020 අගෝස්තු මාසෙ 31
මාසෙ අන්තිම දවස!

මේක හැන්දෑවක්
උඹ දන්නවද...

මම ඉන්නේ
අක්බාර් පාලම උඩ...!

මතකයිද?
අපේ මතක විසි කරපු

මේ ගඟ!

හැමදාම වගේ
අදත් ගලනවා...

මට පේනවා
පෙණ අතරෙන්

රොබරෝසියා මල් පෙත්තක්
පාවෙලා එනවා...

හරියටම
උඹ දවසක හවසක

මේ ගඟට විසිකරපු
මගෙ හදවත වගේ...

ගල් බොරලු මැදින්
ඒක පාවෙලා එනවා

දිය රැළි ,
මල් පෙත්තට රිද්දනවා...

මේ පැත්තෙන්
ගහගෙන ආව මල් පෙත්ත

පාලම යටින් අනිත් පැත්තට
ගඟ දිගේ ගලාගෙන යනවා...

මම අනිත් පැත්තට දුවනවා
ඒත් මල් පෙත්ත නෑ...!

ගඟ පහළට ගලාගෙන
යන්න ඇති වතුර එක්ක...

නැත්නම් පාළම යට
රැදෙන්නැති ගල් ගොඩක...

මට යන්න හිතයි
මල් පෙත්ත හොයාගෙන...

පරිස්සමට අරගෙන
තණකොළ උඩින් තියන්න...

නොරිදෙන්න
නොතැලෙන්න...

ඒත් මම කොහොම යන්නද
මම තවම පාළම උඩ...

ඉර අහස කොණක ගිලෙනව
මම බලාගෙන ඉන්නව...

චතූ

...
...

චතූ

සටහනක්

මගේ දිනපොත නුඹ දන්නෙ නෑ
ආදරේ ගැන නිරන්තර මම...

නුඹට කිව්වත් හැගුම් දියකර
සැබෑවට ලොව බොහෝ උන් ළග...

නිරන්තර හිත සොවින් පුරවා
තිබුණේම දුක් පෙම් කතා බව...

ඊයෙ මට අහඹුවෙන් ඇසුණා
මගේ හදවත පවා රිදුනා...

කදුළු මැද්දෙන් වේදනා පිරි
බොහෝ ආදර කතා තිබුණා...

හරිම පුදුමයි බොහෝ හිත්වල
ආදරේ රිද්දලා තිබුණා...

- චතූ

...
...

චතූ

එන්න පාට කරන්න

මගෙ ජීවිතේ ම පාට!

කැන්වසය පුරාවට
හැමදාම ඇන්දෙ
පාට පාට රූප...

අදින අපි
හැම මොහොතකම
අපේ හීන
ලස්සන පාට වලින් පුරවනව...

අපි ආසයි
අනිත් උන්ගෙ ජීවිතත්
ලස්සනට පාට කරන්න...

මුළු ලෝකෙම
අදුර මැකෙන්න...

හැම හිතකම
පාට තවරන්න...

මම මගෙ පාට පාට හිතෙන්
සිතුවිලි පාට කරනව!

අනිත් උන්ට පාට ගාගන්න
ඕනි තරම් ඉල්ලන්න...

ලස්සන පාට
ලෝභ නැතුව දෙන්න කියලා
මේ කලාව අපිට උගන්නලා තියෙනවා...

අදින නොඅදින හැමෝම
පුළුවන් විදියට
ලස්සන පාට වලින් හීන පුරෝමු...

ජීවිතේ ලස්සන පාට පාට
හීන ඇතුළෙ ඒ පාට
සතුට ගෙනෙයි හැමදාම...

- චතූ

...
...

චතූ

දන්නවද

උඹ නැවතුණාට පස්සෙත්
මම දිගටම ආවා...

සතුට හොයාගෙන
සැනසීම හොයාගෙන...

දුරුත්තෙ කදුළු බිව්ව මම
බිනර මහේ හිනාවෙනවා...

දැන් ලස්සනයි හිත
උඹ ගිය එකමයි හොඳ...

- චතූ

...
...

චතූ

මම

කවි හිත මැරුණු එක හවසක
අපේ ගමේ...

සිරිපා කන්ද පෙනෙනා
සුන්දර තැන්නේ...

ලස්සන ගල් කුලක නැවතී
මේ යාමේ...

මම යමි හිත එක්ක
සිතුවිලි ගංගාවේ...

පුර හඳ එන්න තව වේලා
තිබෙන නියා...

ගගනත කොණක නිල් සිනහව
මදෙස බලා...

තුරු මුදුනක් මැදින් බොදවී
ඉගි කරලා...

ලස්සන නිල් අහස මට දැන්
හිනාවුණා...

අවසර නැති සිතුවිලි යානයක්
ඇවිත්...

හිත නංවාගෙන හරි දුරකට ඇදී
ගිහින්...

සිරිපා වන්දනාවට මේ හවස
ඉතිං...

යන්නට සමනලුන් යනවා
බැති හිතකින්...

අවාරෙ සිරිපා වදින්න යන්න
මට...

මේ වසරේ හැකි වුණොතින්
හොඳයි හෙට...

මම මගෙ හිත ඔබා සීතල
ජලය මත...

සීත ගඟුලෙ පා කර එමි
මගේ හිත...

- චතූ

...
...

චතූ

මගේ නොවන ඔහු ඈ අතගත් වගයි!

සෙනෙහස සුසුමක් ගානේ
උතුරන විට රෑ යාමේ...

මතක් උනෝතින් මාවත්
මතකෙන් පිටමං කරන්න...

තවත් ඉතිං අපි දෙන්නා
අපි දෙන්නගෙ නොවෙන නිසා...

මතක ඉරා උඩු ගුවනේ
දුර ඈතට පා කරන්න...

මම කවදාවත් ආයෙත්
ළං වෙන්නෑ කාටවත්ම...

දවසක එන්නම් උදයක
ලස්සන කූඩුව බලන්න...

ඈත ඉඳන් බලන් ඉදලා
නොදැනෙන්නට යන්නම් මම...

උඹේ පුංචි පුතා ටිකක්
දැකගන්නම් රහසේ මම...

උඹ හිනැහෙන ගිම්හානෙක
දුර ඈතම කදු මුදුනක...

උඹට හොරෙන් උඹේ හිනා
බලා හිඳිමි හැන්දෑවක...

- චතූ

...
...

චතූ

ප්‍රශ්නයක්

ලෝකයේ හැම තැනම වාගේ
හරිම ලස්සන දසුන් ඇති මේ
මගේ රට තුළ සොබාදහමේ
අපූරුව පුදුමයි අගෙයිනේ...

පින්තූරයක් ගන්න මොහොතේ
අසිරිමත් සුන්දර රටේ මේ
අහස විනිවිද හැම ඉමකදිම
විදුලි රැහැනක් හමුවුණානේ...

සොඳුරු කවියක පැල්ලමක් ලෙස
දිය සලකුණක් ගැසූ ලෙසකට
ඇත්තටම මේ වයර් අහසේ
හතර අතටම ඇද්දෙ මොකටද...

- චතූ

...
...

චතූ

උඹ

අතොරක් නැතුව ලියනවා
අකුරක් ගානෙ ඉන්නවා

කදුලක් උනත් වැටෙනවා
හිත තවමත් තදින් රිදෙනවා

එක පිටුවක් ඉරල දානවා
අනිත් පිටුවෙත් උඹම ඉන්නවා

පිටු ඔක්කොම එකතු කරනවා
කොල ගොන්නටම ගිනි තියනවා

හැම හීනෙම රෑට ඉන්නවා
හැම මොහොතම උදුර ගන්නවා

මොන කවියෙත් මැදින් එබෙනවා
මට මාවම එපා කරනවා!

- චතූ

...
...

චතූ

කහ මල්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
මල් පාර අසලදී...

හා හා පුරා කියලා
අළුත් මාසෙ පලවෙනි දවස...

මම ආවා
අපිට පුරුදු මල් පාර ළගට...

තවම උදේ
නවයට විතර ඇති...

මීදුම හරි සැරට අහස
පුරෝගෙන...

නුවරට අදත් වැස්ස
අනෝරාවට කඩාගෙන නොවැටුණාට
දවසම ටික ටික වහිනවා...

මම ගියා
හැමදාම නැවතුණු කහපාට මල් ගහ යටට...

තාර පාරේ ඈතින් වාහන එක දෙක
එනවා...

හරි සද්දෙට බයික් එකක් එනවා
ඇහෙනවා...

ඔන්න එයා එනවා!
මගෙ හිත කෑ ගහලා කියනවා...

උඹට පිස්සුද?
මම හිතෙං අහනවා...

එයා ගියා
යන්නම ගියා...

ආයෙ එන්නේ නෑ
ආවත්, දැන් මට අයිති නෑ...

කහපාට කැලණි තිස්ස මල්
සිය ගානක් බිම වැටිලා...

එන එන හැමෝගෙම
පයට පෑගෙනවා...

මීදුම අහස වහගෙන
ඉර පේන්නවත් නෑ...

ඒත් මේ ගහයට
ඉර පායලා වගේ...

කහ මල්
බලාගෙන ඉන්නවා මාත් එක්ක
අහස දිහා...

ඉර එනකං...

- චතූ

...
...

චතූ

මලක්

මටත් තිබුණා
මම හීන මවපු
ලස්සන හත් පෙති මලක්...

අවාරෙට පරවෙලා
මැරිලා ගියාට
මතක නෑ ගියේ තවත්...

පෙත්තෙන් පෙත්ත
කඩලා පතන්න
පැතුම් නම් හරි ගොඩක්...

පතන්න තියා
බලන්නත් කලින්ම
මල මැරිලා හරි දුකෙන්...

- චතූ

...
...

චතූ

අද

අද පටන් ගත්තෙ
විශේෂ මාසයක්!

එක හවසක
මතකද ජීවිතේ කවියක්...

මේ ගහ යටම දැන් මම වරුවක්
බලාගෙන හිටියා එයි කියා වැරදිලාවත්...

කහ මල් උනත්
හිනැහෙනවා තනියෙන්...

මට අඩන්නවත්
නෑ අයිතියක්...

ප්‍රිය හදවත තව පාරක්
ඇවිදින් යන්න හැකිනම් අදවත්...

කියන්නට දේවල්
නැහැ දැන් නම්...

ඒත් බලාගෙන ඉන්නම්
නුඹ දිහා කල්පයක්...

අපෙ මතකයන්
ගොඩ ගසා මමත්...

හදන්නම් හිත් බිම මත
ටජ්මහලක්...

- චතූ

...
...

චතූ

පොළොව

මම හිතුවා හරි
ඊයෙ වැස්ස
මහ පොළොව
දිය කරලා නෑ...

ඒත් මේ පස් ගොඩැලි
වැලි කැට
ඔක්කොම තෙමලා
දූවිලි හෝදලා...

කට්ට අවුව
පුච්චපු ගස් වලට
වැහි වතුර වැටුණම
ඇත්තමයි අගුරු සුවඳක් එනවා..

කහ පාට වේලිච්ච කොළ
පොළොව උඩ වැටිලා
තෙත පොළොව දිහා
ආදරෙන් බලනවා...

- චතූ

...
...

චතූ

මල් පොකුර

මල් වැලක්
හැමදාම එතුණා
අපේ වහලේ දිගේ
කාලයක් තිස්සේ...

වහලේ උළු එක්ක
ආදරෙන් බැඳිලා
නතර වුණා
අළු කැට අස්සේ...

නිකිණි මහේ
ඉස්සර වෙලාම
පිපුණා රතු පාට
මල් පොකුරක් වැල මැද්දේ...

මාසයක් ගෙවිලා
මල් පොකුරම
වැටිලා තිබුනා
වැලි මිදුලේ...

කවුරුවත් දන්නෑ
මල් පොකුර
කැඩුව ද වැටුණ ද
බිනර මීදුමේ...

වැහි වතුර හෝදපු
ලා තැඹිලිපාට
මල් පොකුර වැලට
එපා වෙලා වගේ...

- චතූ

...
...

චතූ

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 01 වෙනිදා
දැන් වෙලාව ප.ව. 4.00 යි.

මන්දාරමට හීතල හුළං
කවි කියනවා
නුවරට අදත් ටිකක් වැස්ස...

හවස් වෙන්න කලින්
පන්සල් යන්න ඕනි...

හවසට වැස්සොත් හෙම
යන්න වෙන එකක් නෑනේ...

ලන්ද මැදින් මීදුම
බොද වෙලා...

උදේ කඩාගෙන ආව කහ මල්
වට්ටියක් පුරෝලා තියෙනවා...

උඹත් හිටියනං
පන්සල් යන්න...

උඹ කෝවිල් යනකොට
මමත් ආවා...

ඒත් එක පාරක් වත්
උඹ එක්ක පන්සල් යන්න බැරි වුණානේ...

අපේ බුදු හාමුදුරුවෝ ඉස්සරහා
දණ ගහලා වැදලා...

ජීවිතේ ගැන
කියාදෙන්න තිබුණා උඹටත්...

දැන් ඒවගෙන් වැඩක් නෑ
මීදුම පාර වහගන්න කලින්
ඉක්මනට යන්න ඕනි...

හැන්දෑවට අද නං
පුර හඳ පේන එකක් නෑ වගේ...

වැහි කදුළු වැටුනොත්
මතක අස්සෙ ගුලිවෙලා
මේ පෝයත් ගෙවිලා යයි...

- චතූ

...
...

චතූ

මේ පොළව

මානා පදුරු
අහස දිහාවට
බලාගෙන ම ඉන්නවා...

සුදු පාට
වලාකුළක්
කම්මැලි විදිහට හිනාවෙනවා...

කදු කරයේ
හැම මුල්ලකම
ජීවිතේ ගයන හඩ ඇහෙනවා...

මේ කදු වල පවා
හුස්ම වැටෙනවා...

මේ මගේ පොළොව
මගේ ගම...

මගෙ ජීවිතේ
මගෙ හැමදේම...

මම මේ පරිසරය
විදිනවා...

මට මේ මීදුම
දැනෙනවා...

මම දවසක
මේ බිමේම මැරෙනවා...

මං දන්නවා
උන් මාව මේ පොළොවෙම වළලනවා...

- චතූ

...
...

චතූ

ගඟ

මම දැන් ඉන්නෙ පහළ
ගඟ ගාව

ගිය අවුරුද්දේ
මේ මාසේ අද වගේ දවසක

මෙතැනට ආවා මතකයිද ?

අමතක වෙන්න බෑ
උඹ අමතක කරන්න ඇති
බලෙන්ම

ගඟ තාමත් එහෙමයි
ගලාගෙන යනවා

ඒත්
ගඟ මාව අදුනන්නෙ නෑ වගේ
අහක බලාගෙන ඉන්නවා

ගඟට මතක නැතුව ඇති
තනි මාව

හැමදාම අපි දෙන්නම ආපු නිසා
ගඟට මතක අපි දෙන්නම එකට ඉන්න රූපයක් වෙන්න ඇති

මම ගඟට කතා කළා
අර අපි කෑම දාපු මාළුවන්ටත්
කතා කළා

මම කිව්වා
උඹ ගියා කියලා

ආයෙ නේන්නම
ගඟත් ඇඩුවා

ගඟ අඩනවා දැකලද කොහෙද
අහසත් අඩන්න ගත්තා

වැස්ස කඩා වැටුණා

උඹ මට තෙමෙන්න එපා කියලා ඒ දවස්වල
කිව්ව හැටි මට මතක් වුණා

දැන් මම
මම කැමැත්තෙන්ම තෙමුනා

වැහි බිංදු වැටෙනකොට
මමත් එතැන නොරැදී
ගෙදර ආවා

ආයෙත් මම නොයා ඉන්න හිතන් ඉන්නෙ
ගඟ ළගට

මොකද

එතන උඹ ඉන්නවා වගේ මට දැනෙනවා
එතන ඉවුරක මට අපේ මතක හිත තියලා එන්න ඇත්නම්

- චතූ

...
...

චතූ

එදා

මෙහෙට කිව්වා වගේම වැස්ස
ළගකදී පායන පාටක් නෑ වගේ...

රෑට වහිනකොට හරි සද්දෙ
වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට දෙවෙනි නෑ අකුණු සද්දෙ...

ඒත් මගෙ හිත වැහි වලාකුළු එක්කම
අතීතෙට දුවනවා...

අද පෝය දා
උදේම ගියේ කැලණිතිස්ස ගහ බලන්න
උඹයි මමයි මුණ ගැහුනු තැන
අද වගේම දවසක...

දවල් පන්සල් ගියා
හවස ඉදලම වැස්ස...

මගෙ ජීවිතෙත් වැස්ස වගේ
ඔහේ ගලාගෙන යන සිද්ධි කදුළු වලට හේදෙනවා...
මට උඹව මතක් වෙනවා...
මතකද එදා

මේ වගේම හරි සැරට වැස්ස
උදේ ඉදලම වහිනවා...

වීදුරු දොරෙන් මගේ දිහා බලලා
එදා දවල් උඹ හිනාවුණා...
ඒ අපි අපිව දැක්ක අන්තිම දවස
මට ඒ වෙලාවේ එහෙම හිතුනෙ නෑ...

හවස මම යනකොට
ඉස්සර පුරුදු විදිහට උඹ එදත් හිටියෙ නෑ...

උඹම පටන් ගත්ත සමහර පුරුදු
උඹම අමතක කරනකොට
ඇත්තටම කදුළු එනවා...

වටින දේවල් වටිනවා කියලා
පරිස්සමට තියාගන්න අයට
වටින දේවල් දෙන්න ආසයි...
මම ඒකයි උඹට මගේ
හිත දුන්නේ...

මැරිච්ච පැලේකට වතුර දාලා
තේරුමක් නෑ
මම දැන දැනම කරන්නෙම ඒක...

එහෙටත් වහිනවද?
මේ වගේ...

මම අකුණු වලට බය නෑ
මම බය මතක වලට...

මතක අකුණු වැදිලා
මගෙ හිතත් පිච්චිලා...

ඒක නිවන්න
හැමදාම වගේ මම
කදුළු වතුර හලනවා...

- චතූ

...
...

චතූ

ලියුමක්!

ආදරණීය මිතුරිය වෙත,

මම මගේ හිත කවි කරන්නට
මෙහෙට ආවම හමුවුණේ නුඹ...

ඇත්තමයි හරි ලස්සනයි නුඹෙ
කවි ලියන කවිකාර හදවත...

මම නොදුටු මගෙ සුහද මිතුරිය
ලියන්නට සහ රසවිඳින්නට...

කදිම මනසක් උරුම නුඹ ළග
තිබුණු ආදරණීය හදවත...

මම මෙහෙට ගොඩ වැදුණු දා සිට
නොදුටු මේ ඉම කොහෙද මුල්ලක...

මම තැබූ මගෙ හැම සටහනම
කියෙව්වා නුඹෙ මිතුරු හදවත...

හිතේ දුක වාගේම සතුටත්
අනිත් උන් හා බෙදා ගන්නට...

දිනපොතක් වාගෙමයි මට දැන්
මගේ නිසදැස් ලියන මේ තැන...

මේ ඉසව්වේ හුදෙකලා බව
මැදින් මට මුණගැහුනු නුඹ ළග...

තිබුණු සුහදම මිතුරු හදවත
සුන්දරයි කවිකාර මිතුරිය...

මට පෙන්වු නව කවි සයුර මැද
මම මගේ හිත් නැව පදවගෙන...

සිතළු දිග හරිමින් තුටින් යමි
අපූරුයි ඔබ කියපු ඒ තැන...

කවිකාර උන් ගොඩවෙනා නිති
සෙනෙහෙබර හිත් අකුරු වෙන නිති...

හිතළු ඉම එක සොඳුරු මුල්ලක්
මටත් ලැබුණා කදුළු හෙම නැති...

නුඹට තුති පුදනෙමි මිතුරි නිති
සෙනෙහෙබර නුඹ කවියක් ම රිසි...

වදන් අතරේ හැමදාම අපි
මෙහෙම හමුවෙමු වචන තුළ නිති...

මම,
චතූ

...
...

චතූ

කතාවක්

මේ ටිකේම කලබලේට
හිතන්නවත් බැරි වුණානෙ
මම ආසම ලස්සන එක
පොතක් මටත් හම්බුණානෙ...

මගෙ දිනපොත මේ අහපන්
පුදුම කතාවක් තියෙන්නෙ
එකමත් එක කාලෙක මම
සිටුවරයෙක් ගැන කියන්නෙ...

මොන්ත ක්‍රිස්තෝ ඔහු පුදුමයි
දෛවය ඔහු පෙරළද්දී
හරි හයියට නැගිටින්නට
යකඩ හිතක් ළග තිබුණී...

තරුණ වියේ සුන්දර ඔහු
ආලය කළ මර්සිදී
අහිමි වුණේ ඉරිසියාව
ඇති උන් හින්දයි නිතී...

වැටෙන තරම් කොතරම් ලොව
නතර නොවී නැගිටිනවා
පුදුම මොන්ත ක්‍රිස්තෝ ළග
මගෙ හදවත නැවතෙනවා...

ජීවිතයේ තමන් පවා
තමන්ට අහිමිව ගියා
පුදුම තරම් හයිය හිතට
බොහෝ ඉසුරු හිමිවුණා...

හෙට දිනයේ මගෙ හිස මත
ලෝකය වැටුණත් කඩා
ධෛර්යයෙන් මුහුණ දෙන්න
ඒ කතාව ඇති වුණා...

- චතූ

...
...

චතූ

අප්පච්චි

හැමදාම මේ ඉරිඟු
යාය මැද රජ වුණා...

කුසගින්න නිවන්නට
මහපොළොව දිය කරා...

ආදරේ ගගක් වී
පපුව තුළ හිර වුණා...

අප්පච්චි උඹ මගේ
එකම ලෝකය වුණා...

ආදරෙයි දෝ කියා
මම උඹෙන් ඇහුවෙ නෑ...

ආදරෙයි කියා මට
කිසිදිනක කිව්වෙ නෑ...

අප්‍රකාශිත එකම
උතුම් පෙම මැරුණෙ නෑ...

කවි නොකළ උඹේ පෙම
කිසි දිනෙක හිදුනෙ නෑ...

මේ බිමේ පස් සුවඳ
උඹ ළගින් ආවාම...

කට්ට අවුවත් උඹට
පෙම් කරා හැමදාම...

ඉරිඟු පැළ ළපටි පොඩිඋන්
වගේ රැකගත්ත...

ඉරිඟු ගස් මුල මගේ
අප්පච්චි බුදු වෙන්න...

- චතූ

...
...

චතූ

ලියන්නෙ මොනවද

මොනවා ලියන්නද
ලියන ලියන තැන
කදුළු අකුරු කරන්න
ඇත්තටම කවියො කැමතිද...

කියවන කියවන තැන
කදුළු දකින්න
කදුළු බෙදාගන්න
කියවන උන් කැමතිද...

පෑනෙන් එන්නෙ
තීන්ත වෙනුවට
කදුළු නං
කරන්නෙ මොකක්ද...

ලියන්නෙ කොලයක නොවී
මගෙ හිත මත නම්
කාටවත් නොපෙනෙන්න
මකන්නෙ කොහොමද...

මටත් හැකි නම්
කොලයක් අරන්
පෑනක් අරන්
හිනා අකුරු කරන්න...

උඹ මට හමු නොවුණා නම්
අපි වෙන් නොවුණා නම්
මටත් තිබුණා
ලස්සනට ලියන්න...

මම තවමත් හොයනවා
උඹ අරන්
විසි කරලා ගිය
මගෙ හිත...

- චතූ

...
...

චතූ

කුරුදු ඔය

කුරුදු ඔය
පුරුදු වතුර අරගෙන
හැමදාම වැටෙනවා...

කදුකරයේ හීතලට
ඔය වතුරත්
වෙව්ලනවා...

මේ හැම තැනම
සොබාදහම
ජීවත් වෙනවා...

ආදරණීය ගස් වැල්
හරි සෙනෙහසින්
මේ වතුරට තුරුළු වෙනවා...

හැම ගිම්හානෙකම
නොහිදෙන වතුර
පොළොවට ප්‍රේම කරනවා...

සමනලයෙක් වෙලා
මේ ඔයබඩ
ඈතට පියාඹන්න ඇත්නම්...

මේ ගහක
කූඩුවක් හදාන
කුරුල්ලෙක් වෙලා නවතින්න ඇත්නම්...

ආදරණීය අහසේ
වලාකුළක් වෙලා
ඔය වතුරට හිනාවෙන්න ඇත්නම්...

ඈත පෙරදිග
දේදුන්නක් දිගේ
පාට පාට සිහින සොයා දිව යන්න ඇත්නම්...

මේ සීතල ඔය වතුරෙ
මාළුවෙක් වෙලා
සදහටම නවතින්න ඇත්නම්...

මම මගේ හීන දැකපු
මගේ හීන කියපු
පාරාදීසය
මගේ ලස්සන නවාතැන...

- චතූ

...
...

චතූ

වෙනස්

දකින දේට ඇතුලෙන්
පෙනෙන දේ වෙනස්
ඒ දේ හොයාගෙන ගිය හැමෝම
දුටුව දේත් වෙනස්...

එහෙම බලපු ඔක්කොම දිහා
සමාජයේ අනිත් උන්
බලන විදිහත් වෙනස්...

- චතූ

...
...

චතූ

ඉස්තිරික්කය

2020 සැප්තැම්බර් 02 බදාදා
ප.ව. 6.00

අකමැතිම වැඩක්
රෙදි මදින එක...

දාඩිය පෙරාගෙන
කකුල් රිදෙනකං හිටගෙන...

එපා වෙන වැඩක්...

වෙනසක් කරන්න හිතලා
නිර්මාණශීලී ඉස්තිරික්කයක්
ගෙනත්...

හත්ඉලවුවයි
ඒක ඊට එහා

උඹෙ මූණ දැක්කම
රෙද්දෙ තියන්නත් බයයි
තියනකංද කොහෙද ඔරෝගෙන ඉන්නෙ
පුච්චලා දාන්න!

ඔන්න ඔහේ පොඩිවෙච්චි
ඇඳුම ම ඇඳගෙන යනවා...
කාටවත් මොකද
මං අඳින්නෙ මට ඕනි විදිහට...

- චතූ

...
...

චතූ

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 02 වැනි දා
පෙ.ව.10.00

හීතල දුරුත්තට
තව තුන් මාසයක් විතර ඇති...

කාලයක් ගෙවුණාම
උඹත් අමතක වෙලා යයි...

හැමදාම එකතැන රැදිලා
අඬ අඬා ඉඳලා මිනිස්සුන්ට පුරුදු නෑ...

කාලය අරන් එන
ලස්සන කතාවක මමත් කොටසක් වෙයි...

ඒ නැතත්
වෙනස්වෙන ලෝකෙ මටත් හිනා මුල්ලක් ලැබෙයි...

කොහොම වෙතත්
ජීවත්වෙන ටික කාලෙට
ඇලීම් බැඳීම් අඩු වෙන තරමට හොඳයි...

මම බලා ඉන්නවා
ජීවිතේ දිහා...

- චතූ

...
...

චතූ

දින පොතෙන්

2020 සැප්තැම්බර් මස 02 වෙනිදා බදාදා
ප.ව.9.00

පැලක් උඩ ජීවත් වෙන්න බැරි වුණාට
හේන් ගොවියෙක්ගෙ ජීවිතේ ගෙවෙන්නෙම
ගහක් උඩ හදපු පැලක් උඩ...

අප්පච්චි
උඹත් එහෙමයි...

දන්නවද අප්පච්චි
උඹට මහන්සියි කියලා
ඇලවෙලා ඉදපු
එකම දවසක් වත් මම දැකලා නෑ...

ගිනියමට ගිනිගන්න
කරවෙච්ච පොළොවෙ
ඉසුරු හෙව්ව උඹේ හිතේ
නපුරුකමක් තිබුණෙම නෑ...

වල් ඌරෙක් ඉරිගු යායම කෑවත්
උඹ ඌරට බැන්නෙත් නෑ
අපිව බඩගින්නෙ තිබ්බෙත් නෑ
ඒ හයිය අත්වල කරගැට
අපිව මේ ජීවිතේට හරි තදට බැදලා තිබ්බා...

හිත රිදුන වෙලාවල් තිබුණා
ඒත් ඒ කිසිම මොහොතක
උඹ
අපිට දුකක් දැනෙන්න දුන්නෙ නෑ...

උඹේ ඔය හයිය හිතට
මද්දහනෙ අහස පවා හරි ආදරෙයිලු
ඒ හින්දම
නොවරදවා හරි කාලෙට වැහි ගේන්න අහසත් වගබලා ගත්තා...

මොන නැති බැරිකම තිබුණත්
අනුන්ට අත නොපාන
අමුතු ආඩම්බරකමක් උඹට
තිබුණා...

ඒ යකඩ හයිය අත් වලට
කදුළු දැනෙන්නැති ආඩම්බර හිතට
නොපෙනෙන කොණක උඹ හංගපු සෙනෙහසට
මං හරි ලෝබයි අප්පච්චි...

මම දන්නවා
උඹේ පණ ගැහෙනකං
උඹේ පුංචි උන් වෙච්චි අපි
ආරක්ෂිතයි...

උඹ නැතිදාකත්
කෙලින් හිටගන්න
මේ පිච්චෙන ගිනියම මැද්දෙ
උඹ අපිට හුරු කළා අප්පච්චි...

- චතූ

...
...

චතූ

මේ මොහොතේ

අහස් ගඟ තරු පාරු නතර කළ
නිමේෂෙක...
බලා සිටි සදු ද යළි ගොඩ වැදුණු
ඇසිල්ලක...
නිශාවට මං කියන බකමූණු
රාවයක...
සොඳුරු රෑ ගීතයම දැක ගතිමි
ඇසිල්ලක...

- චතූ

...
...

චතූ

දෙවෙන්දොරා වෙත

සකුරා පිපුණු
පරණ මාවත
බලා සිටී
දෙවෙන්දොරා නුඹ එනතුරු...

අහස තරමට
බලාපොරොත්තු
හිත පුරාවට
ගොඩගැහුවෙ නුඹමයි මිතුරු...

අතරමං වුණ
සමනලියකට
අත්වැලක් නොවී
පලා ගියේ ඇයි මෙලෙස දී කදුළු...

- චතූ

...
...

චතූ

තවත් චිත්‍රයක්

රෑ අහස ලස්සනම කලු පාට
වූවාම...
පුර පෝය දා රෑට හඳ අදින්නම
ඕන...
කතරක පවා හරි මග පෙන්වනා
අරුම...
තරු ඇන්දොතින් ගොඩක් ලස්සනයි රෑ ගගන...

ගගනතට යටින් මම මහ පොළොව
ඇන්දාට...
හිතන්නට එපා නුඹ ළගයි කියලා
ගගන...
ඇස් බැන්දුමක් තමයි මේ මිනිස්
ලෝකේම...
තනිව එන අපි යළිත් යා යුතුයි
තනියෙන් ම...

පුර පෝය දා ටීච අදින්නට
කිව්වාට...
මම අදින් නෑ ඒකෙ පන්සලට
යන මාව...
කවුද කවියෙක් දුවට කිව්ව වාගේ
තමයි...
චිත්‍රයේ අදින්නට මටත් බෑ
අම්මාව...

වෙරළ ළග හැන්දෑව ලස්සනට
ඇන්දාට...
චිත්‍රයේ ඔවුන් දෙදෙනා ඇන්දෙ නෑ
උන්ව...
ළමයි සොයනා නිසා ඉතිං මගෙ
අම්මාව...
මමත් තාත්තයි මායි අදින් නෑ
රෑ ගාව...

- චතූ

...
...

චතූ

මතක

හරි රස්නෙට රැස් පොළොවට අරන් එන
ඉර එළියට ඇස් රිද්දන සුළං
මැද
මද්දහනක මම නොදනිමි ඇයිද
අද
මම තවමත් නතර වුණේ මතක මැද...

මතකය මරා වැලලූ පසුවත්
දිනෙක
තවමත් මා හඹා එන්නේ නුඹ
ඇයිද
අහිමිව ගියපු දේවල් ලොව කොතරම් ද
එක නැවතුමක් යනු අවසානය වේද...

නිතරම හිතට සුසුමක් බර
වූවාට
නොලැබෙන දේට කුමටද තැවිලා මෙලෙස
දැන් නම් මට නුඹ ඕනෑ නැහැ
නේද
මතකෙට එන්නෙ පුරුද්දකට වාගේද...

හිත හරි අමුතු අරුමැති ජීවියෙක් වැනි
ඕනෑ නැති වුවත් නුඹ ගැන අසයි නිති
කොහොමත් මතක මැරුමට මට බලෙන් බැරී
කාලෙත් එක්ක නුඹෙ මතකෙත් යාවි මැකී...

ඉර අවරට ගොස් සද නැගෙනා
යාමේ
තරු කුමරියකට හිරු පෙම් බැන්දානේ
එනමුත් ඉර යා යුතුමයි සද
එයිනේ
තරු පායන්නෙ මහ රෑටයි දුර ගගනේ...

විසිරෙන හිතුවිල්ල එක තැනකට ගෙන්වා
මා ළග තබා ගන්නට මම වෙහෙසෙනවා
හිත මගෙ ළගින් තබලා දම්වැල් දමලා
හිර කළ යුතුයි කුමටද නුඹ ගැන හිතලා...

තවත් ඉතින් මට කදුලක්
නැහැ සබද
නැවත නොආ එක යහපත් හැමෝටම
මෙහෙම ඉවර වෙන්නට මේ කතාවම
සසරේ පුරුද්දට එන්නැති පතාගෙන...

- චතූ

...
...

චතූ

නුඹ වෙත,

මෙහෙට නම් දිගටම වැස්ස
උදේ හවස වෙනසක් නෑ
රෑට පවා වහිනවා
හරි සැරට...

එහෙට කොහොමද
මේ වගේම වැස්සද
මිණි පුර ගංගාවල
වතුර ගොඩ ගලනවද...

පහළ ගග
ගේ ගාවටම
මේ පාරත්
වතුර අරන් ආවද...

දැන් පතල් යන්න
බෑ නේද
ගග පිටාර ගලන කොට
කොහොම මැණික් හොයන්නද...

කොහොමටත්
මම ඒ දවස්වලත් කිව්වෙ
නුඹ නොයනව නම් හොඳයි
ඔය අවදානම් වැඩ වලට...

කියන දෙයක්
නෑහුවට ඉතිං
ඔය හිතුවක්කාරකමටත්
හරි ආදරෙයි මම...

කොහොම උනත්
මේ වහින කාලෙට
ජීවිතේට ගොඩක්
ප්‍රශ්න එයි නේද...

මොනවා කරන්නද
මටත් හරි දුකයි
මුරණ්ඩු උනාට
හරි අහිංසකයි නුඹ මට...

තවමත් පුරුදු තැන
ඉස්සර වගේ
වැඩ කරන්න
දැනුත් එනවද...

ආයෙත් පරණ
පුරුදු ඉතිං
නැවතුණු තැනින්
පටන් අරන්ද...

ඔය මුරණ්ඩු උඹේ
කන්දෙකෙන් ගලවගත්ත
රස්තියාදුකාර
කරාඹු දෙක පවා...

තවමත් තියෙනවා
මං ළග පරිස්සමට
හමුවුණොතින් ආයෙ
දෙන්නත් පුළුවන්...

මොන දේ වුණත්
හොඳින් ජීවත් වෙන්න
ඒකෙන් මට නෙවෙයි
උඹටමයි හොඳ...

උත්සාහ කරන්න
ජීවිතේ ලස්සනට
පිළිවෙලක් කරගන්න
දැන් වත් ටිකක්...

මම හිත හදාගන්නම්
උඹ ගැන හිතලා
ඉස්සර වගේම
හරි ආදරෙයි තාමත්...

- චතූ

...
...

චතූ

ආයෙමත් ලියන්න...

පණිවිඩයක් තියන්න
මට බලන්න...

ආයෙ හමු නොවුණට
කමක් නෑ...

උඹ හොඳින් දැයි
කියන්න...

එක පාරක්
මුණ ගැහෙන්න...

අපිට බැරිද
මේ කතාව ආයෙත් ලියන්න...

- චතූ

...
...

චතූ

මගේ ප්‍රේමය

ගොඩක් දුර නෑවිත්
නතර වෙන්නම් මමත්
මතක අහසෙන් මැකූ
මම තවත් එක සදක්...

ඔය හිතෙන් තව දුරක්
ඈත් කෙරුවට මමත්
ළං වුණා තව තවත්
හදවතින් යළි යළිත්...

- චතූ

...
...

චතූ

මගෙ හීන

මැද මිදුලෙ වාඩිවෙලා
රෑ පුර හඳ දිහා බලාගෙන
මම ඉන්නවා
දැන් රෑ මැදියම...

බොරදම් කැටයම් අතරින්
හඳ එළිය හරි ලස්සනට
රටා මවනවා
වැලි මිදුලේ...

කලු පාට
මේසෙ කකුලකට
හද එළිය රේඛාවක් වැටිලා
හරියට සුදු පාට සර්පයෙක් වගේ...

හීතල හුළගක්
මල් සුවඳකුත් අරන්
නාස් පුඩුවල ඇතිල්ලෙනවා
හුරතලේට වගේ...

මොන මල් සුවඳ ද ඒ
මගෙ හිත මගෙන් අහනවා
මං හිතන්නේ සේපාලිකා මල්
ඔව් ඔව් ඒ සේපාලිකා මල් තමයි
මගෙ හිතත් මට එකග වෙනවා...

රැහැයියෙක්
පුළුවන් උපරිම හයියෙන්
කෑගහනවා
එකපාරටම ඒ සද්දෙ නැවතුණා...
පුපුරලා යන්න ඇති
මගෙ හිත කියනවා...

ඔව් වෙන්න ඇති
හරියට අපේ ජීවිතේ වගේ
කෑගහලා කෑගහලා...
එකපාරටම පුපුරලා යනවා...

රෑ හරි ලස්සනයි
හිත නිවෙනවා
මගෙ හිතත්
මැද මිදුලෙ බීරළු අතරෙ එල්ලිලා
කල්පනා මාලිගාවක් හදනවා...

- චතූ

...
...

චතූ

ආගන්තුක දෙනෙතක් ළග

කරුවල අරන් ගගනත ඉම
නවතින්න...
රෑ පුර හඳට මයෙ හිත ගියෙ
නෑ ඔන්න...
එනමුත් නිතර උඹෙ මුව සිහියට
එන්න...
මෙතරම් වද දෙන්නෙ ඇයි හිත තුළ දැන්ම...

ප්‍රේමය කවි නොකර ඉන්නට
මම ම මට...
පොරොන්දු වී ඇත බැහැ
නවතින්න අද...
තරු ඇස් වලින් නිතරම මට
ඉගි කරන...
උඹ ළග නතර වෙන්නේ නෑ
මගේ හිත...

මේ මල් පාර ළග අද
උදයෙත් හිටියා...
නාදුනනා ඔය ඇස් මට
කතා කළා...
කොතරම් කරත් ඇවිටිලි දෙනෙතේ
තවරා...
නවතින්නට හිතක් නෑ මගෙ හිත දැන් මැරිලා...

වසන්තයට ආ කොවුලෙක්
වගේ උඹ...
හිත මත ගයනවා ගීයක්
ඉගි කරන...
හැම දවසකම මගෙ නෙත් ළග
නතර වෙන...
නුඹට දෙන්න මට දැන් නැහැ
මගේ හිත...

උඹ ලස්සනයි තරු ඇස් හිත
පුරා රැඳෙයි...
උඹ ළග නවතින්න මගෙ හිත
නිතර සිතයි...
මම විදවාපු ප්‍රේමය මට
තව රිද්දයි...
ඒ හින්දාම යළි ප්‍රේමය අවැසි
නොවෙයි...

- චතූ

...
...

චතූ

ජීවිතේ

නිසල හිතුවිලි
කදුළු නෙත් ළග
හොරෙන් නැවතී
ලතැවුණාවේ...

හැගුම් පාරන
පැතුම් කවියක
තවත් පදයක්
ලියැවුණා වේ...

රිදෙන රිද්දන
නපුරු මතකය
කාලයේ ඉම
බොද වුණාවේ...

නෙතින් හිනැහෙන
සුන්දරම එක
හිතක් ළග මම
නැවතුණාවේ...

- චතූ

...
...

චතූ

අද

2020 සැප්තැම්බර් මස 07 වෙනි දා

රෑ ගොම්මනට
රෑ බදුල්ලෙක්
පාට පුරවනවා...

මේ තුරු ලිය ගොමු මණ්ඩපයේ
එක බංකුවක
මම හිතින් වාඩි වෙලා ඉන්නවා...

වෙන කවුරුත් නෑ
මම විතරයි
තනියම...

නම නොදන්න
මොකක් දෝ මලක
මිහිරි සුවඳක්
සුළගත් එක්ක මේ පැත්තට එනවා...

මේ ලිය ගොමු මැද
සිමෙන්ති බංකු අතරේ
කොයි තරම් නම්
ආදර කතා තියෙන්නට ඇතිද...

මෙහෙම හමුවෙලා
ජීවිතේ පුරා එකට ඉන්න
ගිවිස ගත්ත උන්
කොයි තරම් ඉන්න ඇතිද...

ජීවිතේ කවියක්
අපි ම ලියන
අපිම කියවන...

හරි හීනියට
පළගැටියෙක්
කෑ ගහනවා...

මේ පුංචි මාවත් දිගේ
ලියැවුණු දහස් ගණන් කතන්දර
රෑ පුරහද
ගස් මුදුන් වලට
හොර හොරෙන් කියනවා...

සරසවියෙ හැම බිම් අගලකම
වසන්තය ජීවත් වෙනවා
හදවත ගැහෙනවා දැනෙනවා...

හරියට හීනෙන් ගෑ
සුවඳක් වගේ
අමුතු පින්බර ලස්සනක්
මේ මීදුම ඇතුලෙන්
හිතට ගොඩ වෙනවා...

අනාගතය හොයාගෙන
ආපු ගොඩක් උන්
ආශිර්වාද ලබපු
මේ බිමේ හැම ඉමකම
පුදුම ළෙංගතුකමක් ලියවිලා
තියෙනවා...

- චතූ

...
...

චතූ

ඔබ ගියාම

ඔබ ගියාම දුක තියලා
නිදි වරා තනිව හඩලා
නෙත් ඉමේ කදුළු කැට මුහුදක් තරමට
හලන්න ඇති මම හිත පුරවා...

නුඹ තමයි ප්‍රථම කවියත් මට
නුඹ තමයි එකම කවියත් මට
ආදරයේ කවියේ හැම පදයම මට
නුඹ විතරයි හැමදාටම...

මම බලා සිටින්නම් නිතරම
සුළි කුණාටුවෙන් විසිරුණු පෙම
යළි එකතු කරන්නට නොහැකි වුණත් මම
රැදී සිටිනවා එතැනම...

නුඹ ගැනම සිතන්නම් දිවියම
මේ පුරාවතේ හැම පිටුවම
හරි ආදරයෙන් නිරතුරු රැක ගන්නම්
අපේ මතක පිරි දිනපොත...

- චතූ

...
...

චතූ

හිනාවෙලා ඉමු

මැලවුණු හිතක අයිනක වුව
දන්නවද
නොමැරුණු මල් කැකුළු ඇත නොපෙනෙන කොණක
රිදෙනා මතක අහසේ දුර
ඈතකට
යළි පියඹන්න හැකි සතුටින්
අනන්තෙට...

නොලැබෙන දේ කොතරම් තිබුණත්
මෙලොවේ
කදුලින් දිවිය ගෙවුමට අවැසිද
මිතුරේ
නොලැබුණු දේ ගැන සිතමින්
නිරන්තරේ
හඩා වැටෙන්නට අවැසිම නැත
දිවියේ...

සිනහව උකස් කල මුත් එක එකා
ළග
සින්නක්කර නොදෙනු සිනහව
කිසිදාක
ජීවිතයේ කටුක දුක් වේදනා
මැද
පරසතු මලක් විය හැකි වෙයි
නුඹට හෙට...

දන්නවාද මේ ගහ කොළ යට
රෑට
සුරංගනාවියො එනවලු
හැමදාම
නොදුටු නොසිතූ ලෝකය
සොඳුරුයි තවම
ඉතින් හිනාවෙමු අපි හැරදා
කදුල...

- චතූ

...
...

චතූ

සොයා යන මග

හුදෙකලා විරාමයක
හිත නැවතුණි...

අවසන් නොකළ කවියක්
යළිදු දුටුවෙමි...

සිනහව අකුරු කළ
අකුරු අතරම...

අපේ කවියත්
ලියා තැබුවෙමි...

මම කවියෙකු නොවීමි
මම රචකයෙකු නොවීමි...

මා ලියූ අකුරු පුරාවට
සිටියේ ඔබ පමණි...

හුදෙක්ම
මම ඔබ ගැන සටහන් තැබූ
මියගිය හදවතක් මි...

ප්‍රේමය මියැදි කල
කවිකමක් උපදීද?

මේ එකී අකුරු සියල්ල
කවියක් ද?

නොහඩා ඉවසපන් හදවත
මියැදි කවිකම සොයා යන්නෙමි මම...

- චතූ

...
...

චතූ

හිතුවිලි

නොනිමි හිතුවිලි
වැස්සකට පසු
මහා හුළගක් ඇවිල්ලා...

සිහින හසරැල්
අරං ඈතට
යාවි හිත් අහසට හොරා...

සිහින සිත්තම්
අකුරු කරනා
රැයක සිටිනා විට මෙමා...

අහම්බෙන් මම
දැක ගතිමි ඒ
හැංගිලා ගිය දුක පවා...

- චතූ

...
...

චතූ

කවිය

පත් ඉරුව
පන්හිඳට
ආදරෙන් ළං කරන්

කුළුඳුලේ මගෙ කවිය
ලියන්නට
සැරසුණත්

එකිනෙකට නොපෑහෙන
මුරණ්ඩු ම පද දෙපළ
කොලය මත ඔච්චමට
සිනාසුණි

කවිය
නුඹත් හරියට

දෙතොල හසරැල්
පතද්දී...

නෙතු දෑල තෙමා
හැර යන්න හේතුවක්
නොකියාම ගිය

මගේ බිදුණු
නොපෑහෙන
ආදරේ වගේමයි...

...
...

චතූ

මගෙ මතක හිත

ගනදුර මැදින් හෙමි හෙමිහිට හිතට ඇවිත්
මගෙ හිතු මනාපෙට හිත ළග නතර වුණත්
මතකය මැදින් නුඹ සිහිවන විටදි ඉතිං
බැස යන්නට හිතයි මේ දිවි රග මඩලෙන්...

හිතක් රිදෙන විට ඔසුවෙන් පලක් නැතී
නෙතේ නොවෙයි නුඹ ඉන්නේ හිතෙයි නිතී
මතකය ඉවත ලෑමට මට හයිය නැතී
යළි යළි රිදෙන පෑරෙන හිත හඩයි නිතී...

දිනෙන් දිනම නෙක වැඩ ගොනු අතර තියා
මිතුරු මිතුරියන් මැද මම හිත හිර කෙරුවා
එනමුත් තනිවෙනා සුළු මොහොතකට පවා
නුඹ මගෙ හිත ඇතුලෙ ගිනි අවුලා තැබුවා...

අපි හමු නොවී හිටියා නම්
පෙරදාක
හැමදාමත් හිනැහෙනවා
මම තාම
නුඹ මා හැර ගොසින් කොතරම් කල් වුවද
තවමත් මතක මැද හිත රිදවන්නේ ඇයිද...

දිනිසුරු නැගෙන පෙරඹර ගී ගයන කොට
අපි හැමදාම මුණගැසුණා
අමතකද
ජීවිත පොතේ ප්‍රේමය ගැන
සටහනට
නුඹ විතරමයි මට උන්නේ
හැමදාම...

- චතූ

...
...

චතූ

නුඹ අත්හැර දැමු ඇය

හඩද්දි මුළු ලෝකයම අහිමිවෙලා කෙනෙක්
තව තැනක හිනා පිරුණු ලස්සන කතාවක්...

ඇය නෙවෙයි නුඹයි හැර ගියේ ඇයවත්...

රිදෙද්දි සීරුවට තිබුණු ලස්සන හිතත්
මළ පොතක්
අනිවාරතේ උඹ ලියපු එළිසමය නැති කවියක්...

ඇය නෙවෙයි නුඹයි රිද්දුවේ ඇයවත්...

අලවද්දි ඇය ඇගේ බිදුණු හිත අදටත්
රිදෙන මතක ඇගේ ඇස් ළග තියෙන මොහොතෙම
උඹ ලස්සනට කෑවා මගුලක්...

ඇය නෙවෙයි නුඹයි රැවටුවේ ආලෙත්...

නැගිටිද්දි ඇය වැටුණු තැනින් තනියෙන්
රිදෙන හිත හැංගුවා ඇය ඇගේ නෙත් කැල්මෙන්...

ඇය නෙවෙයි නුඹයි පැරදුණේ ජීවිතෙන්...


චතූ

...
...

චතූ

ජීවිතය

ජීවිතය කියන්නෙම ඉහළ ගිය හුස්මක්!

(උපුටා ගැනීමකි)

...
...

චතූ

මම

නොදකිනා හීන මැද
ජීවිතය දුටුවාම
හඩන නෙතගට සිනහ මැවෙනවා...

වසන්තය වුණත් ඒ
ගිම්හානයට ඉතිං
ඉඩදීලා නවතින්න සිතනවා...

කුමුදු මල් පෙත්තකට
පිණි පොදක් වැටුනාම
ඉර එළිය ඒ පින්න මකනවා...

හීනයෙන් හීනියට
ජීවිතය සොයා ගිය
මාවතේ මම බලා ඉන්නවා...

- චතූ

...
...

චතූ

මගේ චිත්‍රය

-රාධා ක්‍රිෂ්ණා-

" හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා...
සුදු පෙණ කැටි බලන්න රාධා...

සුළග හමයි සීතල සාදා
සීතල ගිනි ගනියි ද ක්‍රිෂ්ණා...

සිනා රැළි නගා උතුරන
ඔය හදවත් නීල ජලාශේ
පීනන මේ ස්වර්ණ හංසයෝ...

අකීකරු ද මෙතරම් රාධා...

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ඉන්නම් ක්‍රිෂ්ණා...

මල් පෙති පොඩි වී ඉකිලන
මේ හෝපළු යහන් තලාවේ
සද දිය මිණි මෙවුලට වැටිලා...

දෑස නිලංකාරයි රාධා...

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..."

...
...

චතූ

මගේ කවියක් නොව මිහිරි ගීතයකින් උපුටා ගත් කොටසකි මේ.

දෙදරා ගිය ආදරයේ බැමි
පවුරු...

රෝස මලක සගවාගෙන යති
බඹරු...

හඩන්න මට ඉඩ දුන්නට නෙත්
කවුළු...

කදුළු බින්දු ඇයි මට විතරක්
නපුරු...

( ලස්සන වචන ටිකක් නිසා හැමෝටම බලන්න ලියා තැබුවෙමි)

...
...

චතූ

මගෙ ආදරේ

ප්‍රේමය සොයා ගිය හැම මොහොතකම වගේ...
ජීවිත පොතේ මට හිමි නැති
පිටුව කොණේ...
හිතවත් සිතුවිල්ල නවතා
හැන්දෑවේ...
මගෙ කළුවර ජීවිතයට යමි
ආයේ...

සීතල පින්න කවි කියනා
ගිම්හානේ...
නුඹ ළග විතරමයි ජීවිතයක්
තිබුණේ...
අහිමි නමුත් වස්සානය
හැන්දෑවේ...
මතකය එක්ක නැවතෙමි මේ
මල් පාරේ...

- චතූ

...
...

චතූ

මගෙ මිතුරි..............නුඹට ලියමි

ආදරණීය මිතුරිය,

හමුවීම් වෙන්වීම් බහුල
ජීවිතේ හරි පුදුමයි කියලා මට හිතෙනවා...

මේ නිසදැස් ඉමේදිම
මට හමුවුණු නුඹත් පුදුමයි...

වචන අතරෙ අකුරු අතරෙ
නිතර දෙවේලෙ හසරැල් පෑව කාලයත්
හරි පුදුමයි...

මේ නිසදැස් ඉමේ හමුවෙලා
අපි අපිව දැන හැඳින ගත් අයුරත්
හරි පුදුමයි...

මට තේරෙන්නේ නෑ
මට තේරුම් ගන්න බෑ

ඇස් තෙමන
හිත පාරන
කදුළු කතාවක් නුඹට තිබුණා...

මට නුඹ ගැන පුදුමයි...

නොහිතන මොහොතක ඇවිත්
නොහිතන මොහොතක
නොකියාම ගිහින්...

ජීවිතේ හරි බර ගොඩක්
ඒ පුංචි වයසට එකතු කරගෙන
අමාරුවෙන් හිනාවණු
මගෙ මිතුරිය...

කදුළු මැදින්
නැගිටින්න හයිය හොයපු
මගෙ මිතුරිය...

කාලෙත් එක්ක
ජීවිතේ ගොඩක් වෙනස් වෙයි...

මම බලා ඉන්නවා

මම,
චතු අක්කා

...
...

චතූ

( උපුටා ගැනීමකි )

මිනිස්සු එනව
නිකං නෙවේ
උස්සගන්න බැරි තරමට
හීනත් අරගෙන

ඒ එන මිනිස්සු
උඹ මහ ඉහලින්
සක් පිඹල බෙර ගහල
පිලිගන්නව
ජීවිතේ උඩම තැනත් දීල

ඊට පස්සෙ හා හා පුරා
උඹ ආස විදිය කියල
උඹ අකමැති දේවල් කියල
උඹේ දුර්වලකං කියල
උඹ ඌට උඹව
උපරිමයෙන් අඳුන්වල දෙනව

උන් හෙමිහිට
හොරෙං හංගගෙන
පිලිවෙලකට රටාවට
පිටපත ලියනව උඹ ගැන
උන් රඟපාන්න ඕනි විදිය ගැන

කාලයක් හරි ලස්සනට
සංවරව හැදියාවකින් යුතුව
උන් උඹේ ලෝකෙ උන්ගෙ කරගෙන
උඹ උන්ට හැමදේම සින්නක්කර
ලියල දෙන තරමටම
උන් රඟපානව
සම්මානයක් දෙන්න පුළුවන්
තරමට - හෙමීට

ඉතිං අන්තිමට
උං ගිහිං සීරුවට
උඹට ඉතුරුයි පන ටිකක්
ඇතුලතින් මියයන
උඹට ඇත මතකයන්
තැනින් තැන
ඉරි ඇඳුන

මිනිස්සු ආ පලියට
උන් රස කර කතා කී පලියට
වචන වලින් පොරොන්දු
කඳු පිටිං උස්සගෙන ආ පලියට
උඹ විස්වාස කරනවද
උංව ජීවිතේ දෙන්න පුළුවන්
තරමට

ටිකක් උඹ දුරට පලයං
හිනාවත් අරං පලයං
බලං ඉඳපං සද්ද නොකරම
උන් කවුරුද මොකට ආවද

නොබෝ දිනකින්
හරි ඉක්මනට
නියම සතා එනව එලියට
ඊට පස්සෙ බලාපං
වසන්න පුළුවන් ද
ඌ එක්කල උඹට

(උපුටා ගැනීමකි)

...
...

චතූ

සිතුවම( උපුටා ගැනීමක්)

නමක් දන්නැති
රුවක් ඇන්දම
මමත් තනියම
සිනාසෙනවා...

පාට දුන්නම
තුඩින් ලස්සන
ඔහුත් රහසින්
සිනාසෙනවා...

සිතක් පාරපු
ආදරේ ළග
තෙලි තුඩත් මට
සිනාසෙනවා...

පැතූ සිහිනය
මිටින් අල්ලා
මමත් තනියම
යන්න යනවා...

...
...

චතූ

බිළිඳු (උපුටා ගැනීමක්)

මහා ගල් කැට පීරලා මම
දුවේ උඹ මගෙ අතට ගත්තා
ගැහෙනකොට උඹ මගේ අත් උඩ
පපුව මැද්දේ හංගගත්තා...

මහ හයියෙන් හුස්ම වැටෙනවා
උඹේ ලාමක පපුවේ ඇහුණා
ගිලන් රථයට වැඩිය හයියෙන්
උඹව මම අරගෙනම දිව්වා...

පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
මාත් එක්කල කතා කෙරුවා
නුවර පොළොවත් මේ තරම් ඇයි
නපුරු කියලා මගෙන් ඇහුවා...

අම්මා අප්පච්චී ළගින් උඹ
දුවේ හෙමිහිට ඉතිං තිව්වා
නිල ඇඳුම යට තාත්තෙක් තව
කඳුළු එක්කම කඩන් වැටුණා...

...
...

චතූ

බිනර මහේ මැද

තිමිර පට අරන්
සීතල ඇවිදින්
බිනර මහේ මැද
පුරවයි සුසුමින්...

උඹේ මතක පොත
අරගෙන දෑතින්
සිනා සෙන්න මට
පුළුවන් කරපන්...

මේ මාසේ මට
ගොඩක් විශේෂයි
බිනර මහේ එක
දවසක් මතකයි...

උඹට මතක නම්
කෙටි පණිවුඩයක්
විතරක් එවපන්
මට එය සෑහෙයි...

- චතූ

...
...

චතූ

නුඹට

ගිම්හානේ මියගිය පසු
එපා යලිත් ඇවිත් යන්න
වසන්තයේ එක දවසක
ඕනෑ නැහැ නුඹ දකින්න...

නුබම මැරූ අපෙ ප්‍රේමය
එපා නැවත ගොඩ දමන්න
වැළලූ තැන මතක් වෙන්න
සිහිවටනත් එපා ඔන්න...

- චතූ

...
...

චතූ

මතක

හිත රිදෙන මොහොතක
නෙත තෙමන මොහොතක
ඒ සියල්ලටම ලොව
එකම හේතුව ඔබයි...

නෙත් කෙවෙනි පුරාවට
දුක පුරවගන්න මට
මේ තරම් ආදරේ
පිරෙව්වේ තනිවමයි...

හිමි අහිමි හීනයක
මතක අහුරක් අරන්
ජීවිතයේ වසන්තය
අහිමි කෙවිලිය මමයි...

මිතුරු හිතකට ඉතින්
පෙම් කරපු පාපයට
ජීවිතය පුරාවට
මතක තුළ මම හඩයි...

- චතූ

...
...

චතූ

පූස් සිතුවිලි (මගේ අදහසක් නොව, කොහෙන් හෝ කියැවූවකි)

ඇලවෙන්නට ඩිංගක් මේ සැප
සෙටියේ...
පුළුවන් වුණොත් නවතිනවා මම
සෙටියේ...
ඒවිද සැකයි ලොකු අම්මා
කඩිමුඩියේ...
දේවි ඉතින් ගුටි පාරක්
හිටිහැටියේ...

දැනෙනවා ඉතින් සුවදක් මට ලහි ලහියේ...
බදින හැඩයි සාලයො දාලා
තැටියේ...
ඇලවෙන්නට හිතුනත් ඩිංගක්
සෙටියේ...
යන්නට කුස්සියට දැන් හිත කිටි
කිටියේ...

...
...

චතූ

මම

සරත් හුළගට
මලක් හිනාවෙනවා...

සදත් හෙමිහිට
මං දිහා බලනවා...

තරුවකට පෙම් කරපු වරදට
කණාමැදිරියෙක් තවමත්
හඩා වැටෙනවා...

හීන මාලිගා
දෙනෙත් අභියස
කඩා වැටෙනවා...

ජීවිතේ තව දුරයි
සදත් රහසින් මගෙ
කණට කොදුරනවා...

සරත් තුරු පතක හෙමිහිට
මම තනියෙන්
මගෙ කතාව ලියනවා...

- චතූ

...
...

චතූ

උපුටා ගැනීමක්

"මෙලොව අන් කිසිවක් හා
සමකළ නොහැකි යමක්
ජීවිතයේ කුමන නිමේෂයක හෝ
හද තුළ ශේෂ වෙයි...

සැබෑ දිවි අරුත වටහා දී
ඔබ මා තුළ ශේෂ කළ
ආත්ම තෘප්තිය ද
එවැන්නකි...

මෙලොව අන් කිසිවක් සමග
මම එය හුවමාරු නොකරමි..."

( චාරුලතා සහ නිශ්ශංක)

...
...

චතූ

නේන ගමනක් ගියා(අදහස මගේ නොව. වෙනත් නිර්මාණයක් ඇසුරින් කළ කවියකි)

හැමදාම හැන්දෑවෙ
වැඩ ඇරිලා එන දිහා
පුංචි උන් අපි ඉතින්
මග බැලුවෙ එයි කියා...

කඩල ගොට්ටක් මගේ
දෑත මත්තේ තියා
බෙදාගෙන කාපල්ලා
කියූ ආදර පියා...

ගියොත් ගමනක් ඉතිං
හැමදාම එයි එයා
මේ පාර මාස තුනකට
වැඩියි නෑ පියා...

වෙනදාට ලොක්කියේ
කියා අමතන එයා
දුරකථන ඇමතුමක්
දුන්නෙ වත් නෑ මෙදා...

මෙහෙට එන්නකො මගේ
සුදු පුතේ ඇවිදිල්ලා
තාත්තට විට එකක්
ගෙනත් දීපන් කියා...

ලොක්කියේ ඇද යටින්
මගෙ සපත්තුව හොයා
ඩිංගක් පොලිෂ් කරලා
තියාපං කී එයා...

පොඩි පුතේ තාත්තගෙ
පෝන් එක රින් වෙනවා
ඉක්මනට ඔන්න ඕක
ගෙනත් දීපන් කියා...

හැමදාම ජීවිතේ
කොටසක් ම වූ පියා
ලියුමක් පවා ඔයා
නොඑවාම හැංගිලා...

එදා මූසල හුළග
වැහි කදුළු ගෙනැල්ලා
මග දෙපස පේලියට
සුදු පාට කොඩි දමා...

පෙට්ටියක දමාගෙන
ගෙනගියා කර තබා
හැමදාම ආව නුඹ
නේන ගමනක් ගියා...

චතූ

...
...

චතූ

යශෝධරා වෙන්නද මම නුඹේ

මුළු ලෝකයට හොරෙන් රහසේ
සෙනේ තොටුපොලේ
අපි පාට කෙරුව අනාගතේ
සිහිනයක්ම වේ...
ඔය දෙතොලතරේ මිමිණූ පෙම
තවම හිත තිබේ...
පොඩි වූ මල් පෙති අතරේ
සොයමි රුව නුඹේ...

පුරහඳ ළග බලා නොසිට
අනන්තය දිගේ...
ආවෙමි එනමුත් සදවත
හිතේ නිතර ඇදේ...
අපි මග හැරුණත් මේ හවයේ
අහම්බෙන් වගේ...
යළි මතු භවයක යශෝධරා
වෙන්නද මම නුඹේ...

චතූ

...
...

චතූ

විලාසිනියක්

හැමදාම ගොම්මනේ
පහන් කණුවක් අසල
ජීවිතේ හොයනවා
රෑ කරුවලේ නිතර...

එකින් එක එහේ මෙහෙ
යනෙන වාහන අතර
එක්කෙනෙක් ඈ රැගෙන
යයි නිවන් සොයන්නට...

දෙතොල් රතු සායමින්
පාට කෙරුවේ තදට
දෙනෙත් අංජන ඉලූ
මීන දෑසේ අගට...

පුරුද්දට වගේ ඇයි
ආවෙ කදුලක් මෙලෙස
දන්නවා ගිරි දුවේ
නුඹ දරන දුක් කන්ද...

සැමියා නැති ගේ පැලේ
දරුවො බඩගින්නෙන්ද
ඇගේ මස් විකුණලා
කන්න දුන්නද උන්ට...

නිරන්තර ජීවිතේ
ගැහැට විදිනා උන්ට
පඩුපුල් ආසනේ
රත් වුණේ නැතුවාද...

ලෝකෙන්ම කුණු කතා
කෝටියක් කියනකොට
ජීවිතේ හොයාගෙන
කදුළු හංගන උඹට...

යන්තමින් හරි ඉතින්
සැනසීම ගෙන එන්ට
ලෝකේ දිහා බලන
සක් දෙවිඳු නුඹ නිදිද...

- චතූ

...
...

චතූ

උපුටා ගැනීමක්

අයාලේ යන කවි මිටට
සරණ වන්නට
ඉස්පිලි පාපිලි
ඇද කුද ගළපන
එළි වැටක් අවැසිය ...

චතූ

...
...

චතූ

නැවතීම

කඳුළු නෙත් කෙවෙනි ලග
සුසුම් තනි කළ සවස
ජීවිතේ ගොම්මනක
වෙරළ හැරගිය නැවක

මදහාස පෑ නෙතඟ
කැටයම හිත රිදුන
අපේ කවියේ අගට
තියන්නද නැවතීම

චතූ

...
...

චතූ

( වෙනත් තැනක මම ම ලියන්නට සිතූ කවියක්, එතැන නොලියා මෙහි පල කළෙමි)

හිතවත් කවියා වෙත,

පුරාවත් පුරාවට
සුන්දරම කතන්දර
නිරන්තර වචන තුළ
හරි රහට කවි කරන්...

මිහිරි සුන්දර කවිය
නුඹ මැවූ අපූරුව
කියවන්න හිත වුණත්
මග බලනවා ඉතින්...

මම ලියන කවි අතර
පිළිතුරු වචන නිතර
ලිව්වෙ නෑ කිසිදාක
කවුරුවත් නුඹ තරම්...

හැම පබැඳුමක් ගානෙ
නුඹෙ පිළිතුරක් තිබුනා
දන්නෙ නෑ නුඹෙ කවිය
ළං වුණා මට හොරෙන්...

මට හයිය නැහැ තවත්
කවි පොතේ පිටුවලට
ආදරෙන් ළං වෙන්න
දැන් ඉතින් පෙර තරම්...

හෝඩි පොත් පිටු අතර
බොළද රූ කුරුටු ගී
වගේ වෙන්නැති ඉතින්
මම ලියන කවි වදන්...

නුඹ එහෙම නෙවෙයි ඔය
පුරුදු හරබර වචන
මේ සොඳුරු ඉසව්වේ
ලිව්වාද මොන තරම්...

මම ඉතින් නොලියාම
කවි පොතම හැර ගියත්
කියවන්න මනාපයි
මිහිරි පබැඳුම් ඉතින්...

පිළිතුරු නොලියා වුණත්
නුඹ ලියන වචන වැල්
කියවලා යන්න මම
එනවා තවමත් හොරෙන්...

නුඹෙන් මෙය නොඅසන්න
සිතා සිටියත් තදින්
පිටුව මත මගේ හිත
ලියා තැබුවා ඉතින්...

ඉදහිටත් ඇවිත් යමි
මම නොලිව්වත් ඉතින්
සොඳුරු සටහන් තැබූ
නුඹ කොහේදෝ ගිහින්...

මට නොවැටහෙයි තවත්
නුඹ නේන්නේ මන්ද?
දන්නවද පාළුවක්
මුළු පොතම බදු අරන්...

මම
-චතූ

...
...

චතූ

ඇවිත් යන්න එන්න

වස්සානෙට මල් පිපෙන්න පිණි වැස්සක් වහින්න...
හැන්දෑවේ රතු අහසට ලස්සන කවි කියන්න...
ගිම්හානේ මිය ගිය පසු හෙමින් සිනා
නගන්න...
රාධා ගැන ක්‍රිෂ්ණා ගැන ආයෙත් කවි
ලියන්න...

ගංගාවේ හැම ඉවුරෙම සමනලයින් පිරෙන්න...
හන්තානේ කඳු මුදුනට සුළග එක්ක
ඇදෙන්න...
මල් යායේ පිපෙන පිපෙන මලක් ගානේ සිඹින්න...
ඉතින් ඔන්න කුරුල්ලන්ට කවි ලියන්න වඩින්න...

නොහොඳ නෝක්කඩු දියකර උඩු හුළගට පුදන්න...
කවි අතරේ සුවද හමන අරලියා මල්
තියන්න...
රෑ ගගනත වලාකුළක් පත් ඉරුවේ
මවන්න...
පොද වැස්සක් වෙලා යළිත් කවි හිත
දිග හරින්න...

මම
චතූ

...
...

චතූ

කවියක්

ඉඩෝරයේ අළු අහසට ආදර කවි
කියන්න
මට තාමත් බෑ ඒකට මගෙ සිතුවිලි යොමන්න
ගිම්හානෙට ගිනි ගන්නා හිරුටත් පෙම් බඳින්න
කවි හිතකට හැකියිලු ලොව හැමටම පෙම් කරන්න...

ගහට මලට මේ අහසට ආදරයෙන් බැඳෙන්න
ගලන දොළට වැව් ඉවුරට කවි හිත දිග හරින්න
මලක ළපටි පෙති අතරේ හිතින් දෙතොල්
තියන්න
ප්‍රේමය නම් කිමැයි කියා කවි හිතකින් අහන්න...

මම
චතූ
2020 ඔක්තෝබර් මස 11 වැනි දා

...
...

චතූ

❤ ලස්සන ආදරයක්❤

ආදරණීය ජීවිතේ කවියක්
ඉන්නට තිබුණා නම් නුඹ ළග වරුවක්
ලස්සනම පදයක මමත් එක අකුරක්
ලියන්නම් ඉතින් අපි ගැන පුරාණයක්...

වැස්සට තෙමෙන මල් කැකුළු ගොමුවක්
වැරදිලා වගේ මගෙ දිහා බැලුවත්
සසරේ පුරුද්දට වෙන්නැති එක කදුලක්
මගේ ඇස් බර කලා හොරෙන් හිතටත්...

හන්තාන පවා ඉගි කරනවා තවමත්
ඒ පිනි අතර අපි ලිව්ව කතාවත්
හරි ලස්සනට කුරුල්ලෙක් ඊයෙත්
පිණි බින්දුවකට කිව්වලු දෙවතාවක්...

මම
චතූ
😊❤

...
...

චතූ

සිතුවිල්ලක් කවි කළෙමි

මගෙන් හොරකම් කරපු
මගේ හිතවත්ම හිත
ආයෙමත් ගෙනැල්ලා
මටම පවරා යන්න...

මල් වැස්ස වහින්නට
ගිම්හානයට ඉතින්
ලස්සනම මදහාස
ඔය මුවග තවරන්න...

ලෝකෙටම හොර රහසේ
හැන්දෑවේ ගොම්මනක
මගෙ දෙනෙත් මත සොදුරු
කවියක්ව සැතපෙන්න...

හීන් පොද වැස්සකින්
පිණි පොකුරු ඇහිදින්න
ගිම්හානයේ එකම
මල් පොකුර සිපගන්න...

නෙත් මානයෙන් එපිට
වසන්තය ගැන ඔන්න
ලස්සනම කතාවක්
වෙලා හිත සනසන්න...

හන්තාන සිප ගත්තු
මද සුළඟ මෙහි එන්න
යළි මේග දූතයක්
මම ලියනවා ඔන්න...

මම
චතූ
2020 ඔක්තොම්බර් මස 11 වැනි දා ඉරිදා

...
...

චතූ

කවි සිත්තම්

මුළු ලෝකයට හොරෙන් රහසේ
නුඹේ නෙත් අගින්
මම ඇහින්ද කදුලක් තවමත්
තිබේ මගෙ ළගින්...

ඔය ගිම්හානෙට වුණත් මෙහෙට
වහිනවා ඉතින්
රළු ඉඩෝරයට පවා තවම
ආදරෙයිනෙ මං...

එක නෙත් කැල්මක නුඹ තැවරූ
ළෙංගතුකම මැදින්
වන මල් සුවඳක් මම වින්දා
පත් ඉරුවක අගින්...

මේ වේදිකාව මත ආයෙත්
ඔය නෙත් ළග හෙමින්
හිත නැවතුනාට බැහැ මට දැන්
නවතින්නට පෙමින්...

මම
චතූ
2020 ඔක්තෝබර් මස 11 වැනි දා ඉරිදා

...
...

චතූ

ඇත්තමයි

කවියක්ව සැතපෙන්න හැකියි නම්
දෙනෙත් මත
අහසක් වෙලා ඉතින් බලා ඉන්නම්
තනිව
දහසක් දෙනෙත් අතර මගෙ දෑස්
තුළ නිදන
අවසඟ නැති අරුම සිතුවිල්ල
නුඹ නොවෙද...

පුර පෝය හඳ ගාව නැවතිලා
හැමදාම
අරලියා මලක් වී සිනාසෙන්නේ
කොහොම
මගෙ සිතුවමේ එතුන නාදුනන
ඇස් දෙකට
මම පෙම් කලේ නෑ ඇත්තමයි
ඔය හිතට...

මම
චතූ

...
...

චතූ

හිතුවක්කාර සිතුවිලි

යදමින් බැඳ විලංගු ලා
කවි හිත සිර කරන්න බෑ
කවුරුත් ආවත් නාවත්
මට නොලියා හිදින්න බෑ...

කවිය අතැර පිට පාරක
මට වැඩි දුර දුවන්න බෑ
සිතුවිල්ලක් පත්ඉරුවක
කුරුටු නොගා ඉන්නත් බෑ...

මටම දඩුවමක් විදිහට
කවියෙන් සමුගන්නත් බෑ
කවි හිත නොමරා මරලා
නෙත් රිදවා ගන්නත් බෑ...

දහස් දෙනා යන එන මග
ගොළුවී නවතින්නත් බෑ
මට හුරු වූ මගේ කවිය
හැරදා මට යන්නට බෑ... 👣

මම
චතූ

...
...

චතූ

🌻🌿 කහපාට මලක් 🌿🌻

හිමි අහිමි හීනවල
ලියූ නොලියූ මතක
කවිකාර හිත පුරා
සිතුවම් කළෙමි නිබඳ...

අනන්තේ කෙළවරක
මගෙ හිතත් එක්ක මම
නැවතිලා ඉන්න ඇති
කවියක් වෙලා හවස...

නිහඩ අහසට යටින්
මගේ කවි අහන්නට
රතු පාට කුරුල්ලෝ
ඇවිත් යයි ඉඳහිටක...

කහපාට මලක් මම
දන්නවද හැමදාම
නැගෙන ඉරටත් ඉතින්
කවි කියනවා තාම...

හිරු අවරගිර කොණක
බැස ගියායින් පසුව
රෑ සදට කවි කියන
කෙවිලියක් වගේ මම...

මේ අහස ගහ කොලට
හරි ආදරෙන් තාම
හැම පුංචි කොලේටත්
පෙම් කරමි හැමදාම...

හෙන ගහන වැස්ස යට
පවා තනියෙන් රෑට
වැහි බිංදුවලට මම
පෙම් කරනවා තාම...

වසන්තය සිසිරයට
ගිම්හානයේ සැරට
මම ආදරෙයි ඉතින්
මේ අරුම ලෝකයට...

ජීවිතේ හැම පැයම
මල් නටුව අග ඉදන්
මියැදිලා යනතුරුම
කවි කියමි හැමදාම...

මම
චතූ

🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻

...
...

චතූ

බලා සිටින්නම්

- කොරෝනා නුඹ හිරකෙරූ අපේ ජීවිත -

එකම අහස යට ඉර හඳ තරු ළග
නැවතුන...
එකම හීනයක් මගෙ ළග තිබුණා
තුන්යම...
පුරුදු සුළග ගස් වැල් මල් සිපගත්තත්
තව...
හිතම නතර වෙලා යළිත් හිරවුණි එකතැන...

සරසවියේ සොදුරු පොළොව මටහිමි
සරු බිම...
ජීවිතයේ හීන අහුරු මම දුටු
පින් බිම...
ලස්සන කවියක් වී හිත නතර කෙරූ තැන...
ආයෙත් දිග නිවාඩුවක් ලැබෙන
හැඩයි අද...

අනාගතේ සරසවියට සමුදෙන
ඒ දින...
තව තව දුර ඇදෙයි ඉතින් මෙහෙම වහනකොට...
සරසවියේ හීන අහුරු නෙතු ළග
හිරකර...
බලා සිටින්නම් ආයෙත් එන දවසක්
ගැන...

මම,
චතූ
😔📝

...
...

චතූ

දින පොතෙන්

අද,
ඔක්තොම්බර් මස 12 වැනි දා සදුදා
_____________________________________🍃️___

අහස පුරවගත්ත මන්දාරම
හැම කදු වැටියකම හීන මවනවා...

එකම එක මලක්
හිත අද්දර නෙතගින් හිනාවෙනවා...

වසන්තය ඉවර වුණත්
කුරුල්ලෝ තවමත් කවි කියනවා...

සරත් අහසට මම හරි ආදරෙයි
සඳ ඒක හොඳටම දන්නවා...

මම
- චතූ

____________________🍃____________________

...
...

චතූ

සොයා එන්නම්

______🌿_______________________🌿_______


අමාවක දවසකට,
කුමට මල් ලියකම්...

හිතින් වැලපෙමි,
බලා තරු කැටයම්...

ගගන විනිවිද,
සොයා එනු හැකිනම්...

සත්තමයි සඳ,
නුඹ සොයා එන්නම්...

මම,
- චතූ

_____🌿__________________________🌿______

...
...

චතූ

මම සහ හිත

- සොයා යන මග -
____________________________________🍁____

හිත රිදෙන හීනයක හීනියට
නතර වුණ...
නෙතු අගට නිරන්තර කදුළු පමණක් ගෙනෙන...
අවතැන් හිතේ කොණක හැමදාම ඉඩ හොයන...
වැස්ස නුඹ වගේමයි හිත් පතන බිම තෙමන...

මේ ඉරට මේ අහස තරමටම
පෙම් කරන...
මහ පොළොව සිපගත්ත නැවුම් පස්වල සුවඳ...
හිත් කොණක මුතු කතාවක් හෙමින් යළි ගොතන...
පෙරඹරේ හිරු එළිය සිපගන්නවා
සුළග...

සීතලම කෙම් බිමක මතකයක් වී
නිදන...
අපි ලිව්ව කතාවම පස පෙරලමින්
හොයන...
එක අරුම මොහොතකදි ජීවිත පොතේ
ලියන...
මගෙ කවිය සොයා යමි කෙම් බිමේ හැම
තැනම...

මම,
චතූ
2020 - 10 - 12
10.15am

_____🍁___________________________________

...
...

චතූ

නොලියා සිටිය යුතු කවියක්

__________________________________________

චතු මධුර පුද පඩුරු දෙවියන්ට
උකස් කර...
ඈ සොයා ඇවිද නුඹ කොහේ ඇය
සොයන්නද...
කවි ගගන හැර දමා සඳට බැහැ
බැසයන්න...
ඇයට අවසර නැතිද යළි කවිය
ළග ඉන්න...? 😔

මම
චතූ

...
...

චතූ

සිතුවිලි

2020 ඔක්තොම්බර් මස 14 වැනි දා
බදාදා

__________________🌿🌸🌿🌸🌿🌸__

හිත ගාව ඉඩ හොයන අකීකරු
සිතුවිල්ල...
නුඹ තාම ගිම්හානයට ගීත
ගයනවද...
මල් යාය පර වුණත් එක වැස්සකින්
දිනෙක...
මුලු පතන බිම පුරා පිපෙයි මල්
නෙක පාට...🌸🌿

දූවිල්ල සිපගත්ත මේ සුළඟ ළඟ
ඉන්න...
වැව් ඉවුරු කොණක එක පුංචි පැලයක් වෙන්න...
ඉඩ දෙන්න වසන්තය හොයාගෙන
පියඹන්න...
සමනල් තටු දෙකක් මට ගෙනැල්ලා
දෙන්න...🌸🌿

මම
චතූ

____🌸🌿🌸🌿🌸____________________

...
...

චතූ

සිතුවිල්ල

2020 -10 -14
12. 01am
__________________________________💡______

කදෝපැණි එළියකට විදුලි බුබුලක්
කුමට...
සොබාදම දුන් අරුම එළිය සොඳුරුයි
තවම...
අළුපාට ආකහේ තරු වගේ
හැමදාම...
දිලිසෙන්න නුඹෙ එළිය ඇති වේවි
හොඳටෝම...

දියුණුව සොයා යන මාවතේ
අපි තාම...
එන අලුත් හැමදේම වැළඳ ගත
යුතු වේද...?
සොබාදහමට ඉතින් පිටුපාන කොට
ඔහොම...
මේ සොඳුරු ලෝකයට අනාගතයක් කොහෙද...?

- චතූ

_______________________________🌸🌿______

...
...

චතූ

කණාමැදිරියෝ

- සිතුවිල්ලක් -

පරණ බල්බය
පිච්චිලා වත් ද
අලුත් බුබුලක්
අරගත්තෙ නුඹ! 😊

කොහොමටත්
හැමදාම එක වගේ
ඉන්න බෑ
හැමෝම යනවා වයසට 😐

මොනතරම්
උත්සාහ ගත්තත්
එක මොහොතකදි
ජීවිතේ තැනක 🍃

මාරයා අඩ ගසන
මොහොතක
යා යුතුව ඇත
අපිත් හනි හනිකට 😐

සොබාදහමේ
නියමයක් එය
මිනිස්සුන්ගෙත්
දත් වැටෙනකොට 😊

බොරු කුට්ටමකින්
නිරුවත් විදුරුමස
වහනවා අපිත්
හරි හරියට 😀

ඒ වගේමද
උඹලගෙත් ඔය
කදෝපැණි එළිය 💥
ඩිම් වෙන දාට

නියොන් බුබුලක්
අරන් හනිකට
අලව ගන්නවද
හරි හරියට 💡

- චතූ

_____________________________________💡___

...
...

චතූ

වැහි හුළඟ

2020 ඔක්තොම්බර් මස 14 වැනි දා
5.39pm
____________________________⛈️⛈️⛈️__️_____

මීදුම අහස පුරව ගන්නකොට
කැලෑ අයිරිෂ් මල් හිනාවෙනවා...

එකම එක රතු රෝස මලක් ළඟ
නැවතිලා උන්නු කාලය මතක් වෙනවා...

නුවරට වහින වැස්ස හරි සැරයි
මහ වැස්ස තාමත් අපි ගැන අහනවා...☔

කලු සුදු පාටට පින්තූරය ගත්තු නිසා
රතු රෝස මල පිච්චිලා වගේ පේනවා...

ඇත්තටම නම් ඒ ආදරේ
තාමත් හිත ඇතුලෙ ජීවත් වෙනවා...

මතක අහුරක් දෝතට අරගෙන
මන්දාරම තුරු මුදුනක කතාවක් ලියනවා...

ජීවිතේ තවත් එක පිටුවක්
වැහි හුළඟට පෙරලිලා යනවා...⛈

මම,
චතූ✍
________________________________⛈⛈⛈__

...
...

චතූ

සිතුවිලි

⛈ සිතුවිල්ලක් කවි කළෙමි මොහොතකට හිත ගාව...✍

___________________☔_____________________

කවිකාර හීනයක ඔය දෑතෙ
පැටලෙන්න...
වසන්තය ළඟ ඉදන් මුතු සිනා
දැකගන්න...
ආදරේ කතාවේ මගෙ පිටුව
පුරවන්න...
ජීවිතේ හැම පැයම මං ගාව
නවතින්න...

හිතවත් හිනා වැස්ස නුඹ තාම
නින්දේද...
ලස්සනම ජීවිතේ මල් කැකුළු
මියැදුනි ද...
හීනයක් වෙලා මගෙ නෙතු දෑල
සිපගන්න...
ගිම්හානයක ඇවිත් සොඳුරු කවියක් වෙන්න...

මම,
චතූ✍
_________________________________⛈⛈_____

...
...

චතූ

ආදරණීය කවිකාරියේ

__________________________________🌸🌿___

🌸🌿හිතවතිය,

හැමදාම මට පුරුදු මගෙ කවිය
ලියනකොට...
නොවෙනස්ව පිළිතුරක් තිබුණෙ ඔය
නුඹ ගාව...
කවියෙක්ට පත්ඉරුව කවි වලින් පුරවන්න...
නුඹ වගේ රසවිදින සොඳුරු හිත්
සවියක් ය...

ජීවිතේ කතාවේ දුක සතුට
දකිනකොට...
මම මගේ පාඩුවේ අකුරු කෙරුවෙමි මෙතැන...
ඔය නුඹේ හිතවත්ම මිතුරු සිනහව සමග...
දන්නවද හිතවතිය බැඳුනි මගෙ කවි හිතම...

කවි පොතේ පිටු අතර නුඹෙ මුහුණ නොදැක්කට...
නොදුටු මිතුරිය නුඹට ළෙංගතුයි
සිතුවිල්ල...
හැබෑවට හමු නොවී මේ තරම්
ලංවෙච්ච...
එකම මිතුරිය නුඹයි ජීවිතේ
හමුවෙච්ච...

මම
චතූ ✍

__________________________________🌸🌿___

...
...

චතූ

☔හරි සැරට වැස්ස!⚡☔

⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈

☔ එක සිතුවිල්ලක් 🍃

අහස පුරාවට
වැහි වලාකුළු
එකිනෙකාට
හිනාවෙනවා...⛈

අකුණු සද්දෙට
රෑ පුරාවට
සැරින් සැරේට
ගැස්සිලා ඇහැරෙනවා...⚡⛈

මෙහෙට මොකටද
මෙච්චර වැස්ස
ගොවිතැන් කරනවා
කියල නම් කමක් නෑ...⛈

ඔය වතුර ටික
අර වියළි පලාතේ
කරවෙච්ච පොළොවට
හැලුවනං මොකද...☀️

වගා බිම් ගිනි අව්වට
නිතරම පිච්චෙනකොට
අහස දිහා බලාගෙන
ගොවියො හූල්ලනවා තරගෙට...⛈

නිකං බොරුවට
අපරාදෙ
උන්ට පොඩ්ඩක්වත් ඇත්තෙත් නෑ
අපිට මෙච්චර වැඩකුත් නෑ...⛈☔

- මම,
චතූ ⛈

⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12.12am☔

...
...

චතූ

අම්මා තාත්තා

___________________________________🌸🌿__
🌸🌿දන්නවද!

උඹේ කුස පුරවන්න
කප්පරක් ගිනි දරාගෙන
දහඩිය කදුළ දිය කලේ
උඹේ අම්මා තාත්තා...

ගිනි ගොඩක හිත තියාන
මල් යහනක නුඹ තියන්න
නොවිදිනා දුක් වින්ද සුසුම
උඹේ අම්මා තාත්තා...

ගල් බොරලු වැලි අතර
හඩා වැටෙන දෑස් ළග
අස්වැසිල්ලක් වුණු සෙවන
උඹේ අම්මා තාත්තා...

ජීවිතේ රළු ගමන
දරු සෙනෙහෙ තුරුළු කර
නූපන් අනාගතය මවන අරුමය
උඹේ අම්මා තාත්තා...

දිවි මගේ නැවතුමක
නුඹ දැන නොදැන මග හැරෙන
නොවැටුණු කදුළු බිදුවත්
උඹේ අම්මා තාත්තා...

මම
චතූ

__________________________________🌸🌿___
(ඔය උඹේ ඇස් වලින් කදුලක් වැටෙන්න නොදී උඹව ඇස් දෙක වගේ බලාගන්න ඒ ආදරේට කවදාවත් ම ගින්නක් දෙන්නෙපා...)

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12 .02 am

...
...

චතූ

මම සහ කවි

සොඳුරු පිටු පුරාවට
හැමදාම නවතින්න
අවසරයි කවි පොතේ
මගේ කවි අලවන්න...📖

ලස්සනම කවිකාර
පන්හිඳට ළං වෙන්න
මගෙ එකම සතුට දැන්
කවිය පමණයි ඔන්න...✍
__________________________________________

මම මගේ සිතුවිලි ඔහේ කුරුටු ගෑවා.
මේ කවි පොතේ.🍁

ටිකෙන් ටික...🍃

අත්හැරෙන දේවල් අල්ලගෙන නොඉඳ ජීවිතේ දිහා බලන්න මම ම ඉගෙන ගත්තා. 🌸🌿

මම මට හිතෙන හැමදේම මෙහෙම කුරුටු ගානවා. අදටත් හෙටටත් මට පුළුවන් තාක් කාලයක්...

බැඳීම් වලට වඩා හරි ආදරණීයයි...
මේ අකුරු, කවි, වචන, නිසදැස්...

හැමදේම...✍😊

මම,
චතූ

...
...

චතූ

මතක

🍃මතක පුරාවත
නැවත නැවත කියවන්න
තවම මනාපයි
අතීතයේ ජීවත් වෙන්න...

අතහැර දමා ආ මග
සොඳුරු සිතුවම් නැවත
කැන්වසයක් මත
පින්තාරු කරමි යළිදු මම...

මම,
චතූ ✍

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
12.15am

...
...

චතූ

☔ මගේ හිත නතර වුණු මම කැමති කිවිඳෙක් ගැන පුංචි සටහනක් 😊❤

ඔහු නමින් එච් එම් කුඩලිගම විය.

"සැන්දෑ වලාවක සිට තොල්පෙති මතුල
සොබාදහම ඔබ රෝහිණි මම අතුල"🌸

සොබාදහමේ සුන්දරත්වය හෘදයංගම ලෙස උකහා ගත් කොළඹ කවිය සැබැවින්ම භාව ප්‍රකාශනයකි. මම වඩාත් ම ආදරය කරන කවියා එච් එම් කුඩලිගමයන් ය.☔😊❤

"කදු බෑවුමක දං බෝවිටි පදුරු තලා
පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා
කලදෝ දියෙන් පොගවා රන් පුලින තලා
සංගීතවත් වී යමි ඉදිරියට බලා"

ලොව බොහෝ දෙනා සුන්දරත්වය ගෝචර කර ගන්නේ ඇසට හෝ සවනටයි. නමුදු කවියා සුන්දරත්වය දකින්නේ හෘද අභ්‍යන්තරයෙනි.❤✍

"සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල
වෙමි
ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
කවදා කොතැනකදී හෝ මහ මුහුදු
හිමි
හමුවුණු කෙනෙහි මා සතු බර ඔහුට
දෙමි"

ඒ අරුම චමත්කාරය පුදුම සහගත ය.🌸🌿

"රන් තරු පිරිවරාගත් සඳ මඩල
යට
මහ වන බිමක් මැද ගිරි කුළු අතර
සිට
නොමියෙන හේලි දහමක පණිවුඩය
පිට
කොඳුරමි කෙඳිරියක් මුළු ලොව නිසල
කොට"

මෙවන් ආදරණීය සුන්දර කවි රැසක් කුඩලිගම කවියාගේ පන්හිඳ තුඩගින් ලියවී ඇත. ඒ සුන්දර ම කවි අතරින් මා සිත් ගත් ආදරණීයම කවි කිහිපය ඉහත ලියා තැබුවෙමි.☔🍃✍

ඔබට ද රසවිඳිනු වස්...😊❤

මම,
චතූ

...
...

චතූ

කවිය

- ජීවිතේ -

හිත රිදෙන
නෙත් තෙමෙන
මතක හිර කරපු
අතීතයක...

කදුළු විනිවිද
ජීවිතේ හොයාගෙන
මමත් යනවා
මේ පාර දිගට...

මගෙ කතාවේ
මම කියපු
නොකියපු තැන්
තව එමට...

කාලයේ ගගත්
අතීතයේ ඉදලා
වර්තමානයට ගැලුවා
හරි ඉක්මනට...

බලා ඉන්නම්
ජීවිතේ තව දුරයි
දවසක මමත් යයි
පොළොව යට නිවහනට...

මම
චතූ

...
...

චතූ

මතක හිත

නිරන්තර නෙත් කෙවෙනි
කඳුලින්ම තෙත් කරන
ජීවිතේ නැවතුමක
මගෙ කවිය ලියනකොට...

හුදෙකලා හිත ඉතින්
කෑ නොගහ උන්නාට
දන්නවද නෙතු දෑල
තෙත් කළා හැම රෑම...

අනන්තෙට එහා ගිය
හීන අහසක් උසට
අපි ලියපු කතාවම
කතාවක් විතරමද...

අහිංසක හීනයක
කඳුළු තැවරූ නුඹට
වෛරයක් නෑ හිතේ
මම හඟිමි ජීවිතය...

මම
චතූ

2020 ඔක්තොම්බර් මස 16 වැනි දා
07.45 pm

...
...

චතූ

කදුළු

හැන්දෑවේ කරුවලට
සඳ කතා කියනකොට...

වසන්තේ පුරාවට
පෙම් කරන්නම් සඳට...

රෑ අහස ගයන ගී
කදෝපැණියන්ටම ද...

තාරුකා ආදරේ
කලේ නැතිවද සඳට...

මාරුතය අරන් එන
අකීකරු මල් සුවඳ...

මොහොතකට දෑස් මත
කදුළු මැව්වේ කිමද...

අහස විනිවිද ඉතින්
හැකියි නම් පියඹන්න...

මතක හිත එක්ක මම
පියාඹමි අතීතෙට...

මම,
චතූ

2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
12.10am

...
...

චතූ

මතක

කදුළු හරි අකීකරුයි
නුඹ දන්නෙ නෑ ඒක...

මම තාම මතක මැද
අතීතය මවනකොට...

ජීවිතේ ගීතයේ
තනුව අවතැන්ව ඇත...

සංසාරයේ දිනෙක
අපි යළිත් හමුවෙයිද...?

මම,
චතූ

2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
12.20am

...
...

චතූ

අප්පච්චි

හෙන ගහන වැස්සටත්
සිතුවිලි අහුරු සේදී නොයා...

ගිනි ගහන අව්වටත්
අහස් කුස තරම් ඉවසා දරා...

ජීවිතේ දුර ගමන
ආදරණීය සිතුවමක් කළා...

මගෙ අප්පච්චි නුඹ
සෙනෙහසට අරුතක් වුණා...

වැටෙන කොට නැගිටින්න
හයිය නුඹ මට පුදා...

හැම නැවතුමක් තුළම
ඇරඹුමක් පෙන්නුවා...

දිනෙක දිවි රංගනය
මම තනිව විඳින දා...

කියා දුන්නා ඉන්න
මහ පොළොවෙ පය ගසා...

මම,
චතූ

...
...

චතූ

ආදරණීය හිත

මොන තරම් ඉර එළිය
මහ පොළොව පිච්චුවත්...

මොන තරම් මහ වැස්ස
ගං ඉවුර රිද්දුවත්...

අඩුපාඩු කුමට මේ
ආදරේ මහමෙරක්...

ජීවිතේ කතාවේ
ළගින් ඉන්නෙමි හෙටත්...

- චතූ

...
...

චතූ

සිතුවිලි කවියක්

කුරුල්ලෙක් කිරිල්ලට කියන කවියක් ✍🌸🌿

එක දිගට දුක් ගැහැට
එයි ඉතින් ජීවිතේ...

කිරිල්ලියෙ ඔය නුඹට
ආදරෙයි පණ වගේ...

නෙතඟ කදුලක් තියා
හැර යන්නෙපා සඳේ...

මම නෑ සිනාසුනේ
කහ මලට තණ බිමේ...

උදේ ඉර වඩිනකොට
හිරු එළිය දිලෙනකොට...

කහ මලත් තණ බිමේ
හිනැහුණා ලස්සනට...

හිනාවට ළං වෙලා
මම ඇදෙස නොබැලුවට...

නැගෙන ඉර නම් ඉතින්
පෙම් කළා තව ඇයට...

නුඹ සොවින් තැවෙන්නේ
මන්ද මා ප්‍රිය සොඳුර...

කුරුළු හදවත් ගියේ
කිරිල්ලන්ටම නොවෙද...

බොරු තරහා ඉවත ලා
සිනාසෙනු පෙම්වතිය...

මම පෙම් කළේ නෑ
සත්තමයි කහ මලට...😊❤

- මම
චතූ

2020 ඔක්තොම්බර් මස 18 වැනි දා
12.05am

...
...

චතූ

අහිමි ප්‍රේමයක්

හිත් යාය මදු මලින්
පුරවන්න හීනයක..

සන්ධ්‍යාව රතු සළුව
පොරවන්න ගගන මත...

මල් වියන යට එකම
රතු රෝස කැකුලකට...

ආදරේ කළා සුදු
සලඹයෙක් පෙර දාක...

සමනල් තටු තරම්
ලස්සනක් නොවුණාට...

පුදුම ලස්සන හිතක්
තිබුණා ඔය ඌ ගාව...

රතු රෝස කැකුලු මල
පිණි වැස්සෙ තෙමෙනකොට...

ලෝකෙටම හොර රහසේ
හැඩුවාලු ඒ හිතම...

එක සොඳුරු දවසකදි
කඩවසම් තරුණයෙක්...

ලස්සන උයන් තෙරේ
රෝස මල ගෙන ගිහින්...

ඔහු ආදරේ කරන
පෙම්වතිය සනසන්න...

ඌ ආදරේ කරපු
රෝස මල ගෙන ගිහින්...

සලඹයා අදත් ඔය
රතු රෝස ගහ ගාව...

බලා ඉන්නවා ඉතින්
හැම සෘතුවෙම රෑට...

පෙර වගේ මද සුළඟ
කවි කතා කිව්වාට...

සිනා සෙන්නේ නැතිලු
හිතක් නෑ දැන් ඌට...

මම,
චතූ

...
...

චතූ

මතක ආවර්ජනා

ඔය නුඹේ ඇස් ළගදි
මගේ හිත ගොළු වෙද්දි...

ඔය නුඹෙ හිනා වතට
මගේ නෙතු හිර වෙද්දි...

එකම එක කවියක
මමත් ලස්සන පදයක් වෙද්දි...

කොහොමද හිතන්නේ
තනි වෙයි කියා මගදි...

අවසග නැති හිත
නුඹවම ඉල්ලද්දි...

කෑ ගහන හදවතෙන්
උණු කදුළු වැගිරෙද්දි...

අපි ලිව්ව කවිය නුඹ
නොකියාම හැර යද්දි...

බලා උන්නා මමත්
සිතුවිලි අසරණ වෙද්දි...

- චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
01.11pm

...
...

චතූ

මතක

අහස පුරාවට
අපේ පුරාවත
හවසක ලියන්න
මට හැකි නම් අද...

දෙරණ පුරාවට
සිතුවිලි කැටයම්
කැටපත් පවුරක්
මවන්න හැකි මට...

අපේ කතාවම
ඒ තරමට හිත
පාරනවා ප්‍රිය
අහිමි නුඹේ පෙම...

දිවි පියසේ එක
මොහොතක අපි යළි
නෙත ගැටුණොත් මම
මගහැර යමි නුඹ...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
01.20pm

...
...

චතූ

අහස මල්වලට කියූ කවිය

අපූරු ලෝකයේ
තවත් දවසක කතාව...

දන්නවද මේ අහස
මල්වලට කියන කවිය...

සිනහව වගේම
උරුමයි ලු ලොවේ වේදනාව...

එනමුත් බලාපොරොත්තු
ජීවත් කරයි ලු ජීවිතය...

ගිම්හානයට මියෙන
පතොක් මලක් රහසින්...

පෙම් කරාලු ඔන්න
සුදු පාට වලාකුලකට...

ගිනියමේ ගගන මත
වැහි වලාකුළු කොහෙද...

ගිනිගන්න ගගනටත්
හිතක් තිබුණා ලු මෙලෙක..

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 17 වැනි දා
3.00pm

...
...

චතූ

සිතුවිලි

🌿පෙම්වතෙකුගේ කවක් ✍

ඉතින් අවසර
හිනැහෙන්න මට
සිහිනයක් ළග
නැවතිලා මම...🍃

පුංචි දෙණියේ
මගේ අත ගෙන
ගුරු ගෙදර ගිය
සිගිති මිතුරිය...💙

ජීවිතේ බෝ
දුර ගෙවාගෙන
පෙම්වතිය වී
ළගින් නැවතුණ...💑

ගම් දනව්වේ
වතුසුද්ද මල
නුඹ මගේමයි
සෙනෙහෙබර හිත...🌸🌿

මතක විනිවිද
අතීතේ දුර
දෝත පුරවා
නෙළුම් මල් මිටි...🍃

මලසුනේ නෙක
කුසුම් අතරේ
පුදා පැතුවා
පැතුම් මල් මිටි...🌷

ආදරේ යන
අකුරු අතරේ
ජීවිතේ යනු
කිමැයි කී නිති...💕

මගේ ජීවන
ගුවන් තලයේ
සදා හිනැහෙනු
පුර හඳක් රිසි...🌇

මම,
චතූ ✍

2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
ප.ව. 04.26

...
...

චතූ

හුදෙකලා රස්තියාදුව

🌇 හැන්දෑවක් 🌅

නම නොදන්න
කුරුල්ලෙක්
හෙමිහිට
කෑ ගහනවා...🍃

පරිසරය නිශ්චලයි
ඉර අහස කොණක
ගිලෙන්න
අර අඳිනවා...🌅

හුළං රැල්ලක් වත්
නිකමටවත් නොඑන හින්දා
ගස් මුදුන්
තුෂ්නිම්භූතව බලා ඉන්නවා...🌲🌲

කහ පාට ආකහේ
හෙමි හෙමින්
රතු පාට
ඉරි ඇඳෙනවා...🌇

තවත් එක දවසක
හවසක
මම ගල් බංකුව උඩ
වාඩිවෙලා ඉන්නවා...🍁

හුදෙකලා රස්තියාදුවට
හිත පුරුදු වෙලා
මට නොකියම
එහෙ මෙහෙ යනවා...🍃

මම,
චතූ

2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
ප.ව.04.22

...
...

චතූ

🌿 ආදරණීය හිතක්...✍

🍃 කිරි අම්මා 🍁

අහිංසක පැතුමක්
පතන්නට මෙළෙක් හදවතක්...

මට දුන්නු ඔවදනක්
කිසිදාක නෑ මගහැරියෙ මමත්...

කුරුල්ලෙක් උනත්
මහ දළ ඇතෙක් උනත්...

පණ තියෙන සතෙක්
නසන්න එපා කිසිදා පර පණක්...

පුංචි කාලේ ඉඳන්
ජීවිතේ ගැන ගොඩක්...

කියා දුන්නා පෙමින්
ආදරය මහ මෙරක්...

අවතැන් හිතක්
පිරි මදින හැටි නෙතින්...

ආදරේ පිරුණු හදවතක්
මට දුන්නු නුඹ සොඳුරු කතක්...

නැතක් බාධක ආවත්
නොමැකෙන හිනාවක්...

ඇත්තමයි කිරි අම්මේ
නුඹට ඇත්තේ පුදුම හිතක්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 19 වැනි දා
07.25 pm

...
...

චතූ

දිළිදු සහ ධනවත්

ජීවිතය නම්,

හවහට වහිනකොට...
කාණු වැහි වතුරෙන් පිරෙනකොට...

තවත් එක නැවතුමක...
දුගී පවුලක් හඩා වැටුණා මැදියමක...

මැසි මදුරු ගැහැට මැද...
හිස් කුස කෑ ගහන මොහොතක...

ජීවිතේ නෙක ගැහැට...
උරා බිව්වා ජීවය නිතර නිතර...

අහසින් වැටෙන කඳුලට
සේදුණා ඒ ජීවිත...

නෙක නෙක ගැහැට මැද
විඳින ලොව විඳවන කොට...

තවත් උන් සැනසුනා
සොඳුරු සත් මහල් මැදුරක...

එකෙක් විඳින මොහොතක
දහසක් දෙනා විඳවනු ඇත අඳුරු මුලුවල...

ජීවිතය නම් මෙයයි
නොතේරෙන අරුම රංගනය...

මම,
චතූ

...
...

චතූ

ආදරණීය අත්තම්මාගේ මිහිරි අතීතාවර්ජනයක්🍃

ඈ පුංචි සන්දියේ ඇගේ ගම මෙසේ විණැයි ඈ මට නිරන්තර කීවා ය. එය දිගු වූත් සුන්දර වූත් අපූරු කතාන්දරයකි. මම එය මෙසේ කෙටියෙන් කවි කළෙමි.✍
____________________________________

නෙත් ඉමේ ලස්සනම
කවියක් වුණා අහස...

නිල් වලාකුළු වලට
හරි ආදරෙයි සුළග...

ගං ඉමේ හැම තැනම
ජීවිතේ පණ ගැහෙන...

ලස්සනම පියස යට
ජීවත් වුණා සතුට...

මගෙ ගමේ පුරාවට
පුරාවත් නොවුණාට...

ජීවිතේ කතාවට
ළෙංගතුම මදහාස...

නිරන්තර නෙතු අගින්
හිත නිවන සෙනෙහසට...

ගම්මු පුරුදුයි ඉතින්
පෙම් කරන්නට හැමට...

හිත් යාය ගොඩ ගලන
බිනර මහ ග්‍රීස්මෙට...

වස්සානයේ තුමුල
ගංවතුර ගලන කොට...

කරුණාව නෙත තියා
හැමෝටම ළං වෙන්න...

ගම්මු හරි මනාපයි
හැමට සරණක් වෙන්න...

ගම්මානයේ සොදුරු
පන්සල් බිමේ අරුම...

පුර පොහොය සද නැගෙන
රෑ යාමයට උරුම...

සිල්වත් ම මදහාස
නෙතු පුරා තවරගෙන...

ගම්මු පන්සල් ගියා
බැති මල් පොකුරු රැගෙන...

අද වගේ නෙවෙයි ඔය
හෙන ගහන වැස්ස යට...

මහ පොළොව පුලුස්සන
ගිනි ගහන අවුව යට...

උදැල්ලට වාරු වී
මුළු දිවා කාලයම...

ගොවිතැන් කළා උතුම්
දේව කාරියක් ලෙස...

ආදරෙන් හැම තැනම
ජීවිතේ බෙදන්නට...

ගම්මු හරි ආදරෙයි
මේ ගහට මල්වලට...🌸🌿

මම,
චතූ

...
...

චතූ

මගේ තාත්තා

මම පුංචි කාලේ ඉඳලම
මගෙ වීරයා මගෙ තාත්තා...

වැඩිය කතා නොකරන
ඕනිම ප්‍රශ්නෙකට උත්තර තිබුණ...

හරි නපුරු යෝධයෙක් කියලා
මම හිතාගෙන හිටිය මගෙ තාත්තා...

සුපර් මෑන්ලට එහා ගිය
මගෙ ජීවිතේ සුපර් මෑන් මගෙ තාත්තා...

වැරැද්දක් කළාම අම්මා වගේ
බැනලා නොඉඳ...

කෝටුවක් කඩාගෙන
හොඳටම තලපු වාර අනන්ත...

ඒත් කිසි කහටක් නැතුව
ඒ ආදරේ ගැන මම දන්නවා හොඳටම...

ගොළු මුහුද වගේ
හිත ඇතුලේ ජීවිත තුනක් තියාගෙන...

හදවතින් පමණක් කතා කරපු
අරුම පුදුම මිනිසා මගෙ තාත්තා...

කවමදාවත් දෝතට අරන්
හුරතල් නොකළට...

හදවතේ මම වෙනුවෙන්
අප්‍රමාණ සෙනෙහසක්...

හිර කරගෙන උන්නු
ආදරණීය මිනිසා මගෙ තාත්තා...

දුවෙක්ව ලෝකෙ කාට එපා වුණත්
කිසි වෙනස්කමක් නොකර...

ආදරෙන් නොවෙනස්ව ඉන්න
මම දුටුව එකම මිනිසා තාත්තා...

ජීවිතේ මේ ගමන
මෙතෙක් දුර එන්න...

එකම හේතුවත්
මගෙ ආදරණීය තාත්තා...

ආ මග පුරාවට හැම සතුටකටම
එකම හේතුවත් තාත්තා...

තාත්තගෙ රැකියාව
තාත්තට දුන්නු රළු පරලු බව නිසා...

නපුරු මනුස්සයෙක් කියලා
හැමෝම කිව්වත්...

සත්තමයි ජීවිතේ
කාටත් වඩා...

මට ආදරේ කළේම
මගෙ තාත්තා...

මම,
චතූ

...
...

චතූ

වියළි කලාපයේ වගතුග

නිළි වැස්ස
යාන්තමට ඇවිත්
ආයෙමත්
මැකෙනවා...

ගහක් වැලක්
තෙමන්න තරම් වත්
වතුර නොවැටෙද්දි
මහ පොළොව හඩනවා...

අහස පුරාවට
ගිනියම් ඉර මලට
සුදු වළාකුළු
හිනා වෙනවා...

වියළි කලාපෙට
කොහොමත්
පුරුදු විදිහට
හැමදාම පායනවා...

රෑ පුරාවට
අහස ගෙරෙව්වත්
පහුවදාටත්
ගිනි අව්ව වැටෙනවා...

හිතට දැනෙන විඩාවට
වියළි සුළං
හරි හරියට
අලගු තියනවා...

වස්සාන ගීතිකා
මේ ඉමට නෑ කියලා
කුරුල්ලෝ පවා
හොඳටම දන්නවා...

පුළුවන් තරම්
බලා උන්නත්
වැහි දෙයියො හැමදාම
පිට පාරෙන් යනවා...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 20 වැනි දා
03.03pm

...
...

චතූ

රිදෙන අතීතයට සමු දෙමි...

මතකයට තියන්නද
නැවතීම මොහොතකට...

ලස්සනම කතාවක්
ලියන්නද මම දිගට...

ආදරේ විතරමද
ජීවිතේ එක සතුට...?

හුදෙකලා හීනවල
සතුට තිබුණේ නැතිද...

වැහිදාට මතක මැද
ඉකි ගසා නොහඩාම...

උණු කෝපි උගුරකින්
මනස සනසනු බැරිද...?

වැහි හුළං එක්ක ඔය
අතීතෙට නොහඩාම...

හිරිකඩට ආදරෙන්
කවි ලියන්නට බැරිද...?

ජීවිතේ ආදරේ
පටලගෙන හීනවල...

මැරුණු වැලලූ මතක
ගොඩ දමන්නේ කුමට...?

මලක තරුවක සොඳුරු
කවිකාර ලස්සනට...

ආදරේ කරන්නට
උගන්වන්නම් හිතට...

මම,
චතූ

...
...

චතූ

හුළඟ මට කිව්වා

ගිම්හාන හුළඟ කිව්වා
ආදරේ හරි අහිංසකයිලු...

මහ පොළොව වුණත්
ආදරේට ළෙංගතුයිලු...

පොළොව පිච්චුණත්
දූවිල්ලටත් ආදරෙයිලු...

යනෙන මග දිගට
නෙක ගැහැට හමුවෙයිලු...

හුළඟ හැමදේම
සම සිතින් දරා ගන්නවලු...

හුළඟ මට කිව්වා
මටත් හුළඟ වගේ වෙන්නලු...

මම,
චතූ

...
...

චතූ

ආදරණීය නුඹ

නෙතග එක කදුලකට
සිනහවක් ගෙනෙන්නට

හිතෙන් ළංවී හෙමින්
ආදරෙයි කියන්නට

මතක මැද ලස්සනට
ජීවිතේ වියන්නට

මට අහිමි සෙනෙහසක්
අරන් ඇවිදින් යන්න

විරාමය නෙත් කෙවෙනි
වේදනාවෙන් තෙමන

නිසංසල හීනවල
යළි යළිත් ඉකි බිඳින

මගේ කවි පියස යට
අකුරු අතරේ නිදන

මගෙ හිතේ කොණක හිද
ඉතින් හිනැහෙන්න නුඹ

මම,
චතූ

...
...

චතූ

පොතකින් බිඳක්

ජීවිතේ එක තැනක
නැවතිලා බලන මොහොතක...

දන්නවද මගෙ නෙතට
ගැටුණෙ මම ආසම පොත...

මතකද ඔයාලට
පොලියානගෙ පුදුම සෙල්ලම...?

පොඩි කාලේ ඉඳලම
මම හරි ආසයි ඒකට...

දෙයක් නැති වෙනකොට
තියෙන දෙයක් ගැන හිත හිත...

හිත හදා ගන්නට
කියා දෙනවා පුංචි කාලේ ඉඳලම...

හරි පුදුම ජීවිතේ
හිනාවකින් බාර ගන්න...

හඩන වැලපෙන හැමෝම
කරමුද පොලියානගෙ සෙල්ලම...?😊

කියවපු නැති අය
පොත හොයාගෙන කියවන්න...

අතරමං වෙනවා නිසැකයි
මොහොතකට නුඹ පිටු අතර...

ඒ තරම් ළෙංගතුයි
පොලියානා කතාවම...

ආදරණීය කෙල්ලට
මම හරි මනාපයි හැමදාම...📖😊

මම,
චතූ

...
...

චතූ

නැවතුම

මග දෙපස පුරුදු එළි
පුරුදු වාහන අතර

මල් පාර නොපෙනෙනා
අවන්හල් පෙළ අතර

මතකයේ නිරන්තර
ගිලී නොගිලී නිතර

යනෙන වාහන අතර
සෙව්වෙ නෙතු නුඹ නිතර

අතරමග හැර නොයන
තාර පාරේ තැනක

බස් රියට නුඹ නැගපු
නැවතුමේ අද වුවද

නොබැස්සට මම එතන
යනෙන කොට මග නිතර

නුඹ මැවී පෙනෙනවා
සෙනග මැද නිරන්තර

මම,
චතූ

...
...

චතූ

ආදරය

ආදරේ හරි අරුමයක්
එක්තරා පුදුම නිර්මාණයක්...

ප්‍රශ්න ජීවිතේ රිද්දුවත්
ජීවිතේ මොන අඩුපාඩු තිබුණත්...

ආදරේ ඇති තැන
මැවෙනවා සුර පුරයක්....

හදවතක් තියෙන
ආදරණීය මිනිසෙක්...

ලෝකෙම නැති වුණත්
ආදරෙන් ඉන්න ගැහැණියක්...

ජීවත් වෙන කැදැල්ලක්
ඇත්තමයි ලස්සන කූඩුවක්...

අඩු පාඩු අග හිඟ ගොන්නක්
එකකට පස්සේ එකක් ආවත්...

ආදරෙන් බැඳුනු දෑතක්
අත් හැරෙන්නෙ නෑ කවමදාවත්...

ලුණුයි බතුයි කෑවත්
අඩුවක් නැති ළෙගතුකම ආශිර්වාදයක්...

මම,
චතූ

...
...

චතූ

නිහඩ ම හීනවල
ඉකි ගහන කදුළු
ලෝකෙටම හොරෙන්
කන්නගීලගෙ නෙත් ළග
වියැලුණාලු...

ලියැවුණු හැම කතාවෙම
ආදරේ කියන වචනෙට
ලස්සන අරුතක්
වෙන වෙනම
තිබුණාලු...

හීන් මන්දාරමට
පිණි බිඳු මල් මත රැඳුණත්
අනන්තෙන් එහා ගිය
සුන්දරත්වයක්
මද්දහනටත් තිබුණලු...

පුංචි පුංචි දේවල් අතරේ
අපි නොහිතුවට නොදැක්කට
හැම වෙලාවෙම
ආදරේ නම්
අඩු නැතිව තිබුණලු...

මම,
චතූ

...
...

චතූ

කහට කුල මල නැතිලු ආලෙට

සිහින නෙත් ඉම
කුරුටු ගෑවේ
සදා නොමැකෙන
අරුම ප්‍රේමය...

නිහඩ ගගනත
සොඳුරු ඇසිදිසි
ආදරේ ගැන
වදන් ගොළු විය...

හිරුට අහසට
පෙම් කරන්නට
හිරු මලක් ළග
හිතක් ඇති විය...

මතක ගිරි හිස
පාමුලට විත්
සිහින ඇහිඳින
කිරිල්ලිය ඇය...

රිදෙන හිත ළග
අවැසි කවියයි
ආදරේ ගැන
ගොතන්නේ තව...

මියැදි ගියමුත්
මියැසි ප්‍රේමය
පුරාවත් නොලියූ
සුයාමය...

කහට කුල මල
නැතිලු ආලෙට
පූජනීයයි
සැබෑ ප්‍රේමය...

දෙවිවරුත් දණ
නමා නැවතෙන
පඩි පුරක්
ගිනි තැබූ ප්‍රේමය...

රාධා නෙතග
කවියක් ම වූ
ළබැඳි ඉමිහිරි
සොඳුරු ප්‍රේමය...

ටජ්මහල් උස
අහස විනිවිද
ලෝකයට කී
පුදුම ප්‍රේමය...

විඳින විඳවන
මියැසි ඇසි දිසි
මිහිරි කවියයි
යොවුන් ප්‍රේමය...

මම,
චතූ

...
...

චතූ

මම සහ හිත

ජීවිතේ කියන්නේ මොකක්ද
මම මගෙන් ම අහනවා

මම දන්නෑ
හිත කියනවා

ඇත්තටම මොකක්ද ජීවිතේ
මේ හැම දේම මොනවද

දන්නවද
මලක ජීවිත කාලය

දවසක් නැත්නම් දෙකක්, තුනක්, සතියක්
ඔය කොහොම වුණත්

හරි ඉක්මනට
මල පරවෙනවා

ඒ වුණාට
මලට ඒක ජීවිත කාලයක්

අපි තව අවුරුදු සීයක් ඉන්නවද
විශ්වාසද

නෑ මම තව අවුරුදු සීයක් ඉන්නෙ නෑ
දැනටමත් අවුරුදු විසි එකක්

මම පාවිච්චි කරලා ඉවරයි අවුරුදු විසි එකක්
මට තව අවුරුදු කීයක් ඉතුරුද

මම දන්නෙ නෑ
මට දැනගන්න ඕන නෑ

ලැබෙන දේවල් කෙසේ වෙතත්
මේ පුංචි ජීවිත කාලෙට

නොලැබෙන දේවල් ගැන හිතලා
පසුතැවෙන්න තරම් මම බොලද නෑ

කවදා කොහොම වුණත්
අපි යන්න ඕනි, වෙලාව ආවහම

ආවා වගේම
හිස් අතින් තනියෙන්...

මම,
චතූ

...
...

චතූ

උපුටා ගැනීමකි

අන්තර්ජාලයේ සැරිසරන මොහොතක නෙත ගැටුණු ලස්සනම කවි පෙලක් මෙසේ සටහන් කර තබමි. කවියට ආදරේ කරන සැමට රස විඳිනු වස්...

මෙහි රචකයා ඉලක්ෂ ජයවර්ධන නම් වේ.


අහසකට ලස්සනම ගෑවමයි
දම් පාට...
හදත් අයිනෙන් අදිමු එය නැතිව
බැහැ රෑට...
දුවේ නුඹ දන්නවද දුරයි
හද හාවාට...
ඒ නිසා අදින්නට ඕනි නැහැ
ආවාට...

චිත්‍රයට නගද්දී එක ළගින්
ඇන්දාට....
අහස සයුරට දුරයි බර වැඩියි
මගෙ දූට...
ගගනතේ මායිමේ නුඹ ඇදපු
වවුලාට...
ළගින් තවකෙක් අදිමු තනිය හොඳ
නෑ ඌට...

ටීචරුත් ලකුණු දෙයි නොවෙන් බිය
සංකාව...
දැන් හරිම ලස්සනයි වෙරළ ළග
හැන්දෑව...
චිත්‍රයේ නොඇද ඉමු දුවේ අපි
දෙන්නාව...
එහෙම වුණොතින් ළමයි සොයයි නුඹෙ
අම්මාව...

...
...

චතූ

සිතුවිලි

ආදරණීය කලාවට
හිතෙන් ගතෙන්
දෙකෙන්ම බැදෙන්න
ජීවිතේ අපිට හුරු කළා

නොනැගිටින්නම වැටුණත්
පැන්සලට පින්සලට
සුබ ගමන් කියලා
සමුගන්න බැරි වුණා

අපිට හොරෙන්ම
අපේම හිත්
සායම් ඇතුලෙ
හීන හෙව්වා

දිගට හරහට
ගැහැට ආවත්
උන්මත්තක හීනවල
අපි අපිම ගිලුණා

සිත්තරා පිස්සෙක්
එකෙක් කියනකොට
සිත්තරා හිගන්නෙක්
තවකෙක් කිව්වා

ලෝකෙටම රහසින්
තමන්ගෙ සිතුවිලි
හිස් කොල පුරාවට
සිත්තරු මැව්වා

ලෝකෙ මොනවා කිව්වත්
සිත්තරා හැබෑවටම
සංවේදී ප්‍රාණියෙක්
අපි අපිටම කිව්වා

මම,
චතූ

...
...

චතූ

කවියක්

පැතුම් මල් මිටියක්
සිතුම් පියවිලි ගොන්නක්
මේ හැන්දෑව
කවිකාර හෝරාවක්

ගගන නොකියන කවියක්
හැගුම් අතරේ මැවුනත්
පුදන්නට පුදසුන මත
වෙන්න ආසයි කුසුමක්

වලාකුළු කවි කිව්වත්
පුර පෝය හඳ නිවුනත්
දන්නවද එක කවියක්
හිතම නිවනවා තාමත්

මම,
චතූ

...
...

චතූ

තාම මග බලනවා

දෙවැට දිග තාරුකා
මල් තාම පිපෙනවා
කහ කුරුල්ලෝ තවම
දෙණිය ළග ඉන්නවා...

හවහාට වහින මල්
වැහි තාම වහිනවා
ගග අයිනෙ සුදු කොක්කු
තාම සිල් ගන්නවා...

කුඹුක් ගහ යට බෙනේ
තාම මෙහි තියෙනවා
ගම්මු හවහට ඇවිත්
වන්දනා කරනවා...

අවාරේ ගෙඩි හැදෙන
කොස් ගහත් තියෙනවා
වවුලො හැමදාම විත්
පොර කකා ලගිනවා...

ගං ඉමේ හැම තැනම
අතීතය තියෙනවා
එකම එක අඩුවකට
මුළු හිතම තැවෙනවා...

හැමදේම පෙර වගේ
තාම මෙහි තියෙනවා
නුඹ විතරමයි අඩුව
මම තනිව ඉන්නවා...

හැමදාම නුඹ සොයා
මගේ හිත දුවනවා
නුඹව දැකගනු රිසින්
තාම මග බලනවා...

මම,
චතූ

...
...

චතූ

අදහසක්...

ඉබ්බයි හාවයි තරගෙට දිව්ව කතාව මතකද...🐢🐇සත්තු හැමෝම කිව්වේ මෝඩ හාවා ලොකු කමට නිදාගෙන ඉදලා පැරදුනා කියලනේ... කවුරුත් ඇහුවෙ නෑ හාවගෙ කතාව...🐇
දන්නවද...
හාවටත් කියන්න දෙයක් තියෙනවලු...
මේ බලන්න ...👇🐰

⬜ 🐇⬜🐇⬜🐇⬜🐇⬜🐇⬜🐇⬜

හැමෝම මේ කතාවේ
මටම දොස් 'කීවා'...🐇😔

මම මෝඩ ඌරෙක්
ඉබ්බා උනත් 'කීවා'...🐢

මගදි ගහ දැක්කා
නින්ද ඌ වෙත 'ආවා'...😒

අනේ ලොකුකම හින්දා
පැරදුනා ඔය 'ඌරා'...

ඔන්න ඔය ලෙස කියමින්
සත්තු මට දොස් 'කීවා'...😥

අර බුද්ධිමත් ඉබ්බා
හරි හෙමි හෙමින් 'ආවා'...

අනේ උඹ මෝඩ කාවා
නිදා වැටිලා 'නෑවා'...😞

ඔක්කොම ඔහොම කීවා
මටම බැන බැන 'කෑවා'...

කවුරුත් නොදත් ඇත්තක්
මගෙ හිතේ මුර 'ගෑවා'...

අහන්නට ඔය කවුරුත්
කැමැත්තක් නැති 'වූවා'...😯

ඒ නිසා නොකියා මං
තනිව දුක් ගී 'කීවා'...

දන්නවද තරගේ දා
මං බතල අලයක් 'කෑවා'...🍠

ඒකෙ අවුලක් හින්දා
බඩ පෙරලිලා 'ආවා'...

තරගෙ මැද්දෙම ලන්දේ
පණ නැතුව මම 'උන්නා'...

මටත් නොදැනී නින්දෙන්
මගේ ඇස් බර 'වූවා'...😴😴

ලෙඩින් වැටිලා හින්දා
නිදා වැටිලා 'උන්නා'...

වේදනාවත් විදලා
ලෝකෙන් බැනුම් 'ඇහුවා'...😩

ලෝකයා හිනැහෙද්දී
දරා උන් මම අහිංසක 'හාවා'...😞🐰

මම,
චතූ

...
...

චතූ

දවසක නිමාව

මේ රාත්‍රිය
නිහඩ හීනවලට
පාට පුරවන්න
මග බලනවා...😊

දන්නවද ජීවිතේ
ලස්සනම කතා
නුඹ වෙනුවෙන්
වෙන් වෙලා තියෙනවා...🍃

හෙට ගැන තියෙන
හැම බලාපොරොත්තුවක්ම
ඉටුවේවි ඉතින්
හිත කියනවා...🌿🌸

තවත් රැයක
දවසේ අවසන් කවිය
මම මෙහෙම
කුරුටු ගානවා...🌇

මම අද දවස
දැකලා තියෙනවා
මට හෙටට මුහුණ දෙන්න
හයිය තියෙනවා...💪

ජීවිතේ කියන්නේ
කවියක් නම්
තවත් එක පිටුවක්
මම මෙහෙම ඉවර කරනවා...✍️

දන්නවද මිතුරි
නුඹයි මමයි එනතුරු
හෙට දවස
බලා ඉන්නවා...😊🍃

මම,
චතූ😊❤

...
...

චතූ

පරෙවි ආදරේ

ඒ වසන්තය හරි කෝඩුකාරයි
පරෙවි හදවත නම් කවිකාරයි
නෙතග කැල්ම හැබෑවටම අහංකාරයි
ඇත්තටම ඒ හිනාව හිතුවක්කාරයි...

දෑත ගෙන ගිය මග අලංකාරයි
පාළු දුම්රිය පොළ තාම අන්ධකාරයි
ගෙවෙන සීතල මැදියම හීන පාරයි
පරෙවි ආදරේ නුඹ නම් සෙල්ලක්කාරයි...

මම,
චතූ
_________________________________🍃______

...
...

චතූ

සිතුවිල්ලක්

තාත්තා මිය ගොස් ය.
තාත්තාගේ මියගිය හදවත පුතාට අමතයි.
__________________________________________

ආදරණීය පුතේ,

නුඹේ කරපිට මාව අවසන්
ගමන් ගෙනියන ගොම්මනේ
නිරන්තර හිත ළගින් උන් පෙම
මකා හිනැහෙනු මැදියමේ...

ගැහැට දුක් විඳ වේදනාවට
සමුදෙන්න මම යන දිනේ
අම්මටත් උඹ ගිහින් කියපන්
ජීවිතේ ගැන මගෙ පුතේ...

ජීවිතේ හරි පුදුම කවියක්
නුඹත් තව දන්නෑ පුතේ
තනිකමක් නෑ මාව තනිකර
හනික පලයන් මේ බිමේ...

මගේ දෝතට නුඹව අරගෙන
නැලෙව්වා පොඩි සන්දියේ
තාම නෙතගට කදුළු උනනවා
ආදරෙයි මම මගෙ පුතේ...

වසන්තය අහවරයි කීවත්
සින්දු කියනා කොවුලනේ
හිස් අතින් ආ අපි හැමෝටම
යන්න වෙනවා මේ වගේ...

අඩි හයක් යට මාව වාගෙම
මගේ මතකෙත් වළලලා
අනාගතයට මුහුණ දීපන්
අම්මටත් හයියක් වෙලා...

එහා ලෝකේ ඇත්තො ඉන්නවා
එනතුරා මග බල බලා
පමා වෙන්නට බැහැ ඉතින් තව
මමත් යන්නම් වෙන්වෙලා...

මීට,
ආදරණීය තාත්තා
__________________________________________

මම,
චතූ

...
...

චතූ

සොඳුරු යුවතියකගේ ආලය පතන තරුණයෙකුගේ කවක්

විපුල නීල නෙතගට කවි
ලියන්නට...
කොමළ ලියේ මට බෑ යළි
හඩන්නට...
ප්‍රේමය මුලාවක් බව යළි
කියන්නට...
නොසිතනු හිතවතිය හිත ගිනි
තියන්නට...

ජීවය පොවන මහ ගස් යට
ගොම්මනට...
දෙවි දේවතාවුන් සිටිනා වන
ගැබට...
පුද පූජා කරන ගැමියන්
අහිංසක...
රවටන්නට හිතක් නෑ නුඹ නොවෙන් සැක...

ප්‍රේමය සැබෑවක් බව අමතක නොකරන්න...
පබාවතී නුඹ මා හැර නොම
යන්න...
මේ ගම්මානයේ හැම තැන
බබලන්න...
මම දුටු එකම හේතුව ඒ නුඹ
වැන්න...

කලා කරුවො උපමා කළ පුර
හඳට...
නුඹේ මුහුණ සැබෑවටම
ගැළපේ ය...
සෙනෙහස් විමනෙ මදු මල වී
පුබුදින්න...
ඔය හිතවත් හිත මට දෙනවද
ඔන්න...

මම,
චතූ

...
...

චතූ

වින්සන් වැන්ගෝගේ තරු පිරි රැය නූතනයේ ප්‍රතිනිර්මාණය වීම

-සිත්තරා සහ සමාජය-

සිතුවිලි සිතුවම් කළාම
ආදරණීය හිත්වල
උන්මත්තක අදහස්
ලෝකයක් ළග තනි වෙනවා...

සම්ප්‍රදාය වෙනස් කරපු
වැන්ගෝ පවා
උන්මත්තක ලේබලයක්
අලවගෙන මියෙනවා...

දන්නවද තරු පිරි රැය
අදටත් පුදුම වටිනාකමකින්
අගනා සිතුවමක් ලෙස
ඇගයෙනවා...

හිතේ ශෝකය
සිත්තරා පාට ඇතුළෙ
මොනවට බොද කරලා
සායමෙන් කතාවක් ලියලා තියෙනවා...

ඉරිඟු යාය උඩින්
ඉගිලෙන කපුටෝ
සිතුවම් කරපු යායම
අවසන් ගමන තීරණය කරනවා...

ආදරණීය මිනිසා
වින්සන් වැන්ගෝ
හිසට වෙඩි තියාගෙන
එහිම මියෙනවා...

කාලෙන් කාලෙට
සිත්තරා උන්මත්තකයෙක්
මිනිස්සු එකිනෙකාට
නිරන්තර කියනවා...

අධි සංවේදී
හදවත් ඇත්තටම
සාමාන්‍ය ලෝකෙට
උන්මත්තක වෙනවා...

දන්නවද තරු පිරි රැය
දිනෙන් දිනම
කාලීන ලොව තුළ
ප්‍රතිනිර්මාණය වෙනවා...

එලොව ඉදන්
නුඹ බලා ඉන්නවනම්
ඇත්තමයි වැන්ගෝ
උඹට ගොඩක් උන් දැන් ප්‍රේම කරනවා...

මම,
චතූ

...
...

චතූ

සිතුවිල්ලක්

මහ පොළොව අහසට ප්‍රේම කර ඇත. පොල්කිච්චෙක් එය මට පැවසුවේ අද හැන්දෑවේ ය.❤

😊ආදරණීය මහ පොළොව,

වලාකුළු වියන යට
අවසාන කවිය කිම
ජීවිතේ හැමදාම
කවියක් තමා පොළොව...🌸🌿

ගගන සිප ගන්න ඔය
සිහින මැව්වත් දිනෙක
කදුළු පමණයි උරුම
අවසානයේ නුඹට...🍁

පොළොව මත ගැටි ගැටී
පොළොව සිපගත් ගගට
ආදරේ කරන්නට
පොළොව නොහිතුවෙ මන්ද...🍃

උරුම කළ හිමිකමට
ගතු කියන්නට වරම්
පොල් කිච්චෝ නුඹට මට
තව උරුම නැහැ නේද...🐦

මලානික හිත් මලට
සදාතන සුවද පොද
පුදා හිනැහෙන්න නුඹ
රිදී දිය රැලි එක්ක...🌹

බලා උන් හැමදේම
අහිමි නම් හැමදාම
ලැබෙන දේවල් එක්ක
හිනාවෙමු හැමදාම...😊

මහ පොළොව ඔය නුඹට
ඔවා දුන්නත් මෙලෙස
මමත් ඔහොමයි ඉතින්
හිතෙන් තැවෙනවා බොහොම...🍃

කොහොමත් අපේ හීන
කවදාක හෝ දිනෙක
හැබෑ වෙන තුරා අපි
සොයා යමු අනන්තය...🍁

මම,
චතූ😊❤

-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-_-

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.02.00

...
...

චතූ

😷😓

😷-සිතුවිල්ලක්-📝

එකම හීනයක් වෙනුවෙන්
දවල් රෑ නැතිව අපි වෙහෙසුණා
ලස්සනම කඩ ඉමක
අවසානයක් නොදැන අපි තනිවුණා😔

කොරෝනා නුඹ
ජීවිතේ එක තැනක හිර කළා
හිතන හිතෙන සිතුවිලි පවා
ගොළු වෙලා නැවතුණා😑

ගගන සිසාරා ඉගිල ගිය
අත්තටු යදමින් බැදි ලෙස
කාලයේ සරදමට නතුව
මගේ ආත්මය අසරණව ඇත😖

තවත් ජීවත් වන්නට
අවුරුදු සීයක් නැත
කළ යුතු දෑ එමටයි
එයින් අඩක්වත් තවම අහවර නැත😓

කාලය ඊයක වේගයෙන්
ජීවිතය හරහා යාවි
පෘතග්ජන නිසාම අපි
හීන හොයාගෙන ඇදේවි😑

ඒ නිසා ජීවිතේ
කරන්නට බොහෝ වැඩ තිබේවි
එබැවින් කොරෝනා
නුඹ නිසා කාලය අපතේ යාවි😐😷

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.10.00

...
...

චතූ

සිතුවිල්ලක්

🌿🌸...මලක සිතුවිලි...🌸🌿

අවසග නැති හීන
මොනවට කවි කරනවද
ජීවිතේ නැවතුම්වල
මොනවට බලා ඉන්නවද...🌸

මම තනි මලක්
මේ ඉත්තෙ එකම මල මම
දෙබරෙක් ළග
මොනවට හිස නමනවද...😏

සමනලයන්ට පවා
අහංකාරකම් පෙන්නන්න
මලකට කොහෙද තහනම්
තනි අත්තක පිපුණාම...🌸🌿

දිනෙක පරවෙන බව ඇත්ත
ඒත් මලටත් කතාවක් ඇත
ඒ නිසා මම මනාපයි
පුදසුනක මැලවී මියෙන්නට...🍃

මම,
චතූ 😊❤

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.11.00

...
...

චතූ

පිස්සෙක්

🎥 අසම්පූර්ණ සිතුවිලි ⏯️

මද්දහන ඉර මලට
කවුදෝ කෙනෙක් ගිනි තියලා !!

පුර හඳ පායනකොට කෑගහන පිස්සෙක්
මහ දවාලෙ පාර දිගේ දුවනවා...

මිනිස්සු බය වෙලා
සී සීකඩ දුවනවා...💨

වාහනයක් වේගෙන් ඇවිත්
මනුස්සයෙක්ව යට කරගෙන යනවා...

"කවුද යට වුණේ !
කෝ බලාපල්ලා... කවුද ඒ යටවුණේ...⁉️"

"පිස්සෙක්..."

"මොකෙක් ?"

"පිස්සෙක් බං පිස්සෙක්."

"ආ...ඒක මිසක්"

පිස්සාගේ මලකුණ නම නොදන්නා සොහොනක වල දමන ලදී.

පෙට්ටියක් නැතිවම...

***

මේ අහපල්ලා🔊

"ඒ පිස්සා මැරුණෙ නෑ"💨

"මේ ලබ් ඩබ් ගාලා ගැහෙන්නෙ
ඌ මැරිලා නෑ..."🔊

"උඹලා යටකරේ උගෙ මතක..."

"ඌ ජීවත් වෙනවා"↩️🔊

***

මම,
චතූ✍️
2020 ඔක්තොම්බර් මස 25 වැනි දා
ඉරිදා
ප.ව.02 .47 ට

...
...

චතූ

❤️

_________ආදරයයි සොඳුරු හිතයි__________

කුරුල්ලන්ට කවි කියන්න
හිරුට සදුට ගී ලියන්න
හිතේ කොණක නිදන් කරපු
ආදරයයි සොඳුරු හිතයි...🐦

මලක මෙලෙක සුව විඳින්න
ඒ සුවඳට තුරුලු වෙන්න
ලොවටම රස කවි කියන්න
තිබුණු එකම ආදරයයි සොඳුරු හිතයි...❤

මටත් හොරෙන් නුඹ ගෙනගිය
යළි කිසිදින ගෙනත් නොදුන්
මට තිබු එක වස්තුව ඒ
ආදරයයි සොඳුරු හිතයි...🌸🌿

මට මා අහිමිව ගිය දා
නෙතග කෙලවරේ කදුලක්
නතර වෙලා සෙව්වේ ඒ
ආදරයයි සොඳුරු හිතයි...🍃

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.11.38

...
...

චතූ

අපේ කතාව

📝 මම හදවතින් නුඹව බදා අල්වා ගනිත්දී....නුඹ මා දෑතින් අල්වා ගති. දෑතින් ඇල්වූ අත අත්හැරිණි. හදවතින් ඇල්වූ මා
තවමත් අල්වා ගත්වනම ය.🍃
__________________________________________

අත් හැරෙන බව දැනත්
අල්වා ගතිමි තදින්
මතකයිද කිව්වා මං
නොයන බව හැරදා ඉතින්...

නැවතුමේ හැමදාම
හැම උදේකම රැදී
මුණ ගැසී දෙඩූ හැටි
නුඹට අමතක ඇතී...

මම ආසා හැමදේම
දෙන්න මුදලක් නැතී
නුඹව අසරණ කළේ නෑ මම
ඒක නුඹ දන්නවා ඇතී...

හමුවීම් අපමණයි ඒ පොඩි
කාලයට අපි ළං වුණා
මට හරිම පුදුමයි මමත් ඔය
නුඹට ඒ හැටි පෙම් කළා...

මගේ මතකය ඔබේ හිත මත
තිබේ දැයි මම නොදත්තා
නුඹෙ මතක නම් මගේ හදවත
හැමදාම ගිනිබත් කළා...

- චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව. 04.21

...
...

චතූ

🌿 සිතුවිලි 🌈

__________________________________________
අවසානයේදී එය මෙසේ අහවර වීමට නියමිතව ඇත.🍃

ගායනා කළ හැකිද
ලියන්නම් සිතුවිල්ල
සරා සඳ මිය ගියත්
තාම තරුණයි අහස...🌄

අදුරු ජීවන කුටිය
එළිය කළ හිරු මලට
පෙම් කරා හැමදාම
දෙණියෙ මල් රතු රෝස...🌹

කැලෑ මලකට දෙවෙනි
නොවන හිරු මල එක්ක
ආදරෙන් බැඳුනාට
සොඳුරු පෙති වතුසුද්ද...☀️

වසන්තය මිය යත්දි
පර වෙලා ගහ යටම
වැටී අවසන් හුස්ම
හෙලුවාලු මැදියමක...🌸

අනියතයි ලෝ දහම
සිහිනිඟක් මැකී යාය
දෙනුවන් වැසී යාය
සියල්ල අතැර යා යුතුම ය...🌅

අවනත නැති හිතට
ජීවිතේ පාඩමක්
වැරදිලාවත් දිනෙක
කියා දිය යුතු නොවෙද...🍃

අහිංසක හීනවල
හෙලා අවසන් කදුළු
අතීතය තුළ එක්ව
මැකී වියැලී යා ය...🍁

නිල් දෙනෙත් කැලුම් රැස
මලානික වන දාට
දෙපා වාරුවක් නැත
අනියතයි හැමදේම...🌿

අඩි හයක් යට තැනක
දිනෙක මහ පොළොව යට
මටත් නිවසක් ලැබේ
මේ ගමනෙ අන්තිමට...🍃

මම,
චතූ✍
_____________________________🌸🌿________

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
පෙ.ව.09.00

...
...

චතූ

අමල් බිසෝ දොර නාරින්...✋

'අමල් බිසෝ දොර හැරපන්'
☝️ඇහෙනවද ගිනි දැල්ලක්
දොර අසබඩ බලා හිඳී
නුඹ එනතුරු පුළුස්සන්න...🔥

අමල් බිසෝ දොර නාරින්
නුඹ නොදුටුව බොහෝ නපුරු
විසකුරු උන් හරි එමටයි
ලෝකය තේරුම් ගත නොහැකියි...😐

ගෙලට මාල තනන්නට
මුතු හොයන්නට
දෙමව්පියන් ගොස් ඇත
මහ ගන වනය තුළට...🌿

ජීවිතේ පුදුමාකාරය
මිනිසුන් විවිධාකාරය
පරසතු උයන වනසා
හිනාවෙන හොරු බොහෝය...😐

නා මලක් ළග බඹරෙක්
නැවතිලා උන්නා පෙර දාක
නා මල මියෙන්නට පෙර
බඹරා ආගිය අතක් නැත...🍃

විෂම ලෝකය කතාවකි
නුඹ මම තවම නොකියැවූ
අමල් බිසෝ ලෝකේ
සතුරු සර්පයන් එමට ය...😑

මම,
චතූ✍

2020 ඔක්තොම්බර් මස 24 වැනි දා සෙනසුරාදා
ප.ව.12.12

...
...

චතූ

ආදරණීය වෙන්වීම

මගෙ හිත කෑ ගහනවා...මට මේ දැනෙන හැඟීම මම කාටද කියන්නේ...මම මෙහෙම කුරුටු ගාන්න හිතුවා...✍

බල්ලෙක් බුරාගෙන බුරාගෙන යනවා
වෙන සද්දයක් නම් නෑ
පරිසරය නිශ්ශබ්දයි
බිරුම නැත්නම්...🔊

ඇත්තමයි මම මේ කුරුටු ගාන්නේ
මගෙ ආදරණීය පූස් පැටියා ගැන...✍

මම කවදාවත්ම පූසෙක් හදලා තිබුණේ නෑ.
පුංචි කාලේ ඉඳලම මම පුදුම ආදරෙයි පූසන්ට. මම පහේ ශිෂ්‍යත්වෙ පාස් උනාම, වෙන වෙන ළමයි ලොකු ලොකු තෑගි ඉල්ලනකොට, මට ඉල්ලන්න තිබුණු ලොකුම තෑග්ග පූසෙක්!
මම ඒ ලෙවලුත් ඉවර උනාට පස්සේ තමයි මට මුලින් ම පූසෙක් ලැබුණේ. මටම කියලා ලස්සන ආදරේ පිරුණු පූසෙක්. මට ඒක ඇත්තමයි පුදුමයක්.🌈
මම මගෙ කිටියට මොන තරම් ආදරේද...ඒ ආදරේ ගැන කියන්න මට වචන නැහැ.🍁
කොරෝනා උඹ මගෙන් ඈත් කළේ හුදෙකලා ජීවිතේ මට හිටපු එකම යාළුවාව. එකම ආදරවන්තයාව. එකම දරුවව.
අන්තිමට, මම හිත හදාගන්න මටම කියනවා...
ආදරෙයි නම් ඒ ආදරේ කරන කෙනාට හොඳක් වෙන දෙයක් කරලා තමන් ගැන හිතලා අඩන්නෙ නැතුව ඒ ආදරේ සතුටින් කොහේ හරි ඉන්නවා කියලා හිතලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන්...මම ඒක කරනවා දැන්!
නොදැනිම ඇස් වල කදුළු පිරුණට,
මම දන්නවා කිටියා හොදින් සතුටින් ඉන්නවා. මගෙ ළග නූනත්... කොහේහරි

😢❤

...
...

චතූ

වෙන්වීම

ආදරණීය කිටියා තවදුරටත් මගේ භෞතික ලෝකය තුළ මා සමීපයේ ගැටෙන්නේ නැත. නමුත් මගේ මනස තුළ නිරන්තර පෙර පරිදි කෑ ගසයි. හුරතල් පා තබා දුව ඇවිදියි.✍

සියල්ල අවසන් ය.
ඒ කතාංගයේත් අවසානයට
මා හුදෙකලා වූ බව
කිව යුතු ම ය...

බලාපොරොත්තු මත
ජීවිතේ බොහෝ දුර
කදුළු අතරින් වුවද
ඇවිද ආවෙමි...

සිහින දුටු
ප්‍රේම කළ හිතවතා
මට අහිමි විය
කෙසේ නම් හිත හදාගන්නද...

හැම තැනම හිස් ය
වෙනදාට පුරුදු කෑ ගෑම
ඇසෙන්නේ නැත
පාළුව හැම තැනම බදු අරගෙන ය...

වසන්තය අවසන් ය
මතක පොතේ තවත් පිටුවක්
එසේ ලියැවුණි
කදුළු මැදින්...

මම බලාගත් වන ම සිටිමි
මට විඩාවක් දැනේ
ලැබෙන සහ ආදරේ කරන
සියල්ල නැතිවන සුළු ය...

පෘතග්ජන මම
එය කෙසේ නම් වටහා ගන්නද
මම දුක් වෙමි
ආදරණීය කිටියා වෙනුවෙන්...

මම,
චතූ✍

...
...

චතූ

මහළු පෙම්වතෙක් තම ප්‍රථම ප්‍රේමය අවසන් වතාවට සිහිපත් කරමින් ලියයි...✍🍃

කාලීන සමාජයට
මා උන්මත්තකයෙකි...

මියැදි කවියක
කලෙක මමත් මියැසි පදයකි...

කාලයේ රුදුරු රකුසා
ජීවිතේ සාරය උරා බිව් කලට...

දිරා ගිය සිරුර තුළ
කිසිවෙකුට නොපෙනී තිබුණේ...

ඈ වෙනුවෙන්
අනන්ත වාරයක් වැලපුණු...

ඈ පොලොවේ ගසා පාගා දැමූ
මගේ අසරණ හදවතයි...

ප්‍රථම ප්‍රේමය මිහිරි ය
වරක් නොව කීප වරක්ම...

බොහෝ කවියන් කීවා මතකය
එය සැබෑවක්දැයි මට නිශ්චිත නැත...

වේදනාව තුළින් ම
මම මගේ කදුළු තුළ ඈව දැක ගතිමි...

ඈ දැනුදු මා ළග සිටී
මගේ හද තුළ හා මනස තුළ...

මම වැරහැලි මහල්ලෙකි
හදවත පිරිපුන් තරුණයෙකි...

ජීවිතේ අවිනිශ්චිත හෝරාවක
පණ අදින ප්‍රාණියෙකි...

හැබෑවටම මම
පරාජිත ප්‍රේම පූජාවකින් පසු සිහි සුන් වූ ඇටකටු ගොඩකි...

තව නොබෝ දිනකින්
සියල්ල අත්හැර...

මම පියාඹා යමි
එපිට ලෝකයට...

නමුත් සදහටම
මම ප්‍රේම කරමි...

ඇයට සහ
ඇගේ මතකයට...

මීට,
පරාජිත පෙම්වතා✍

_____________________________________🍃___

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.06ට

...
...

චතූ

නුඹට✍

නොහිතූ මොහොතක
මා හැරගිය නුඹ නැවත
මට අමතාවි යැයි
මම කෙසේ සිතන්නද...

කාලයේ වැලි අතර
අපේ මතක
වළ දැමූ මම
දැන් නිරුත්තර ය...

නුඹ මා අමතා අසන
කුමන හෝ පැනයකට
මම කෙසේ නම්
පිළිතුරු ඇහිඳින්නද...

අපි ගිය මග මම නැවත නැවත
තනිව යන කළ
නුඹේ මතක මා රිදවූ තරම
මම කෙසේ නම් අකුරු කරන්නද...

අපි නැවතුණු තැන
මම තනිවම
වරු ගණන් බලා උන් බව
මම කෙසේ නම් කියන්නද...

නුඹේ නෙත නොගැටී
නුඹ ගිය මංපෙත් පුරා ගිය
මගේ සෙවනැල්ල නුඹ දුටුවාදැයි
මම කෙසේ විමසන්නද...

සදහටම මා වෙන් කළ නුඹට
සදහටම මා ප්‍රේම කළ බව
මම කෙසේ නම්
නුඹට පාපෝච්චාරණය කරන්නද...

වේදනාත්මක ප්‍රථම ප්‍රේමය
මා මරා දැමූ බව
මම ආලයට වෛර කරන බව
මම නුඹට කුමට කියන්නද...

මම ඇමතුම විසන්ධි කළෙමි
මම කෙටි පණිවුඩය මැකුවෙමි
කිසිදු පිළිතුරක් නොදී ඉන්නට
මම තීරණය කළෙමි...

නැවත මටම රිදවා
මට මා තුළින් හොයන්නට
අමුතු දෙයක් ඉතිරිව නැත
දුක ම මිස...

මම,
චතූ✍
2020 ඔක්තොම්බර් මස 26 වැනි දා
ප.ව.12.19

...
...

චතූ

නුඹ

හැමදේම හරියන
'දවසකටත්...'
ජීවිතේ දිනන
'මොහොතකටත්...'
බලාපොරොත්තු ඉකි ගහන
'හවසකටත්...'

ජීවිතේ ලස්සනම කතාව නුඹ

මතක කළඹනවා අද පවා 'මොහොතකටත්...'

- චතූ✍

...
...

චතූ

කුමට කවිකම්

මාලතී ලිය ගොමුවේ
බොහෝ මල් තිබුණි...

අතරින් පතර වැඩුණු
බොහෝ ගස් තිබුණි...

එකී නොකී මල් අතර
පිච්ච මලකටම ළං වෙන්නට...

සෙල්ලක්කාර සමනලයාට
දෙවියෝ ඉඩ දුන්නේ මන්දැයි නොදනිමි...

රෝස කැළේ පුරාවට
මේ මාලතී මඩුල්ල පුරාවට...

එදා අද පුරාවට
වෛවර්ණ මල් පිපුණි...

කුමටද නුඹ
පිච්ච මලටම ආදරේ කළේ...

පුදසුනක මියෙන්නට
හීන දුටු දෑස්...

ගිනිකණ වට්ටා
මල් නටුවෙන් මල සිද...

ගස මුලම හැරගිය
සමනලයා ගැන...

අහිතක් නැතත් දැන්
කිසිදු සලඹයෙකු ගැන හෝ...

සමනලයෙකු ගැන
දැන් හිතක් නැත...

ප්‍රේමය මියැදි කල
කුමට කවිකම්...

හදවත නොමැති ජීවයකට
කුමට මල් ලියකම්...

- චතූ

...
...

චතූ

පිස්සාගේ හදවත

හැමෝම කියන ආකාරයට
මට පිස්සු ය.🎭😐

මම පිස්සෙක් වෙමි...‼

ආත්ම ගරුත්වයක් ඇති
යුනික් පිස්සෙක් වෙමි...😐

ජීවිතේ පැරදුණු
දුක කවිකර මා තුළින් මා හොයන
සෞන්දර්යවාදී පිස්සෙක් වෙමි...🍃

මට කෑ ගසා කියන්නට
කතාවක් ඇත...⏳🔊

ගීතයක් කොට
ගයන්නට මට...
ගිතාරුවක් නැත...🎸

ජීවිතේ පරාජිත හීන
වියෝලයක් සමග ගයන්නට...🎻

මගේ දුක
ප්‍රීතිමත් තාලයකට...🎶🎶

ලෝකයට කියන්නට
මට අවැසිව ඇත...🎤

මිය ගිය හීන
වේග රිද්මයේ ඉහළ හඩ මැද...🎼🎵

වචන කොට ගිල්වා හැර
එහි දුකට දුම්මල අල්ලා...🔥

පලවා හැරීමට මට අවැසිය...🎳

මට යක් බෙරයක් වත් දියව්...‼️🔊

මම,
චතූ

...
...

චතූ

දවසක්

මම ආදරෙයි කිව්වා
තරම් මහ අහසක්...

උඹ ආදරෙයි කිව්වා
තරම් මහ පොළොවක්...

පෘථිවියෙන් වැඩි හරිය
වතුරනෙ කොහොමත්...

පොළොව තියෙන්නේ
පොඩිම පොඩි කොටසක්...

උඹ කියලා තියෙන්නේ
බොරු නෙවෙයි ඇත්තක්...

මමත් ගියේ
ආදරේ හොයාගෙන බොරු ගමනක්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 27 වැනි දා

...
...

චතූ

සිතුවම

බලාපොරොත්තු පොදි ගහගෙන
මේ ගමන යනකොට
අතරමග තනි වුනා
අපේ සිතුවමේ පැන්සල් ඉරක් උඩ...

පැන්සල කඩලා
විසිකරාම ඈතට
කොහොම අදින්නද
අපේ සිතුවම ඉතින් මම...

කාලෙකට පස්සේ
හුදෙකලා හවසක
ඔය අපේ සිතුවමේ
ලස්සනම කොටසක...

මම ගිලී ඉන්නකොට
නොදැනීම හිත යට
උපන් අන්තිම කදුලත්
වෙන් වුණේ උඹ නමට...

මම,
චතූ

...
...

චතූ

ඇත්තටම ආදරේ කරපු උන්

නොඑන්නම ගියාමත්
එනකල් මග බලපු උන්...

මතක මැකුනත්
පාට තවරපු උන්...

කවිකාර හීන
රහසින් කදුළු කරපු උන්...

දාහක් ප්‍රශ්න මැද
හොයලා බලපු උන්...

සදහටම ඈත් වුණත්
අමතක නොකරපු උන්...

මතක පිටු අතරේ
ආදරේ කවි කරපු උන්...

ඒ තමයි ලෝකෙ
ඇත්තටම ආදරේ කරපු උන්...

මම,
චතූ
2020 ඔක්තොම්බර් මස 27 වැනි දා

...
...

චතූ

අමතක නොකළ යුතු යමක්!

-රචකයා සහ සාරධර්ම-

අපි කවි ලියනවා
අපි කතා ලියනවා
අපි කවි කියවනවා
අපි කතා කියවනවා...

සමහර අයට වචන තියෙනවා
සමහර අයට වචන නෑ
සමහර අයට වචන නැතත්
රසවින්දන හැකියාව තියෙනවා...

ඒ නිසාම අපි ලස්සනයි කියලා හිතෙන
ලස්සනයි කියලා දැනෙන
ගොඩක් දේවල්
ආසාවෙන් කියවනවා...

ඒ කියවපු දෙයක්
අපි ආසා නිසාම
තවත් අයට බලන්න
වෙනත් තැනක ලියනවා...

ඇත්තමයි ඒක වැරදි නෑ
රසවින්දනය හැමෝටම පොදුයි
හැබැයි මතක තියාගත යුතු
එක දෙයක් තියෙනවා...

හැම නිර්මාණයකටම
අයිතිකාරයෙක් ඉන්නවා
ඔබත් සදාචාරාත්මක
රචකයෙක් වෙන්න...

ජීවිතේ ලස්සනම දේ
කියවීම සහ රසවින්දනය
මගෙ දෘෂ්ටියට අනුව
මම එහෙම හිතනවා...

ඉතින් ඔබේ නොවන දෙයක්
සදහන් කරනකොට
උපුටා ගැනීමක් බව
අමතක නොකර ලියන්න...

කුරුටු ගාන්න
ඕනිම කෙනෙකුට
අයිතියක් තියෙනවා
ඇත්තටම...

ඉතින් මොනවා කුරුටු ගෑවත්
සදාචාරාත්මක පුද්ගලයෙක් වෙන්න
අමතක නොකර
හිතට ගන්න...

මම මේ ලිව්වේ
හැමදාටම
හැමෝටම වැදගත්
මට හිතෙන සාධාරණ අදහස...

මම,
චතූ✍

...
...

චතූ

පණිවුඩයක්!

ගොඩක් කාලෙකට පස්සේ
නොහිතපු වෙලාවක...
පුරුදු කැඩුණු සිංහල

"Hii good morning Odin innawada mokatha karanne?"

_________ දැන් මොකද කියන්නේ _________


- "ඔව්. මම හොඳින් ඉන්නවා. ඔයාට කොහොමද?"

- "ඔව්. මං හොදින්."

- "නෑ. ඔයා නැතුව කොහොමද මං හොඳින් වෙන්නෙ?"

- "ඔව්. හොඳින් තමයි ඇයි මොකද?"

- "හොඳටම හොඳයි."

- "දැනට නම් හොඳින් ඉන්නවා."

- "ඕ. ඔයා?"

- "ඔයා ගිය දවසේ ඉඳන් මම හොඳින් නෙවෙයි. ඔයා ඒක දන්නවා."

- "ඔව්. ඔයා නැති නිසා ගොඩක් හොඳින් ඉන්නවා."

- "ආ...ඔව් එළ."

- "මම තවම යහතින් ඉන්නවා."

- "නෑ."

- "ම්...මං හොඳින්."

- "ඔව්."

- "තවම හොදින්."

- "මම හොඳින්. ඔයා හොඳින් නේද?"

- "මට හරි දුකයි. මම හොඳින් නෙවෙයි. ඔයාව ගොඩක් මතක් වෙනවා."

- "ඇහුවට තෑන්ක්ස්. මං හොඳින්."

- "හ්ම්..."

- "මගෙ නම්බර් එක ඩිලීට් කරලා දාන්න. ආයෙ ජීවිතේ කවදාවත් ම මට මැසේජ් තියන්න එපා."

- "මාව මතක් වුණ එක ගැන සතුටුයි.මං හොදින්."

- "මං හොඳින් වුණත් නැතත් ඔයාට මොකද?"

__________________________________________

මොකුත් ම නොකියා ඉන්නවා.
ඒක වඩා හොඳයි.

...
...

චතූ

______________දැන්වීමයි_______________

නේන බව දැනගත්තෙ
නෑවිත් ගොඩක් කල් ගතවුණු නිසා...😒

හංගගෙන ඇස් අස්සේ කදුළු
ලෝකෙටම පේන්න මම හිනාවුණා...😔

මතක පිරුවට ගිනිබත් කළත්
එකතු කරපු මතක මහ ගොඩක් තිබුණා...😒

නෑවිත්ම ගොඩක් කාලයක් ගියාම
මමත් ටික ටික තනිකමට හුරු වුණා...😊

හදිසියෙන්ම ඔබ ආයෙමත් ආවත්
මියැදුන හිතට පණ දෙන්න උඹට බෑ...😎

ඒ නිසා ගිය තැනක නැවතිලා හිටපන්👍
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෙ නෑ...😎

මම,
චතූ😊✌

...
...

චතූ

මතක පුරාවත

හැන්දෑවේ පිණි කැට
වලාකුළු අතරෙ හාදු තියනකොට...

ගගනතට ළං වෙන්න
තරු කුමාරියො හීන දකිනකොට...

රෑ පුරාවට මා වවුල්ලු
මට නොතේරෙන ගීත ගයනකොට...

අහංකාර පුරා හද
අද ඇවිත් නෑ අහසට අමාවක...

දන්නවද තාම තණ බිමට
හිරු එළිය ලස්සනට වැටෙනකොට...

සූරියකාන්ත මල් වලට
ජීවය පොවනවලු මද සුළඟ...

අහස් ගවුවෙන් එහා ඉමක
මට හොරෙන් ඉගිල්ලුනු මතක හිත...

මේග දූතයක් වෙලා
හීන දෙපාමුලටම ගෙනැල්ලද කොහෙද...

මැරුණු වැලලූ කතාවක
පිටුවෙන් පිටුව ආයෙත් කියවනකොට...

නොතේරෙන තැන් පහදන්න
ශබ්ද කෝෂයක් අවැසි නැහැ මට...

ජීවිතේ තක්සලාවෙන්
මම උගත් හැමදේම...

මේ තක්සලාවේ හැම ප්‍රශ්න පත්‍රයකටම
උත්තර ලියන්න සෑහේවි මට...

මම,
චතූ

Top writers