
අපි නොවන අපි
"පන්සලයි අප දෙදෙන ආදරෙන් ළං කළේ
බෝ මළුව විතරමයි සැනසුමක් එක් කළේ
ගමේ සිටි රතු නෙළුම නුඹයි මට පෙම් කළේ
මා පියන් පැන ඇවිත් අප අපෙන් වෙන් කළේ
ගෙවී ගිය කාලයේ බොහෝ දේ සිදු වුණා
බෝ මළුවෙ සැමදාම මල් පහන් දැල්වුණා
අතරමග හමුවුනත් සිනහවෙන් වෙන් වුණා
හැමදාම හද කොනක නුඹ ඇවිත් මතු වුණා
ආදරය සැපතක්ය සැම ඇවිත් කියූවත්
ඒ මතය දුක් කදුළු සැම ඇත්තෙ සිතූවත්
මව්පියන්ගේ බසට කීකරුව සිටීයත්
නුඹට මම පෙම් කරමි අප අපේ නොවූවත්......"

ජීවිතය ඔබේ
"ජීවිතය ගංගාවක් කරගන්න
ඉදිරියටම ගලාගෙන යන්න
හමුවේවි අභියෝග
නොසැලි යන්න ඉදිරියටම
වෙහෙස දැනේ ජීවිතයේ
ඒත් කෙටි කලකට
අරඹන්න
ඒත් එසැනින් කඩා වැටෙයි
වැටි වැටී නැගිටින්න
ජය ගන්න
ජීවිතය ඔබේ...."

දයාබර මිතුරිය
"උදෑසනට රැස් විහිදන හිරු කිරණ නුඹයි
තණ පලසේ මුතුකැට බදු පිනි බිදුව නුඹයි
මහ සයුරේ රැළි නගනා සයුරු රළ නුඹයි
මිතුදමකට එළිය දුන් පුන් චන්ද්රයා නුඹයි
ගණ අදුරේ එළිය ගෙනෙන පහන් සිල නුඹයි
පාළු සිතට සතුට ගෙනෙන පිනි වැස්ස නුඹයි
රෑ අහසට මනරම් වූ තරු කැටය නුඹයි
හන්තානට පායා ආ හිරු මඩල නුඹයි
අහස් කුසේ මනරම් වූ වලාගැබ නුඹයි
පොළෝ තලේ දිස්නය දෙන මිණි කැටය නුඹයි
රිදී ඉරක් සේ සෑදුණු දිය දහර නුඹයි
කටු අතරේ පිපී දිලෙන රෝස මල නුඹයි......"

සුළග
මා යනෙනා,
හැමවිටෙකදි,
මා පසුපසම පැමිණෙයි ඔබ,
ලුහුබදිමින්ම,
සැහැල්ලුයි ඔබ,
මන බදියි,
මා වටා දැවටෙයි ඔබ,
සිනාසෙයි,
නමුත්,
ඔබව නොපෙනෙන්නේ,
මා හට පමණිද?

තුරුණු වියට පා තැබූ නැගණිය
නිමාවුනි නොවේද?
ළමාවිය සොදුරු
සැහැල්ලුව,
විවේකය,
දගකාරකම්
ගිලිහුනා නොවෙද නැගණියනි
මගේ
වගකීම් දැනුනෙහිද දිවියෙහි
තහංචි වැටුනා නොවෙද,
නොනවතින්න
සොයාගෙන යන්න දිවිමග
හමුවේවි මන බදනා
නෙක නෙක දේ
රුදුරු වූ මේ සමාජයේ
ඉගි බිගි පැමිණේ දසතින්
යන්න දරාගෙන ඉදිරියටම
මතකයට ගනු මැනවි
පා තබා ඇති ඔබ තුරුණු වියට

හිමිදිරි හැගුමන්
හිමිදිරිය සීතලයි
මගේ සිත කිලිපොලයි
නවමු රැස් දහරකින්
දිනකරද අවදිවෙයි
සොදුරු උවනෙත ඔබගෙ
සගවමින් අප සැමට
ගිනිගහන රැස් දහර
රජ කරයි ඔය හිතග
කවුරු දුන්නෙද ඔබට
ගිනිගහන ඔය තරහ
නැද්ද පොඩි අදහසක්
නිවා ගන්නට ඔන්න
ඔබ නිසා අප සැවොම
අවදිවෙයි කඩිසරව
නමුත් ඇතැමෙක් ඔන්න
බණියි සැමවිට ඔබට
ඔබට හැකිනම් සකිය
අදට පමණක් ඔන්න
ඉඩ දෙන්න තනි මෙමට
සද එළියෙ ගුලි වෙන්න

සිහිනය
පාට පාට මල් වැටිච්ච
සාරි පොඩ්ඩ
ගත වට දැවටෙනවා
නේක නේක හැඩ වැටිච්ච
මාල පොඩ්ඩ
ගෙලවට කැරකෙනවා
හීන් සැරේ සුවද හමන
මල් විලවුන් ගත දොවමින්
සමනලියක කොහෙන්ද විත්
රතු අන්දයි මගෙ දෙතොලට
උස සපත්තු දමාන මං
යනවිට පාසල අසලින්
ළමයි රෑනක් ආවා
දැවටෙන්නට මා වටකට
හසරැල්ලක් මගෙ මුව මත
කොහෙන්ද පැනගෙන ඇවිදින්
රෑ පුරාම නිදි යහනට
සිහින ගෙනෙයි හැම මොහොතෙම

අමතක වූ ආදරය
වසර ගණනක් තැනුව කූඩුව
තිබෙයි තවමත් හුදෙකලාවම
කූඩුවේ දොර තවම එලෙසම
ඇරෙන්නේ නුඹ පැමිණි විගසම
මතකයේ ඇත නුඹ සමග මා
දෙපස හිදගෙන පන්සලේ බිම
ගෙතූ මල්දම් කියූ නෙක බස්
නුඹට අමතක වී ඇතත් අද
ගෙයින් ගෙට ගොස් පඩුරු එක්කොට
සැදුව කූඩුවෙ පාට මතකද
වෙසක් දිනයේ සදුගෙ එළියෙන්
පහන් දැල්වුවා නුඹට මතකද
පාසලේ එක පන්තියේ අපි
අකුරු කෙරුවා නුඹට මතකද
පන්තියේ නුඹ මාව පරදා
පළමු තැන නිති ගත්තා මතකද
සැමට හොරැහින් නුඹම සැමදා
මගේ පසුපස ආව මතකද
හදවතින් මුත් නුඹට මා කළ
ආලෙවත් දැන් නුඹට මතකද

දෙදෙරූ විවාහය
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති
බොහෝ මල්දම් ගොතන්නට ඇති
ගෙලෙහි පලදා සිටින්නට ඇති
මලෙහි ලස්සන විදින්නට ඇති
සුපුෂ්පිත මල පරව ගියදා
නැගුනි හද තුළ කෝප වරුසා
ලිපෙහි ලිප්ගිනි වැඩිව ගියදා
මෙනෙහි විය ජීවිතය දෙදෙරා
මලක් පිපුණා දහස් පෙතියා
සුළගේ පාවි ගියා නොකියා
බලායිමි නැවතත් එනතුරා
නොඑන්නේ කිමදැයි ප්රියා

සුන්දර මතකය
සති අන්තයේ ඉරිදා දිනය
වීය මට මහ වැඩ ගොඩක්
විටෙක තිත්තයි සිතුන
ලෝකෙ තරමට වැඩම කරන
අපේ සුන්දර ගණන් පන්තිය
සයුර රළ රළ නගන තරමට
කෑව ගුටි බැට තවම මතකයි
දෑතේ දෑගිලි වලට වැඩියෙන්
වින්ද ටොකුරස තවම වෑහෙයි
පංතියේ යහළුවන් සමගින්
විටෙක දෙඩවූ මුදු කතා බස්
කොහේදෝ සිට ඇවිත් මුව මත
හසරැලිත් සිත්තම් කළා
බිත්තියේ සුදු ලෑල්ලත් ඇත
බිත්තියටම බර දීලා තවමත්
එහිම තිබෙනා මේසේ පුටුවත්
තවම පවතියි එදා විලසින්
නේක හැඩ වැඩ දමා නිම කළ
මගේ ලස්සන ගණන් පොත් ටික
බලා ඉන්නවා හිනැහි හිනැහී
දෑතේ උණුසුම ලබන්නට මෙන්

සීයා
මගෙ සීයා හිදගත් වෙල ළග කොටේ උඩ
ඉදගෙන ගොතමි කවියක් මම රටාවට
සීතල දැනෙන විට මද සුළගේ මෙමට
හැකිදෝ එසද පදවැල් එක්කරන්නට
සීයා මගේ නිදියපු පොඩි යුගල් ඇද
දිරලා යනව ඒ සමගම පඩික්කම
කවදත් රතුපාට ඔබෙ ඔය බුලත් කට
තවමත් මතකයට එයි දුටු විට පඩික්කම
වෙනදට ගරාජයෙ ඇසෙනා මහ සද්දේ
අනේ ඉතිං දැන් කොහි සැගවී ගොස්දෝ
මගෙ සීයා නැතිව ගෙවෙනා අවුරුදු හතර
වෙනස් වෙලා සීයගෙ ගෙදරත් අවට
ගෙදර ඉදිරියේ තිබෙනා ලොකු බෙලි ගස
දකින විටම සිහිවේ ඔබෙ රුව මෙමට
එහිම තිබෙන මනරම් කඩුපුල් පොකුර
සැමදා සොයයි ඔබ නැති මේ කළුවරේ සිට
නිවස පහළ තිබෙනා නිල් දිය අගල
ඊට පහළ තිබෙනා රන් ගොයම් කෙත
සිසිලස වැඩි කරයි සීයගෙ ගේ ඇතුළ
සීයේ ඔබ කොහිද කියලා කියනු මට

පුතුනි
දසමස කුසදරන් මෙලොවට බිහි කළ පුතුනි
දෙතනට කිරි එරුනෙ ඔබ හින්දයි පුතුනි
සෙනෙහස හදපුරා පැතුරුව මගෙ පුතුනි
අම්මා ලෙසින් මා රජ කළ මගෙ පුතුනි
දිව රෑ වෙහෙස වී රැකගත් මගෙ පුතුනි
ගුණ නැණ බෙලෙන් පිරිපුන් මගෙ පුතුනි
කරදඩු උස්වුවත් පින්බර මගෙ පුතුනි
ඔබ මට තවම නොතැලුනු කුසුමකි පුතුනි
කබායක් ඔබ දමන් දවසක මගෙ පුතුනි
රන් රුව ඔබේ දැකුමට මගෙ පොඩි පුතුනි
ගත සිත සරියි පෙරටත්
වැඩියෙන් පුතුනි
අම්මා මමයි ඔබ බිහිකළ මගෙ පුතුනි

කළු සුදු
නැගී එන කළු වළාවන්ට
ඉඩදීලා පසුපසට වීලා
නොයිද ඔබ ගල් ගැසී
ඉදින් සිහ රජෙකු විලසින්
පාවඑන කළු වලාවන්
අල්ලගන්නට සිතුලෙසින්
වරක් දෙවරක් සිතාපන්
සුදුද කළුදැයි බලාපන්
පිටත ඇත සුදු වළාවන්
ඇතුළ ඇත කළු වළාවන්
ඇතුළ පිට එක වළාවන්
ඇති අයෙකු නිති සොයාපන්

ජීවිතයට ඔවදන්
බොහෝ සුවදැති නේක පැහැ ඇති
නෙත් පුරා මන බදියි මල් පෙති
රේණු පිරෙනා ලොලය වඩනා
කෑදරය බඹරුන් නේක රූ ඇති
කාලෙකට එක් වරක් පිපෙනා
පාට සුවදද දෙකම සැගවුණු
ගුණ දහම් පිරි වතින් විකසිත
වේය සැමදා ලොවට නොකියා
මන බදියි රතු රෝස මල්
විසිකරයි ගදපාන මල්
එක් කරයි සැමට ඔවදන්
වැඩි කරයි ඔබේ ගුණ දම්

පොඩිකාලේ බෝනික්කා
පුංචි තැටියක තියාගෙන මම
ගෙපිල තැබුවා ඔබට මතකද
ගවුම් පොඩ්ඩක් අන්දවා මම
ඔබේ හැඩ වැඩ බැලුවා සැමදින
දිගැති කොණ්ඩය හැඩට ගොතලා
කොණ්ඩ කට්ටක් ගැසුව මතකද
පාට පාටින් රෙදි ගෙනත් මම
ගවුම් මැසුවා ඔබට දෙන්නට
ඔබේ මුහුණට පුයර දමලා
පාට තෝඩුත් දැම්මා මතකද
නමුත් අද මට යන්න වීලා
දුරු රටක් වෙත ඔබව තනිකර

බංකුව
ඇහැල මල් විසිරුනු පොළොව මත
තිබෙන බංකුවෙ ඉදන් හෙමිහිට
තැනුව මතකද අපේ කූඩුව
ලොවේ කොහෙවත් නොමැති විලසට
බංකුවේ අප ඉදන් සවසට
බැලුව මතකද හන්තානයේ සද
ගිගිරි යුවලක් පය නොලාගෙන
නැටුව මතකද සද කිරණ යට
බංකුවේ අප ඉදන් හැමවිට
පාට තේරුව අපේ නිවසට
නමුත් තේරුව පාට නෑ අද
අනේ ඇයි දැයි කියාපන් මට

නැගණියේ
හිමිදිරි අරුණැල්ලෙන්
විකසිත කුසුමක් සේ
හීන විමානෙන් බැස පලයන්
නැගණියේ......
අමාවකදාට අහස් ගැබේ
ආලෝකෙන් මනමත් කරනා
පුන් සදක් වෙයන් ලස්සන
නැගණියේ......
පාට සරුංගල් අහස පුරා
පාවෙයි නෙක නෙක රැගුම් පපා
නොබලන් ඒ දෙස හැරී ඉතිං
නැගණියේ......
මිනිසුන් ඇත මේ ලෝකෙ පුරා
නෙක නෙක මායම් පෙන්නමිනා
නොරැවටී ජීවිතය දිනන්
නැගණියේ......
මා පියන්ට කීකරු වීලා
ගුණ දහමින් පිරිපුන් වීලා
සත්යට හිස නමන්
නැගණියේ......

හිගන මිනිසා
නොනිමි පැතුමන් තිබෙන්නට ඇති
පයට පෑගී තිබෙන්නට ඇති
වැටෙන්නට ඇති
වැටි වැටි නැගිටින්නට ඇති
ගසක් යට පරවෙන්නට ඇති
පොළොවෙ මිහිදන් වෙන්නට ඇති

ආදරය
ආදරය කලාවකි
අව්යාජයය
හුදෙක්ම
සොදුරු ජීවිතයෙහි
නොනිමි නවාතැන්පලකි
සොදුරු මනුෂ්යත්වයෙහි
සංකේතයකි
අදුර එළිය කරනා
පහන් සිලකි
නමුත්
විටෙක
කර්කෂ ජීවිතයෙහි
සමාරම්භය වේ.

අම්මා
ජීවිතයයි ඔබ මගේ
ජීවන ගමනේ
රුකුලයි ඔබ ,
මුල් ගුරුතුමියයි ඔබ,
දරා ගැනීමේ අවියයි ඔබ,
සෙනෙහසේ නෞකාවයි ඔබ,
සාගරය බදු
දැනුම් උල්පතයි
විටෙක දැඩි ,
විටෙක මෘදු
ඔබ
ප්රියජනකයි
සංසාරයේ මගේ
පැතුමයි ඔබ.

සේපාලිකා
සද කිරණ යට පිපුණු
සේපාලිකා මල් පොකුර
රෑ අහසේ කෙළවරට
සුවද පතුරයි දසත
ගතට පොඩි රතු ගවුම ඇදගෙන
හිසට සුදු තොප්පිය පැළදගෙන
තාලයට පය තිය තියා නැලවෙන
සේපාලිකා මල ඔබයි හිනැහෙන
පාට යුවලක් එකට කැටිවුන
මලක් වේ ඔබ සේපාලිකා
සුවද විහිදන පාට විසිරෙන
මගේ සිත ගත් බාලිකා

අධ පෙම
සීත වැහි බිදු වැටෙන සමයේ
සුසුම් පොද යයි පාව අහසේ
මටම නොපෙනෙන රූපෙ නුඹගේ
හදවතින් ඇද ගන්නේ කෙලෙසේ
නොහිමි මගෙ නෙත යුග
වෙතට ජීවය දෙන්නට
පැමිණි ඒ මනරම් ළද
කවද දැකුමට හැකිවෙද
දැනුනි මට නුඹෙ හදවත
නොපෙනුනත් මගෙ නෙත් යුග
කවද හෝ මතු දිනයෙක
දකිමි ලෝකය මේ මම
දකින රූපය නුඹගෙ වේවා
ඇසෙන කටහඩ ඔබගෙ වේවා
පළමු පෙම මගෙ ඔබගෙ වේවා
සදාකල් ඔබ මගෙම වේවා

හදාගනිං කෙල්ලේ හිත
රස්සාව රත්තරං
ජීවිතය ගෙටගහන
අදත් හතරයි තිහට
කුකුළාව අරගෙනම
නැගිට්ටේ අළුයමේ...
උයලා පිහලා
කෑම බෙදලා
ළමයින් පාසලට යවලා
හනික දුවලා
ලෑස්ති වෙලා
හයයි තිහට යාන්තමින්
බසයක එල්ලුනේ...
කාර්,බයික්,බස්,ත්රීවිල්
සිමෙන්තියෙන් අඹපු රූප
වාගේමයි පාර මැද්දේ...
හතයි තිහට විනාඩියයි...
රතු ඉර මගෙ දෑස ළගයි...
අද විතරක්නේ කියලා...
හදාගනිං කෙල්ලේ හිත
සුපුරුදු විලසින්...

ඇස
"සියුම් තැන් පෙනෙන
මහා තැන් නොපෙනෙන
මනරම් සිතුවම නුඹ
ලස්සන ඇස් දෙක"

මිහිදේවි
සිහින සිතුවමක සිටිනා
මල් මද බිසවක රූ සරිනා
නෙක ඉගි බිගි හැඩ දමනා
ලස්සන නෙතු මට පෙනුනා
ලා හිරු කිරණින් ගත දොවලා
හැඩ වැඩ දැමු ගවුමක් ඇදලා
නිල් වරලස කරලට ගොතලා
පළදියි නෙක පියුමන් පුබුදා
මුතු ඇල්ලූ මිරිවැඩි පළදා
රන් යානාවක ඇය නැගිලා
අහස් කුසේ සුදු සේද අතුරලා
යහන සදයි දරු කැල වෙතටා
රන්දිය එකිනෙක එක් කරලා
නිල් පාට බෙදයි මුළු අහස පුරා
මුතු පබළුත් නෙක දෝත දරා
දේදුන්නක් ඇය පාට කරා.

දෙවෙනි මවුන්
මව් සෙනෙහෙන් ළැම උණුසුම ලබනට
සසර පුරා රතැගිලි පටලාගෙන
නොමියෙන බැදුමක සෙනෙහස සුව දෙන
නිබඳව දැනෙනවා සොයුරිය නුඹ මට
නෙක ගැරහුම් මැද හද පෑරුණු සද
සද දෙව් නුඹමයි හසරැල් කැන්දන
නාරිලතා මල් පරයා වැඩි සද
මුතු පබළු වැලක් වැටුණා නුඹෙ කොපුලට
අනියත දේ නුඹ හිසේ දරාගෙන
නොසැලෙන මනරම් පියුමකි නුඹ මට
දගකාරකමින් ඔච්චම් කෙරුවට මම
දෙවෙනි මවුන් නුඹ මට මුළු සසරෙම

නොහිමි සෙනෙහස
යළිත් යනු බැරි ගියොත් එනු බැරි
අතීතෙක සුවදත් අරන්
තවම උණුසුම් පෙමක සිතුවම්
මතු කළා හිතටත් හොරෙන්
ආදරය සින්නක්කර අරන්
නොරද නුඹ අද පැන ගොසින්
නොබිදෙනා මිලැති මුතු පොටින්
සිඹිනවා කොපුල නෙතු හොරෙන්
කරන නොවෙනස් රැස් රුවන්
කෙනෙකු ලොව නැත නුඹ සොයන්
සිඹින සුකොමල නළල් තලයෙන්
නැගෙන මන්මද සුවද නොසොයන්
පාට පාටින් දිලෙයි නෙක මල්
එදෙස නොබලන් රත්තරං නුඹ
නුඹෙම කරගත් නෙළුඹු මලකට
ආලෙ දෙනු මැන දිවි පුරාවට

ඇය
ඈත නිම්නයේ
මීදුම් පහස ලංවෙලා
කඳුවලින් වැසී
ලස්සන මුතු ගඟක් වෙලා
පාළු ක්ෂිතිජයේ
රන්වන් ගීතයක් වෙලා
නුඹ මගේ ලොවේ
මනරම් සිහිනයක් වෙලා

මගේ ලොවේ රැජින ඔබයි අම්මා
රන් සිනහෙන් මුව සරසන්නී
සුමුදු වදන් වැල් අමුණන්නී
අප සැමහට ඔවදන් දෙන්නී
ගේ දොර හැඩ වැඩ කරලන්නී
සැම සිත් එක් කොට බැද ලන්නී
අප සැම එකමුතු කරලන්නී
අදුරු ලොවට එළියක් දෙන්නී
සිරි දුව නිවසට ගෙන එන්නී
ගේ දොර වැඩ පල කරලන්නී
සැමටම ආදර්ශ දෙන්නී
රන් හුයකින් බැද හිනෙහින්නී
මගේ ලොවට රැජිනක් වන්නී

පාසල් විය
මාදං හිඹුටු බෝවිටියා දෙවැට දිගේ
ඉගිල ඉගිල යන බටු වී පැටව් වගේ
එහෙට මෙහෙට දුව පනිමින් හරිම අගේ
සිහිවේ මෙමට පාසල් ජීවිතය මගේ
පොත් ටික තුරුළු කරගෙන දුවමින් හනික
ඇල්ලුවෙ නොවෙද පංතියෙ පළවෙනි අසුන
ආසාවෙන් අකුරු කෙරුවා නොවැ හැම විටෙක
සැමදා සුන්දරයි මගෙ පාසල ඔන්න
කවි ගී සින්දු කියමින් අඹ ගස් සෙවණේ
නටමින් නැටුම් නැලවුනු හැටි සිහිවන්නේ
ඒවගෙ දිනක් නැවතත් නැහැ නොවැ එන්නේ
මතකය සුන්දරයි මගෙ පාසල් සෙවණේ

හිඟන හැගුම්
මාර්ගය මගෙ නිවස වූ මුත්
මාළිගය නම් එයයි මට හිමි
කිලිටි වැරහැලි ඇග දැරුව මුත්
එයයි මට හිමි සේද සළු පිළි
කසළ බදුනෙහි අහර ගත මුත්
එයයි මට ඇති රාජ භෝජන
ගලන කාණුවෙ දිය බුදින මුත්
අමෘතය නම් එයයි මට හිමි
දහස් ගණනක මුහුණු දකිනා
මමම පමණයි ලොවේ හිදිනා
එවන් දහසක බැනුම් අසනා
මමම පමණයි ලොවේ හිදිනා

හරිත හැගුමන්
නිසග පවනේ හෙලන දහදිය පෙනේ මිණි මුතු පොදක් විලසින්
ගතෙහි දැවටුන නේක කොළ අතු ඔබට ගෙනදෙයි සිනාවක් පොඩි
නේක ලියකම් දමාගෙන ඔබ සදාගත් මේ සිරිය මනරම්
එදා වාගෙම අදත් පිපුණා ඔබේ මිදුලෙත් අරලියා මල්
ගෙදර වත්තේ තිබෙන බංකුව එදාවාගෙම අදත් එහි ඇත
නෑර ලොලයන් වඩවඩා එන රංචු ගිරවුන් ගස්පුරා ඇත
ගෙදර තිබෙනා එකම පුටුවට පොර බදින පොඩි පැටව් එහි ඇත
ඇන්ද සරමත් වටින ගමනට ගෙදර පිලිකන්නට දමා ඇත
වත්ත පිටියේ තිබෙයි තවමත් මැකෙන පා සටහන් ඔබේ
එහිම තිබෙනා පුංචි මඩුවත් සිඹියි පා සටහන් ඔබේ
ඇවිදින්න බැරි නේක රූ ඇති සද්දන්ත පණ ටික ඔබේ
බලා ඉන්නවා නේක විලසින් රුව දකින්නට ඔබේ

යටි සිත
හිටපු තැනම ඉද්ද ගැහිලා
බලා ඉන්න වෙලා මෙමට
උදෑසනට පායා ආ
හිරු කිරණත් සේද ගිහින්
කවි උපදින මගේ හිතත්
සද රැස් යට තනිවෙලාද
පින්න මලක පැහැය අරන්
මගෙ සිත ඔබ හොරා ගෙනද
කඳුළු අතර සැඟවුණු ඔබ
නිල් දියඹේ සැඟව ගොස්ද
ඔබ ඇවිදින් මේ හිත යට
කතා කරයි හැම රැයකම

අමාවකයි අද රත්තරනේ
ඉස්සර දවසක
අත්වැල් බැදගෙන
මතකද
සිත් ඇමුණුව කාලේ
වහන් උන්නු මගෙ
දෑස තුළට වුණු
ඔබ සෙව්වා
තත්පර ගානේ
සිහිනෙන් දකිනා
පාට හීන තුළ
ඔබ පමණයි
සැමදා දුටුවේ
සේද වළාකුළු
සැගවිලා අහසේ
අමාවකයි අද
රත්තරනේ