Nisadas / Writer / 💘තූර්යා💘

Writer Profile

    Circle Image
    💘තූර්යා💘
    Nisadas: 23

...
...

💘තූර්යා💘

සහෝදරත්වය

සම් නහර ඇට හරහා
ඇට මිඳුළු දක්වාම
ගැඹුරටම විහිදගිය බැඳීමය...

හදවතින් පොම්ප කළ
ලේ සමඟ මුසු වෙලා
ඇඟ පුරා විහිදගිය ශක්තියයි...

මව වූද, පියා වූද
ආගමද එයම වූ
කිසිමදා නොසිඳෙනා භක්තියයි...

අවසාන හුස්මපොද
නික්මගිය ඇසිල්ලෙන්
ලෝකයට ඉතිරිවන ධෛර්යයයි..

තරූ සමනළී

...
...

💘තූර්යා💘

දයාබර ගුරු පියාණෙනි...

ගිම්හාන ඍතුවට වසන්තය ඇවැසි මෙන්
වෙහෙසකර මඟියෙකුට ගිමන්හල ඇවැසි මෙන්
ක්ෂිතිජ ඉම ගගනතල රුවන් සේයාව මෙන්
වර්ණවත් කරන්නට පීදෙනා කැකුළු මල් මෙන්
ඇවැසි වන්නේ ඔබයි...
ඔබේ ඔය ශක්තියයි..

සඳක් සේ පායා විත් තරු නොමැති ගනඳුරට
ගඟක්සේ ගලාවිත් පිපාසිත බිම් කඩට
මහාමේරු පවුර මෙන් ඔබ කළ මෙහෙවරට
ඇත්තමයි වඳිනු ඇත දෙවියනුත් නුඹෙ නමට..

සංසාරේ බොහෝ දුර හමුවී ආ ලෙසට
ඉතින් අප හමුවුණේ කැලණි විදු සෙවන යට
ජීවිතේ නේක විධ දුක් සෝ තැවුල් මැද
ඔබ කළා මෙහෙවරක් අපේ රට ජාතියට
ඉතින් ඔබ ණය නැහැ පියාණෙනි
අපේ මේ මව් බිමට..

කාගෙන් නොලැබුණත් කීර්තිය ප්‍රශංසා
නුවරුන් ගැරහුවත් කර ඔබට නින්දා
යහපත මියනොයයි පැරදී කිසිමදා
සොබාදම් මාතාව පිවිතුරුයි සැමදා
එබැවින්,
ලැබෙනු ඇත ඔබට
දෙව් විමන් සැප
නිබඳ හෙට දිනේ...

....තරූ සමනළී....

...
...

💘තූර්යා💘

යථාර්ථය

දුක සතුට සමව පිරි
කඳුළ මෙන්ම සිනහවද
හොරෙන් සිතට එබිකම් කරන
ජීවිතය නමැති මංතලාවේ
බලාපොරොත්තු ඉටුකර ගැනීම යනු
කාන්තාරයේ සිසිලසක් සොයන්නාක් මෙනි..
බලාපොරොත්තුව කුමක් වුවත්
අපට නොලැබෙන දේ අපමණ වුවත්
නොලැබෙන දෙයට වඩා
ලැබෙන දෙය ඉතා අගනේය..
මෙදියත දහම එය බැවින්
දුක සතුට සමව විඳ දරා
තමා සතු දෙය ගැන
සෑහීමකට පත්වීම
නුවණැති පුද්ගලයාගේ ලක්ෂණයයි....

.......තරූ සමනළී......

...
...

💘තූර්යා💘

වෙන්වීම...

කවදාවත් හමු නොවන්න
වෙන් වුණේ ඇයි කියා
සිත නිතර විමසමින්
විඩාබර වී ගිහින්..

දුක් කඳුළු වගුරනා
වාර නම් අපමණය
ඒත් කරනට කිසිත්
නොමැති වී අසරණය..

දෙපා සිඹ අයදිමින්
ඔබෙ සෙනේ පැතූ මුත්
පිටුපෑම මිස වෙනත්
නොලැබුණිය කිසි සෙනෙහසක්..

ජීවිතය එපා මට
ඔබෙන් තොර වූ ලොවක
අයාලේ පා නොවී
මියදියන් හනිකටම..

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

අහිමි වීම..

ළෙංගතුකම හද තුළ පුරවාගෙන
ඔබත් දිනෙක ආදරයෙන් හමුවී
පෙමින් බැඳෙන්නට ඇති සුහදේ...

සහසක් තුරුයට අතිනත පටලා
ගව්වක් දුර ඇවිදින්න ඇතී...
අහසක් තරමට පෙම්කවි ලියලා
දවසක රහසින් දෙන්න ඇතී...

නිල් දිය කලතා නෙළුමක් නෙළලා
මගෙ හිස ඔබ සරසන්න ඇතී..
සුවඳක් හදතුළ මිහිදන් කරලා
ඔබ මට අහිමිව යන්න ඇතී..

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

මතකය...

මල් පිපිච්ච
පෙති පිරිච්ච
මිදුල පුරා
මල් වැටිච්ච
පාගගන්න දුක හිතිච්ච
අතීතයක් ඇත ගෙවිච්ච..

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

ජීවිතය

සුන්දරයි ජීවිතය
අසුන්දර නොවූ විට..
සුන්දරයි අසුන්දර වූ දෙය
සුන්දර යැයි සිතූ විට..
ජීවිතය අසුන්දර විය හැක
සුන්දර නොවූ විට..
එහෙත් ජීවිතය
සුන්දර කර ගත හැකිය
සියලු දෙය විඳදරා ගත් විට..

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

නැගණියේ....

ලෝකයක් එළිය කර
අවරගිරින් සැඟ වෙන්න
අර අදින හිරුන් දැක
නිදා උන් කුමුදුමල්
හිනහෙනවා ලස්සනට
මගෙ පුංචි නංගියේ...

නගාපන් දැඩි විරිය ඔය හිතට
පසෙකලා දුක් සුසුම් ඈතටම..
තබාගෙන ඔය දෙපය
මේ පොළෝ තලය මත
ගයාපන් නිදහසේ ගීතය
ඇසෙන්නට මේ මහත් ලෝකයට....

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

********

ගෙලෙහි පළඳා
හැඩ බලන්නටත් පෙර
ලෙහී විසිරුණු
ලාභ
මුතු පොටක් වැනිය
නුඹේ ආදරය....

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

??????????

ගිම්හානය රජ වුණාට
යෞවනය දිය වුණාට
කඳුළු වැල් ගැළුවාට
හැඟුම් පර වුණාට
හීනයක් විතරක්ම වුණාට
හඬන්න එපා නුඹ හන්තානී....

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

අම්මා...

දිවියෙහි අඳුර දුරු කර සඳ මඩල වගේ
හදිසියෙ දිවංගත විය මව්තුමිය මගේ
ගුණ සමුදාය අඩු නැත මහ සයුර වගේ
දින දින වැඩිවේය අම්මේ ඔබගෙ අගේ

ඔබ මා නිසා අපමණ සතුටක් වින්ද
සැමදා කෙළින්, ඇද නැහැ ඔබෙ පිට කොන්ද
තෙපළූ වදන් හරි පුදුමයි මන නන්ද
ඔබ නැති වුණත් මම සමරමි ගුණ කන්ද

පුහු නම්බුවට ආටෝපෙට කැමැති නැත
මසුරු සිතක හැටි කොහොමද දන්නේ නැත
කිසිදින පවට ඔබ සිත යොමු කළේ නැත
අම්මේ ඔබය මා දුට එකම පින් කෙත

පෙරටම යන්න ආපස්සට නොම යන්න
මසුරන් වටිනවා දුන් ඔවදන් ගොන්න
අම්මා නොමැති දුක බැරිමුත් ඉවසන්න
අම්මේ අමාමහ නිවනින් සැනසෙන්න


( ආදරණීය මෑනියණි, නුඹට නිවන්සුව ලැබේවා!!!!!)

🌹තරූ සමනළි🌹

...
...

💘තූර්යා💘

කවිය...

අම්මා....


🌹තරූ සමනළීි🌹

...
...

💘තූර්යා💘

අහිමි පෙම...

සඳරටා පැතූ අහසට
තරුවකද නොලැබ යන සඳ
දුක නොහිතුනොත් නොවෙද පුදුමය...

🌹තරූ සමනළී🌹

...
...

💘තූර්යා💘

මගේ නොවූ ඔබ කාගෙද???

සඳ තනියම උන්නු රෑක
තරුවැල් ඇවිදින් තනියට
සඳවතියව සනසවන්න හදනවා...

මල තනියම පිපුණුදාට
මලට ඇදෙන සමනළුන්ට
මලේ විරහා වේදනාව දැනෙනවා...

ගල්කුළු කඳු බාධක මැද
ගලන ගඟට සුවය දෙන්න
සයුරක් කොතැනකද කියා සිතෙනවා...

මම තනියම සිටිනා විට
කඳුළැලි නෙත පිරෙනා විට
මගේ නොවූ ඔබ කාගෙද සිතෙනවා....

💖💖තරූ සමනළී💖💖

...
...

💘තූර්යා💘

තාරකාවියේ...

මහවැසි නොලැබුණත් මසිත සොම්නස් මැවිණ
වැටෙන එක දිය බිඳෙහි සිසිල නැහැවී තිබිණ
ගණඳුරින් සිත පිරුණු අමාවක දා රැයක
සඳක් වී එළිය දුන් තාරකාවිය නුඹය...

💖💖තරූ සමනළී💖💖

...
...

💘තූර්යා💘

හදගැස්ම....

හුදෙකලා මොහොතක
තනිවෙන්න ඉඩ නොහැර
හැමවිටම හද ගැහෙන
දෙකොපුල් වසාගෙන
උණු කඳුළු වැටෙද්දී
ඇසෙන ඒ එකම හඬ
හද ගැහෙන රාවය
නොවේද????

💖💖තරූ සමනළී💖💖

...
...

💘තූර්යා💘

අධ්‍යාපනය

අඳුරු අහසෙහි සරා සඳ බබළයි
තරුබරණ පැළදි විට...

මුදු කුසුම බඳු ළඳක්
සුවඳ දී හිනහෙයි
හිමිබරණ පැළඳි විට...

සම විසම පය තබන
මිහිකත දිළෙයි
රජුබරණ පැළඳි විට...

නමුත්....,
ඔබ,අපි සැම
දිළෙයි සැමදා මෙදියත
සිප්බරණ පැළඳි විට...

💖💖තරූ සමනළී💖💖

...
...

💘තූර්යා💘

මිතුරියේ.....

ජීවිතේ සැනකෙළි නිමාවී..
මිතුදමේ කඳුළැලි ගලාවී..
ඔබ සොයාගෙන එන්න හිතුණත්,
ඔබ මගේ ළඟ නෑ දයාවී...

උදේ හිරු එයි, කුසුම් පුබුදයි..
පුබුදු වූ මල් සුවඳ පතුරයි..
සොබාදහමේ සොඳුරු සිතුවම්,
අසිරිමත් වී දෙනෙත පොපියයි.
ඒත් ඔබ නැති ලොවක තනි වූ,
විටදි මට මුළු ලොවම අඳුරුයි...

සහසක් තරුමල් පිපුණු නුබ ගැබ,
මැණික් පළසක් වගේ බබළයි..
ලොවට රහසින් සඳ නැගී විත්,
තාරකා මල් අතර ඇවිදියි..
ඒත් ඔබ නැති ලොවක මට හිමි,
මිතුරුකම දුන් සුසුම විතරයි...

💖💖තරූ සමනළී💖💖

...
...

💘තූර්යා💘

????????

තාරකාවක් හඬා වැළපෙන
කඳුළු නුඹගැබ සඳ අරාගෙන
සීත තුන්‍ යම හීන බිඳගෙන
නුඹේ සිත අද මගෙන් සමුගෙන...

නීල කඳු තුඩ විහඟ ගී නද
පෑව ගියත් එක නිමේශයකින්
නුඹේ වත මට පුරසඳක් වූ
අනන්තය අද තවම මා ළඟ...

නුඹේ අසපුව දුරින් සිත අග
මගේ අසපුව විලක් හද තුළ
නෙලන්නට මල් සුපිපි තුරු හිස
නුඹ මලක් මට හදම මත් කළ...

නුඹේ හිරු ලොව මගේ හිරුමය
රැයේ සඳු ඔබ මගේ සඳුමය
දෑල තෙර හිඳ හමුවුණේ එය....

🌹🌹තරූ සමනළී🌹🌹

...
...

💘තූර්යා💘

සිතන්නට යමක්...

මේ රටේ අනාගතය ගැන කතා කරන
දේශපාලඥයන් තර්ක කරන්නේ සැබැවින්ම රටේ යහපත වෙනුවෙන්ද.....???

අනාගත ශ්‍රී ලංකාව 🇱🇰
පලස්තීනයේ
ගාසා තීරය වගේ වේවිද???
එසේත් නැතිනම්
මෙගා සිටි වලින් පිරුණු
රටක් වේවිද???

ඉංග්‍රීසි පාලකයින්ගෙන් පසු
රට වෙනස් කරන
කිසිදු ව්‍යාපෘතියක්
ඌණ සංවර්ධිත
සමාජ ආර්ථික ඓතිහාසිකත්වයකින්
සාර්ථකත්වය කරා
ගෙන යාමට
නොහැකි වූයේ ඇයි....????

1970 සමඟි ආණ්ඩුවත්
1977 ජේ.ආර් ගේ ධර්මිෂ්ඨ සමාජයත්
ලංකා පොළව මතදී
තම මෙගා ප්‍රොජෙක්ට් ඇණගෙන
මරු වැළඳගත්තේ ඇයි...???

නොදත් අනාගතයක
දොරටුව අභියස සිටින අපට
ඉදිරි මාස කිහිපය
තීරණාත්මකය..

අවදියෙන් සිටින්න..
මේ නිමේෂය
අප බොහෝ දෙනෙකුගේ
දෛවය තීරණය කරන
මොහොතකි....

🌹🌹තරූ සමනළී🌹🌹

...
...

💘තූර්යා💘

💘 ආදරය💘

ආදරය කියන්නෙම
අදහනා ආගමක්
කෙළෙස් සපිරෙන බවම
දැන දැන...

නවතින්න හිතෙනවද
ඔය හිතට රත්තරනේ
දකින ගැවසෙනා තැන තැන...

නපුරුකම් දුෂ්ඨකම්
කරන කොට රිදෙන බව
කියනට ඕනැමද ඇන ඇන...

ආයෙමත් එනවානම්
බලාගෙන හිඳින්නම්
කල්පයක් වුව ඇඟිළි ගැන ගැන...

ඔය හිතට දැනෙන තැන
නවතින්න මගේ පණ
ආදරෙයි හැමදාම මේ මම...

💘💘තරූ සමනළී💘💘

...
...

💘තූර්යා💘

💖💖💖💖💖💖

ලොවෙන් සැඟවී ලොවට රහසින්
ඔය ළමැදේ මට ගුලි වෙන්න....
තරු කැට විසිරුණු සොඳුරු නිශායම
හෙමිහිට ඔය තොල් සිප ගන්න...
පපුතුර ගැඹුරේ නුඹගේ නාමෙට
පූදින පෙම් හැඟමන් ගොන්න..
මසිතට රිසි සේ මුදාහරින්නට
සුදු මැණිකේ මට ඉඩ දෙන්න...

දෑඟිලි පටලා සුරතේ වෙලිලා
එනවද මා සමඟින් යන්න...
මගෙ මුවගින් ගිලිහෙන ගී ස්වරෙට
හැකිවෙද අත්වැල අල්ලන්න...
අපගේ සුන්දර ප්‍රේම පුරාවත
පදවැලකට අමුණාලන්න...
සඳවතියේ නුඹ මගෙ සිත් අහසේ
හැමදාමත් දැන් පායන්න....

🌹🌹තරූ සමනළී🌹🌹

...
...

💘තූර්යා💘

අරුමැසි සෙනෙහෙ....

නුඹෙ පුළුල් පපුතුරට සෙනෙහසින් ළං වෙන්න...
හද ගැහෙන ඒ රාවේ නිහඬවම විඳගන්න...
ආදරය පිරුණු නෙත් පතුලේම කිමිදෙන්න...
සුදු මහත්තයෝ ඉතින් මෙමට අවසර දෙන්න...

පාළු මගෙ දිවිය වෙත සෙනේ දියවර මුදා...
ඒ සොඳුරු සිසිලසෙන් මාව සුවපත් කළා...
නොයිඳුල්ම මගෙ සෙනෙහෙ නුඹේ නමටම පුදා...
නුඹේ සිත්මලට වී හිඳිමි මිහිරි සුවඳක් වෙලා...

පින්සාර නුඹේ සිත ළඟ දැහැනකට සමවැදී ...
උවැසියක ලෙස හිඳිමි නුඹෙ නමට පේවී...
මතු මතුත් ඉපදෙන්න නුඹෙ නමින් සසරෙදී..
පුරන්නම් පාරමී යශෝදාවක්ම වී...

Top writers

Stay in touch