Nisadas / Writer / 🌹නදී 🌹

Writer Profile

    Circle Image
    🌹නදී 🌹
    Nisadas: 32

...
...

🌹නදී 🌹

සරසවිය මා සෙව්ව..🖋️

නොබිදුනු සිතක
සංකල්පනා එක්වූ
අනාගත පැතුමන් ගොන්න
පැතුමක්ම සේ සැගවිලා
බිදුණු සිතකට ඇරයුම් කරයි දෝ....

මලානික නෙතු අගින්
දුක් කදුලු ගලාවිත්
දෙකම්මුල් තෙමා
දෝරේ ගලා යයිදෝ.....

සරසවිය මා සෙව්ව
හිමි නැතිය අද එන්න
වැසුනි දෝ... ඒ විසල් දොර
ලබන වසරට අගුළු දා.......

මව්ගෙ හද මඩළ
පියතුමගෙ හද මඩළ
තුල රැදුනු මා නොදත්
සිහින මාලිග....
බිදුණු සොවින් තැවේදෝ.....

නොදනි මම තවම
මේ වේදනා නිවෙන දවස....

...
...

🌹නදී 🌹

එකම විදියට හිතන
එකම විදියට දකින
එකම විදියට පතන
එකම විදියට ඇදෙන
ලොවක් වූවානම් මෙලොව....
අදුරු නෑ කිසිදාක.

...
...

🌹නදී 🌹

කිසිදාක හිස් නොවන
කිසිදාක තනි නොවන
නගරයෙ කොනක සිටගෙන
නෙතු අයාගෙන හැම දින
හිරු නැගෙන සිතිජයෙන
හිරු බැසෙන සිතිජයෙන
හෝ හෝ සුමුදු රළ සිඹින
වෙරළ දෙස බලාගෙන....

උදේ සිට රෑ තුරා
කඩිමුඩියේ දුවයන
නා නා විදියෙන් යුක්ත
ඇදුම් පැළදුම් වලින් සැරසුණු
ගැහැණුන්ය පිරිමින්ය.....

අනුන් හට අත පොවන
හිගන්නන් එක පසක
කඩල අඹ විකුණමින්
තද අව්වෙ වේලෙමින්
තවත් පිරිසකි අනෙක් පස...

නාද නගමින් ඇදෙන
නොයෙක් රථ වාහන
මා පසුකර හඹායන
පෙරහැරකි දිගටම ඇදෙන.....

ඒ අතර සෙවණක් සොයා
ඇදෙන මහ ජනයාට
සෙවන සලසන මා.....
ගස් වලින් හිස් වුනු
මාතර පුරවරයෙහි
කොනක සිට
නගරයේ වත ගොත සොයන
යෝධ නුග රුක වෙමි..

නදී

...
...

🌹නදී 🌹

මා දයාබර මිතූ....

සයුරු වෙරළේ පාද සටහන්
සුසුදු රටකින් මැකී යයි...
අහස් ගැඹ තුළ ඇදෙන දේදුනු
මොහොතකින් සැගවිලා යයි.....
අහස් කුසයෙන් වැටෙන දිය බිදු
මහ පොළොව තෙම ගලා යයි.....
එහෙත් සොයුරිය අපේ මිතුදම
මියෙන තුරු එක වගේමයි....

නදී..

...
...

🌹නදී 🌹

නාග රාජයෙකුසේ විස ඇති
සිතුවිලි නොයෙක
අසරණ කරයි දිවි තලාවේ
යැදුම....
වරෙක කෙළිදොල් සිතුම්
වරෙක සරුවල් සිතුම්
දෙකම එක වහල යට
කෙසේ මැවුනිද
විශ්ව ලෝකය...
නදී....✍️

...
...

🌹නදී 🌹

ඉඩෝරය දරුණුය.
ඉරි තැලූ පොළෝ තලය
හරහා වේගයෙන් හමායන
උණුසුම් සුළං පොද
ගත දිගේ වැගිරෙන
රන් දහදිය බිදු
ගෙල දිගේ රූරා වැටෙද්දි
ධාරානිපාත මහ වරුසාව
තම කැදැල්ල වටකරන් ගොස්
රූරා ගිය රන් දහඩිය මුසුව
වගා කල රන් අස්වැන්න
සුනුවිසුනු වී යද්දි
අටලෝදහමින් අකම්පිතවූ
අධිෂ්ඨානය උත්සාහය මැද
දරු පවුල තම රැක ගන්න
දිරිගන්න දෙවියන්වන්
දිරිය මිනිසුන් අදත් වැඩ ඉත්.....

නදී..,✍️

...
...

🌹නදී 🌹

අධික රශ්මියෙන් ගත සිත
වෙලාගෙන..
මද නල පහසක් විදුමට
හසරක් නැතිය..
දහඩියෙන් මුලු ගත්හ
නැහැවුනු ලෙසය..
බිමට නෑමට ජලයත්
අඩු ලෙසය..

මම හෙට ෆෑන් ගෙන එන්නෙමි
රස්නයට..
මම හෙට වතුර ටැංකියකුත් සාදන්නෙමි ජල හිගයට..
යනුවෙන් නැගෙයි හැම දිනයකමත්
හරි හරියට..
බෝඩිමේ බිසෝ ඇන්ටිගෙ
බොරු කියවිල්ල..

හැමදාමත් පිසෙයි බතකුයි
දිය පරිප්පුව යි..
තෙල් බේරෙන ලුණු වැඩි
කරවල බැදුම යි..

පාඩම් කරන මේසය
චිරි බිරි ගාතී..
කාමරයේ ජනෙල් එල්ලි
පැද්දෙනවා..
විදුලි සුවිචයද ඇත්තේ
එල්ලෙමිනී..

යන්නට දැන් තැනක් නැත
දැන් කල් ගත වීලා..
විභාගය පෙනෙයි ලග ලග
ඉගි පාලා..

මෙහෙමත් බෝඩිමක් ලැබුවේ
පෙර මොන කරුමෙටද?

නදී..✍️

...
...

🌹නදී 🌹

උසස් පෙළ.🖋️

අවුරුදු දෙක හමාරක්
උසස් පෙළ යැයි
විභාගයකට සැරසිලා...
ගත නොම වෙහෙසුනා
හිත ගොඩක් වෙහෙසිලා..
ලැබුමට දැනුම පාඩම්
වැඩ පොත් අතරෙ හිරවලා..
ජීවිතේ සොදුරු බව
කටු අත්තක සැගවිලා..
හිතට නැත නිදහස
විභාගය අද එළඹිලා..
නැගෙයි කල පාඩම්
පිලිතුරු පතේ ගොනුවෙලා..
මා නොකල පාඩම්
දුටුවිට ගතම වෙව්ලා..
ඇතිවුනේ මහ දුකකි
හිනහි නෙතු අද වැලපිලා..

නදී..✍️

...
...

🌹නදී 🌹

😷😷

සබද,
ඔබ මා සමග
තරහයිද,
මා නොදනි..😠

මග තොටේ
නෙක වෙලේ
හමුවෙලා
අපි මෙහෙම..

නෙතු වලින්
ඉගිකරා
දසන් නොවිදාම
මුණගැසුණු
හැම වෙලේ..😶

දසන් විදහා
යලිදු
ඔබ සමග
හිනහෙන්න..😄

අවසරද
මට ඔබෙන් ,
කොරෝනා
යලි නික්ම
යනදා....

නදි..✍️

...
...

🌹නදී 🌹

මතකයන් එක්කරන් ගෙවුනු
පාසල් ජීවිතය
මගේ අම්ම වගේම හදවතට දැනුන
තවත් හදවතක් තිබුන..❤️

ඒ හදවත ඇතුලේ
දයාව සෙනෙහස උතුරන තරම්
මම මගේ අම්මට තරම්ම
ගරු කරන මගේ ආදරණීය
කුසුම් ගුරුතුමිය..

මාව යටකරන්න ආව ගොඩක් බාධක වලදි මා එක්කම හිටිය
මගේ හදවතට දැනුන
හොදම ගුරුතුමිය..

ඒත් එක මූසල දවසක්
කාගෙන්දෝ මන්ද
දුරකතන ඇමතුමක් ඇවිත්
කිව්ව දෙයක්😱

මම බෝඩිමේ
ඇද උඩ ඇදගෙන වැටුන..

"කුසුම් මිස් නැතිවෙලා"
අනේ...😰

මගේ ආදරණීය ගුරුතුමිය..
ඇයි දෙයියනේ මෙහෙම වුනේ?
මොනතරම් නපුරු මිනිස්සු
තාමත් ඉන්නවා ඒත් ඇයි
මගේ ගුරුතුමියට මෙහම වුනේ...

මම හඩ නගා හැඩුව
ඉකිගසා හැඩුව
දෑස් පියාගෙන සිප්හලේ ගුරුතුමිය
සමග අතීතෙටම ගියා..😢

ජීවිතේ කියන්නෙ
මෙහෙම තමයි දුව
පරිස්සමින් ඉන්න ඉදිරියටම යන්න.
හීනෙන් වගේ කියනව ඇහුනා
මම දෑස් දල්වා බැලුව
මගේ ආදරණීය ගුරුතුමී
මගේ ඉස්සරහ😯

මම ගොළු වෙලා
කතා කරගන්න බැරිවුනා.
මම ඇසිපිය නොහෙලා
බලාගෙන හිටියා...

මගේ ආදරණීය ගුරුතුමී...

නෑ කවුරුත් ම නෑ මගේ ඉස්සරහ
මගේ ගුරුතුමිය ඉන්නෙ
මගේ ළගමයි
මගේ හිත ඇතුලෙමයි..😐

නදී..✍️

...
...

🌹නදී 🌹

දෙව් ලොව ගිය අත්තම්මා..

දත් ටික වැටී ගත රැලි වී වෙව්ලුවට..
නුඹේ උණුහුමේ දැනුනා
පෙර ලෙස අපට..
කාමරයේ කෙදිරිලි හඩ
ඇසෙන විට..
ශක්තිය වුනා නුඹ
තවමත් සිටින වග..

කවා පොවා නහවා
හිස පීරු විට..
කිසිවක් කතා නොකරා
ඔබ සිටියාට..
අප වෙහෙසුනා ඔබහට
තව ආයුෂ ගෙන දෙන්ට..
අහෝ දුකකි ඔබ ගියෙ ඇයි
දෙව් ලොවට..

ඔබ නැති අඩුව දැන් දැන්
ගෙයි පාළුවට..
දැනෙයි මහ තනිකමක්
ගෙල සිරකරන වග..
ගෙමිදුලේ නුඹේ වතුසුදු
මල් වැටද..
තාමත් අසයි නුඹ
ආයෙත් එන්නැතිද..

දෙව් විමනේ පරසතු මල්
සුවද හමනවද..
එය විදගන්න අප තවමත්
දුරවැඩිද..
ඔබ ගොස් එහි දැන්
තුන්මසකට ළගා වෙලා..
අපි නැති අඩුව නූඹටත්
එහි දැනෙනවාද..

දං පිං දී නුඹේ ගුණ කද
සිහි කරමී..
නුඹේ වියෝවෙ දුක
මෙලෙසින් යටපත් කරමී..
පතන බෝධියෙන් මොක්සුව
ලැබගන්න..
පතමි එක් සිතින් මම
මෙලෙසින් ඔන්න..

මගේ ආදර අත්තම්මා.

නදී..✍️

...
...

🌹නදී 🌹

හොද දොස්තර නෝන කෙනෙක් 👩‍⚕️

ෆොමලින් වාෂ්පෙට
කැරපොත්තො ගෙම්බො
බිලි වුනෙ පවට පින දී ගන්න වෙන්න හොද
දොස්තරනෝන කෙනෙක්..

ගබඩාව හිස් කරන්
ආවර්තිතා වගුවෙන් බාගයක් දියවුනේ පිච්චුනෙ
වෙද කම හොද හැටි
දන්න වෙන්න හොද
දොස්තර නෝන කෙනෙක් ..

නිව්ටන්ගෙ නියමයන්
ආකිමිඩ්ස්ගෙ නියමයන්
යාන්ට්‍ර විද්‍යා නියමයන්
හැම එකක්ම ඉගැන්නුවෙ
තාර්කිකව හිතන්න පුලුවන්
වෙන්න හොද
දොස්තර නෝන කෙනෙක් ..

හොදහැටි හදාරා ජිව විද්‍යා රසායන විද්‍යා වගෙම භෞතික විද්‍යාවද
මටත් ආසයි දවසක වෙන්න
හොද හදවතක් ඇති
දොස්තර නෝන කෙනෙක් ..

නදී ..✍️

...
...

🌹නදී 🌹

කිරි දියරක් සේ නොගැලූ සෙනේ
දිය දහඩිය කදුලැලි වී
ගැලුවා .....
පැතුවත් ඔබහට නොහැකිවු
සිහිනෙට මා යන මාවත
එලිය කලා .....
වැටුනත් නැගිටා පෙරටම
යන්නට ඒ හැම විටකම
දිරි දුන්නා ......
තාත්තේ නුඹ මේ පිං
මහිමෙන් නිදුක් බවින් නිති
වැජඹේවා ....

නදී..✍️

...
...

🌹නදී 🌹

අම්මා .....

"අ"යන්නෙන් පටන් ගත්
හෝඩි පොතේ මුල් අකුර....
ආදර අම්මා ලෙස ලියන්න
ඉගැන්නූ මුල් ගුරුතුමිය....

තාත්තා සමගින් අපට
ආදර දයාබර නෙතින්
නිමක් නැති සෙනෙහසක්
පැතිර වූ සෙනෙහෙවන්තිය......

තෙරක් නැති කතා කෝච්චි
නිමක් නැති පුංචි රහස් සවන් යොමා හිත ඇතුලෙම රදවගත්
සොදුරු හිතවතිය......

ජීවිත මාවතේ ඉදිරියටම යන්න
නිර්ලෝබීව සවි දුන්න
ඇගේ දුක හංගාගෙන අපේ සතුට ගැනම සිතූ පරිත්‍යාගවන්තිය...

ආදර අම්මා.........❤️

නදී ..✍️

...
...

🌹නදී 🌹

---------

කොළ පැහැයක් නොපෙනෙන මානයේ....
මහ කතරක විලාසය පෙනෙයි ඇස් ඉස්මත්තේ....

කර්කශ පොලෝ තලය මැද මිනිසා අයදියි මෙදානම්.....
දෙන්න මහ වරුසාව🌧️
නිවාලන්නට ඉඩෝරය.....
------------

පලාවර්ණ තුරු ගොමු
හැම මුලිනුපුටා...
දිය උල්පතක් පාසා සැම
සුන් කරලා....
තමන් නමට ලියවී ඇති
දේ ලෙසටා...
කටයුතු කරයි ඇතමෙක් අද ඊයේ
උපන් ලෙසා....


කුරිරු මිනිස් ගතියට
දඩුවම් දීලා....
අව් රශ්මියෙන් දවනව
ගත සැප නොතකා....
සොබාදම නොඉවසයි තවත් මෙදා ....
පාඩම් කියා දෙයි
හොද නොහොද කාටත්
අග මුල සිහිකරලා....

නදී..✍️

...
...

🌹නදී 🌹

නොසිතූ දිනයක
නොසිතූ මොහොතක
නෙතු කදුලින් තෙමා
ඇය නික්මුනා ආයෙත්
නොඑන්නම .....

විදු මවම හඩවලා
ශේත වර්ණෙන් සරසලා .....
අදින් වසරකට
එහා.....පොත් ටිකත් පසෙකලා .....
ඇය නික්මුනා
ආයෙත් නොඑන්නම ......

ගුරු මවකි හොදම
යෙහෙළියකි ඇය
සිත් සතන් සනසවාපූ.....
දැනුම් කෙතකි මහා
සිප්කිරෙන් අප තෙමාපූ ....

ඇය තැබූ හිස්තැනට
වසරක්ම ගතවෙලා...
හීනෙකින් වත් ඇයට
හැකිනම් යලිත්
නොයන්නම එන්න.....
-------------

දයාබර කුසුම් ගුරු මව්ගෙ
ගුණ කන්ද
ශිලා ලිපියක් ලෙසින්
හද පත්ලේ
තැන්පත් වෙලා.....
පද පෙලක් මේ ලෙසින් කැටි වෙලා ලිය වුනා....


🌼🌼🌼🌼🌼🌼🌼🌼
(2021.01.29ට යෙදුනු කුසුමලතා ගුරු මවගේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් )
🌼🌼🌼🌼🌼🌼🌼🌼
නදී ..✍️

...
...

🌹නදී 🌹

කිරිල්ලියකගේ කදුලු කතාවක්..

වෙල්‍ යායේ එගොඩ ගොඩේ
සපු ගස මුදුනේ
කෝටු කෑලි පරඩැල් යහමින් ගොතමින්නේ
පැතුමන් ගොන්නක් පොදිබැද සෙනෙහෙ කැදැල්ලේ
රැක්කා නිල් මැනිකක් සේ
පුංචි බිත්තරේ

ලැබුනු මගේ උනුහුම යට
වහන් වෙලා
දුටුවා මම මගේ පැටිය
මෙලොව බිහිවෙලා
උතුරා යන මහගු සෙනේ
දෝරෙ ගලාලා
පියතුමා සමගින් මගේ
තුටුකැන් ලියලලා

මගේ පුතුනි නුඹ ඉපදුණු
ඒ උදෑසනේ
මමත් පියත් ගියා එදා
කෑම සොයමිනේ
රැක සිටි මහ නපුරු පූස
දුටුව අප අනේ
පැන්න ගමන් අල්ලගත්ත
පියා පුතෙ නුබේ

නෙතට ආපු කදුලු බිංදු
හිතෙහි හිරකරන්
රැක්කා මහමෙරක් උසට
නුඹව පණ ලෙසින්
මසක් පුරා කවා පොවා
උස් මහත් කරන්
පියඹවන්න සිතුවා නුඹ
හෙට උදෑසනින්

ආව අදත් කෑම සොයා
හැමදාම වගේ
දුටුවා පොඩි පණු පැටියෙක්
තාර පාරෙදී
නුබ කැමතිම ආහාරය
එයම පමනකී
මතක් වෙලා මට එතකොට
සිනහ ඉනුවනේ

ඒත් පුතුනි එන්නට බැහැ
මට සමා වෙයන්
හිතක් නොමැති වාහනයක්
මාව යට කරන්
මතක් වුනේ නුඹ පමනකි
මාගෙ රත්තරන්
අදින් පසුව බාරකරමි දෙවියන්හට මගේ රන් පුතුන්

නදී ..✍️

...
...

🌹නදී 🌹

ආදර මගෙ පුංචි වෙත..✍

සසරෙ සුපුරුදු සෙනෙහෙ සුළගකි
හමන්නේ මා සිත වෙලා ගෙන
නුබෙම දියණිය වාගෙ මා වෙත
හෙලන්නේ කෙලෙසකද නුබේ ඔය නෙත

පුංචි සංදියෙ මා වඩා ගෙන
නැලවුවා මතකයි අද වාගෙම
පාට පාටින් ඇදුම් ගෙනවිත්
හැඩකලා මතකයි අද වාගෙම

පාතැබුව මා යොවුන් විය වෙත
තුටු සිතින් මා සමීපෙට ගෙන
නොවන්නට අතරමං දිවි මාවතේ
නිවැරදි මගක් පෙන්නුවා නුඹ

මවට පමනකි දෙවෙනි නුඹ මට
ලගම හිතවතියයි මසිත සනසන
කොනකවත් නැත සිතේ කහටක්
දිරිය දුනි මගෙ දිනුම ලැබුමට

නුබෙන් මා වෙත පිදුනු සෙනෙහෙට ණය ගැතියි මා නුඹට සැමදින
පතමි ආසිරි නුඹට අද මම වේවා නිදුකින් වැජබෙන සුබම සුබ උපන් දිනක් ......

නදී..✍️

...
...

🌹නදී 🌹

තාත්තේ මගේ...✍

තැවෙමි මා හද විලම
දුක් සුසුම් නෙක මුසුව
දෙපා මුල වැටී නුබෙ
ඉකිගසා හඩමි මා
අයදිමින් සමා.........

නුපුරුදු නුබේ බැනුම්
සුපුරුදු අම්මගෙ බැනුම්
අහස පොළවසේ මට
දැනේ වෙනසක්
ගලපගනු බැරි ලෙසම....

කමාකරනු මැන
නොකරමි යලිත්
කිසිවිටෙක සිත් රිදුම්....

ඇහුවත් නුබෙන් බැනුම්
තරහ නෑ මං,
නුබේ දෝනි ඉතිං.....

නදී..✍️

...
...

🌹නදී 🌹

හද ගිනි ඇවිලී
මසිත දවාලූ
කදුලැලි දෙනෙතට
උරුම වෙලා....

හද විල කැලබූ
සුපුරුදු හැගුමක
පැතුමක් පමනක්
ඉතිරි වෙලා.....

හද මගෙ සුපිපුනු
පෙම්බර හැගුමට
උපන් ලෙසම
මියදෙන්න වෙලා.....

නදී..✍️

...
...

🌹නදී 🌹

🎻🎶

සංගීත පංතියේ කෙලවරේ
තත් සුසරකල මගේ වයලීනයෙන්
උච්ච ස්වරයෙන් වැයූ ගීයක
තනුව අද නෑ මතකෙට මගේ..🎻🎶

තනිකම රජයන මන්දගාමී සැදෑවේ
සුසර බව ගිලිහිච්ච මගේ වයලීනයෙන්ම
වයමි අද මා මන්ද ස්වරයෙන්
පැරණි ගීයම නවමු තනුවට මෙසේ.......🎻🎶

නදී..✍️

...
...

🌹නදී 🌹

සිතක් හඩනවානම් හොර රහසේම හංගා කදුලු කැට...
හිරකරලන්න නොහැකි මුත් පෑරුනු
සිත් වේදනා සැම.....
පැතුමක් පැතුවානම් ආසිරි ජය පතලා කහටක් නොමැතිවම....
සිතක් තුටු වේවි යන මාවත දැක හද පත්ලෙන්ම.....

නදී ..✍️

...
...

🌹නදී 🌹

මග හැරුනු නුබේ නෙත
මගේ නෙත් මානයෙන්......
තවමත් පීරා සොයමි මම
නුබේ නෙතු කොතැනක කියා.....

මතක බිදු හද කොනක
සිරකරන් සිහිනයක් සේ......
හිත් හදාගමු ඉතින් ප්‍රේමයත්
අමරනීයවූ පරිත්‍යාගයක් සේ.....

මුනගැසුනු මුත් කෙදින
නෙතු පියන් එකිනෙකට ගැටිලා....
ඉමු දුරින් නාදුනන ලෙස අපිත්
සිතින් පමනක් ලංවෙලා.....

නදී ..✍️

...
...

🌹නදී 🌹

සොයුරෙකු ලෙස නාවෙ මන්ද .....

අම්ම තාත්තගෙ සෙනෙහස
හොරා ගත්ත නුබ කවුරුද
මුලු ගෙදරම පාලු මකන නුබත්
සොයුරෙකු ලෙස නාවෙ මන්ද

එක ලය පලා නොඉපදුනට
නුබ මනුසත් කුලයේ
නුබයි පුංචි පුතු අද
නැලවෙන අපෙ නිවසේ

එක් දෑසක් නොපෙනෙන මුත්
නුබේ පියකරු ගීත නාද
අසමින් මම තැවෙමි නුබට
නිදහස අප දෙනු කෙලෙසක

කටකාර නුබෙ වචන
අසමින් දවස ගෙවන මම
ආදරෙයි අපෙ චූටි මැනික
මගේ පණටත් වඩා නුබට

පතමි මම මතු උපදිනා
සැම බවයෙකම යලීදු
එක මව් කුසේ ඉපිදෙමු
අපි සොයුරන් විලස පතා..

නදී ..✍️

...
...

🌹නදී 🌹

😥😥

මුල් බැසගත් දුකක්
මගෙ හදවතේ ඇති ~~~~~
සිත් වේදනා කිසිත්
නිමක් නැති~~~~~
සතුටක් කියා නාමයක්
අහලකවත් නැති~~~~~
දෛවය මගේ මෙලෙසින්
ලියවිලා ඇති~~~~~

නදී..✍️

...
...

🌹නදී 🌹

හිතේ තියෙන දුක හංග ගෙන
අනුන්ගෙ සතුට ගැන හිතන......
අනුන්ගෙ දුකත් තමන්ගෙම කරගෙන ඊට විසදුම් හොයන .....
තමන්ගෙම දෙයක් හරි කැපකරල
අනුන්ගේ සිත් සනසන......
සමහර ජීවිත වල දුකේදිත්
සැපේදිත් හුදෙකලාව රජයන.....

නදී..✍️

...
...

🌹නදී 🌹

පොතින් පතින් ලත් පාඩම් විභාගෙට.......
ජීවත් වෙන්න හොද පාඩම්
සමාජෙට.....
උගෙන ගත්ත මුත් ඇතමෙක්
දිවි පුරාවට....
කෙසේ නම් කිව හැකිද මිනිසගෙ උගත්කම....❓❓

දහසකින් අයෙක් ගුණ දම් සමගින් පතුරන මනුසත් බව වටට....
දහසක් දෙනා හංගා ගෙන අමනාපකම් යටි හිත පුරාවට......
තත්පරෙන් වෙනස් වන මේ
අද වාගේ ලොවට......
ඇදුමින් පැලදුමින් කිව හැකිද
යමෙකුගෙ උගත් කම......❓❓

* * * *
(පසුගිය දිනක මා නෙත ගැටි එක් සිදුවීමක් ඇසුරින් මගේ සිතේ ඇතුවුනු පැනයක් මෙලෙස මම ලියා තබමි.)

නදී ..✍️

...
...

🌹නදී 🌹

නුබයි මගෙ වයලීනය 🎻🎻

මියුරු තත්සර ගීත රාගය වැයුවෙ මං නුබෙ පහස ලබමින්~

සප්ත ස්වරයේ පසන් ගී සර කැටිවුනා දුක සැපේ නාමයෙන්~

සිතක් දමනය කරනු කෙලෙසද
සප්ත ස්වරයේ විශ්ම ගෙත්තමින්~

විඩාවට දිව ඔසුව ලැබුනේ
මගේ හදරැදි වයලීනය නුබෙන්~~

නදී..✍️

...
...

🌹නදී 🌹

අළු පාට සැදෑවේ
සුදු පාට පිහාටු තුඩින්
දම් පාට සායමින්
සිත් විමනෙ මැවුනු
විශ්මිත සිතුවිමකි නුඹ .....❤️
නදී ..✍️

...
...

🌹නදී 🌹

යන්නට බුදු පුදට සුවද
විහිදුවා දසත්.....
පිපුනාට සුදු මල් පොකුරෙ
මල් බොහෝ ගනන්........

අහුවෙලා කතුරකට
රැවටිලා සෙයින්........
කලියෙන්ම ගිලිහිලා
පරනොවුනු එක මලක්......

මලේ අසරණ වූ බවක්
වට පිටේ මල් නොදත්.....
කරයි ඔච්චම් නිමක් නැතිවම
ඒ මෝඩ මලක්...

ගිලිහුනත් තවම ඇත
කලු අතරින් පිරිසිදු සුදක්....
කවුද ඇය පිලිගන්නෙ ඇයත්
තනිවුනු එකම එක මලක්....

නදී..✍️

...
...

🌹නදී 🌹

👨‍👩‍👧‍👦

අද 2021.04.22,

නොනිමි ප්‍රාර්ථනා සියසින් දරා නෙත් අගිස්සේ.....❤️
බැදුනා පෙමින් හමනා මාපිය සෙනෙහස් සුළගක්සේ ......❤️
සොයමින් සතුට නිවසම පුරා උතුරායන හැමතිස්සේ......❤️
ගෙවුනා විසි එක් වසක් නුඹ
දෙදෙනගෙ අස්සේ......❤️

නිම් නැති සහෝදර බැම්මත්
මහ සමුදුරසේ......❤
නොසිදෙනා දියකි සංසාර
නිල්වන් ආකාසේ.....❤️
හසරැල් සිනා මුව තවරා අප දෙදෙනම මෙලෙසේ......❤️
ආසයි රැදෙන්නට හැමකල් නුඹ දෙදෙනගෙ අස්සේ......❤️

නදී..✍️

...
...

🌹නදී 🌹

ලොල් වී මදුවිතට යහමින්
දිවිගෙවනා.....
හිරි ඔතප් බිද පාගා
පය පිස්නා......
රගන රැගුම් වේ කාටත්
විහිලු ගෙනා......
රූකඩයක්ය ඔහු ලෝකෙට
සිනහතනා.....

වපර ඇසින් දැක ලෝකෙට
මැසිවිල්ල නගා....
හම්බකරපු සතයක් නෑ
ගේ අහලක රදනා .....
නින්දක් නැතිව නඩු හබ
ඇත කරපින්නා.....
අඹු දරුවන් ලබයි ඔහු
වෙනුවෙන් නව නින්දා....

පිං කරගන්න ලැබුනත්
පිංවත් මනුසත් දිවිය....
පිං කර ගන්න පිනනෑ පව
පෙරට එන.....
අඹු දරුවන්ගෙ හදවතෙ
ඇවිලෙන ගින්න......
තරමට දවයි ඔහු දවසක
සසර බිය.....


නදී..✍️

Top writers

Stay in touch